iMage: 1st Poster Campaign – ‘Black January’/ Colombo
‘කළු ජනවාරිය’ යනු උත්සවශ්‍රීයෙන් සැමරිය යුතු තවත් එක් දින දර්ශන සටහනක් හෝ ප්‍රදර්ශනාත්මක ‘සෙලිබ්‍රිටි’ සැණකෙළියක් නොවේ. එය වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසට එරෙහිව එල්ල වූ ම්ලේච්ඡ මර්දනයට එරෙහිවත්, ඝාතනයට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම්වලට ලක් වූ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය සේවකයන්ට යුක්තිය ඉටු කරන ලෙස රජයන්ට බලකර සිටින ප්‍රබල දේශපාලන හෘදසාක්ෂියයි.
ලේ තැවරුණු ජනවාරි දිනපොත: අමතක කළ නොහැකි ඛේදවාචක
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ජනවාරි මාසය යනු මාධ්‍ය ප්‍රජාවගේ සහ කලාකරුවන්ගේ රුධිරයෙන් තෙත් වූ මාසයකි. ‘කළු ජනවාරිය’ ලෙස ‘මාධ්‍ය සංවිධාන එකතුව’ 2012 වසරේ දී මෙය නම් කරනු ලැබූවේ හුදු විලාසිතාවකට නොව, පහත සඳහන් ම්ලේච්ඡ සිදුවීම් මාලාවන් ඇතුලු අපරාධයන්ට යුක්තිය ඉටු කිරීමට බලකරනු පිණිසය.
මේ එම බිහිසුණු ජනවාරියේ ඝාතනයට, ප්‍රහාරයට, අතුරුදහන් කිරීමට ලක් වූ ලක් වූ මාධ්‍යවේදීන්, මාධ්‍ය ස්වකයින්, කලා සංස්කෘතික ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් සහ මාධ්‍ය ආයතන පිළිබද පහතින් සටහන් කරමු.
සුබ්‍රමනියම් සූගීර්දරාජන්: 2006 ජනවාරි 24
ලසන්ත වික්‍රමතුංග: 2009 ජනවාරි 08
ප්‍රගීත් එක්නැළිගොඩ: (අතුරුදහන් කර ඇත) – 2010 ජනවාරි 24
උපාලි ගමගේ සහ සත්‍යපාල වන්නිගම: වැනි කලා හා සන්නිවේදන ක්‍රියාකාරීන්ගේ ඝාතන.
මාධ්‍ය අයතනවලට ප්‍රහාර එල්ල කිරීම
සිරිස රූපවාහිණී ආයතනයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම – 2009 ජනවාරි 06
ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිණී තැබීම – 2011 ජනවාරි 31
අවධාරණය: අරමුණ අමතක නොකරමු!
මෙම අපරාධයන්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමටත්, වගකිවයුත්තන් අධිකරණය හමුවට පැමිණවීමටත් බලධාරීන් අසමත් වීම හමුවේ, ‘මාධ්‍ය සංවිධාන එකතුව’ විසින් 2012 ජනවාරි 25 වන දින කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පළමු ක්‍රියාකාරී විරෝධතාව පවත්වමින් ‘කළු ජනවාරිය’ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
එහිදී අවධාරණයට ලක් වූ විශේෂිත කරුණු කිහිපයක් පහතින් දක්වමු.
සැබෑ යුක්තිය: වසර ගණනාවක් පුරා ‘ලිපිගොනුවලට’ සීමා වී ඇති පරීක්ෂණ කඩිනම් කර අපරාධකරුවන්ට දඬුවම් දීම.
දණ්ඩමුක්තියට එරෙහි වීම: අපරාධකරුවන්ට රාජ්‍ය රැකවරණය ලබා දීමේ “අපරාධකාරී දේශපාලන සංස්කෘතිය” අවසන් කිරීම.
අඛණ්ඩ අරගලය: මෙය වසරකට වරක් පවත්වන චාරිත්‍රයක් නොව, ජනමාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිදු කෙරෙන නොනවතින අරගලයකි.
[එවකට පැවති මාධ්‍ය මර්දනයටත්, මාධ්‍යට එල්ල කළ අපරාධයන්ට විරුද්ධව යුක්තිය උදෙසා වූ ‘කළු ජනවාරිය’ පළමු පෝස්ටර් ව්‍යාපාරය 2010 ජනවාරි 23වනද දින දහවල් කොළඹදී පැවැත් වූ අතර, ලසන්ත රුහුණගේ, සුනිල් ජයසේකර, සම්පත් සමරකෝන්, කංචන මාරසිංහ ඇතුලු ජනමාධ්‍යවේදින් පිරිසක් එයට එක්විය.]
වත්මන් සන්දර්භය: ‘මාළිමා’ ආණ්ඩුවට එල්ල වන ප්‍රශ්නාර්ථය
අද වන විට රට පාලනය කරන්නේ ‘වෙනසක්’ උදෙසා ජනවරම ලබාගත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුවයි. ඔවුන් බලයට පත්වී වසරකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇත.
පොරොන්දු සහ ප්‍රායෝගිකත්වය
මැතිවරණ වේදිකාවලදී ඔවුන් අවධාරණය කළේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ සියලු අපරාධයන්ට යුක්තිය ඉටු කරන බවයි. නමුත් වසරක් ඉක්ම ගොස් ඇතත්, එම ‘යුක්තියේ රෝදය’ කැරකෙන බවක් තවමත් දක්නට නැත.
ගිලිහී යන දේශපාලන උනන්දුව
විපක්ෂයේ සිටියදී තිබුණු ඒ දේශපාලන උනන්දුව බලය ලැබුණු පසු හීන වී යමින් තිබේ දැයි සැකයක් දැන් සමාජය තුළ මතු වෙමින් පවතී.
දේශපාලන සදාචාරය
‘යුක්තිය පමා කිරීම යනු යුක්තිය අහිමි කිරීමකි’ ජනතාව ඔබ වෙත බලය ලබා දුන්නේ පෙර පැවති දණ්ඩමුක්තියේ සංස්කෘතියම නඩත්තු කිරීමට නොව, ඒ බියකරු නිහඬතාවය බිඳ දැමීමටයි.
අපගේ ප්‍රශ්නය මෙයයි
පාලකයින් මාරු වුවද, ඝාතනය වූ, පහරකෑමට ලක් වූ සහ අතුරුදහන් වූ මාධ්‍යවේදීන්ගේ පවුල්වලට තවමත් උරුම වී ඇත්තේ ‘පොරොන්දු’ පමණක්ද? ජනවරමේ සදාචාරාත්මක වගකීම ඉටු කිරීමට ආණ්ඩුව දැන්වත් ක්‍රියා කළ යුතුය.
කෙසේ නමුත්, ‘කළු ජනවාරිය’ පාලකයින්ගෙන් ප්‍රශ්න කිරීම නවත්වන්නේ නැත. යුක්තිය ඉටු වන තුරු – අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන තුරු, මේ අරගලය වීදිවල සහ හෘදසාක්ෂිය තුළ නොනවතිනු ඇත.
මංජුල වෙඩිවර්ධන විසින් ‘කළු ජනවාරිය’ මෙසේ කවියකට නගා තිබිණි.(2012 January 26)
කළු ජනේරුව
එදා ඒ මළ ගෙදර
කැරකොප්පුවක් සේ පාළු ය,
නිදි වැරූ සුසුමකට රැගෙන ආ
අවසාන කිරි කහට උගුරත්, ඇල් ව’තිබිණ.
පමා වී පණ බේරා ගත් කුහුඹුවකු
ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය.
මම ඇල් වතුර තණ බිස්ස මත විසි කොට
හිස් වීදුරුව හිස් අසුනක රඳවා
වලාකුළු දෙස නො බලා
බිම බලා ගතිමි.
තණ පත්‍ර අග්ගිසි මත
නිදි කිරා වැටෙමින් සිටියේ
අත මිටි මෙළවා, ඉහළ ලෙළවූ බැවින්
වැහි වලාකුළු විසින් පැහැරගනු ලද්දාවූ
දම් පාට තරුවක
ඇඟිලි අතරින් ගිළිහුණ
කදෝපැණි නටඹුන් ය.
හිටිවනම කොල්ලුපිටියට ඇද හැළුණ
ධාරාණිපාත හිම වැස්සෙහි
උදෑසන ශේෂය
අරලිය මුදුන් මත්තෙහි දිදුළ
සුදු පාට පමණෙකි.
උදෑසන පැමිණෙන බව
හිරුට දන්වා නො තිබුණු බව
ගල්කිස්ස පොලිසියට ලැබුණු පැමිණිල්ල
ලියා අවසන් වන විට
හවස් වන ලකුණු පළවිණි.
එහෙත් සැනෙකින් රාත්‍රිය උදා විය.
සන්ධ්‍යාවටත් කළියෙනි.
ඉදින්, අතීතය මුද්‍රණාලයට වැද
සිරුරට ගිනි තබා ගත්තෙන්
උසාවිය පාළු විය.
’‛ජනවාරි මාසෙත් ඉවරයි’’
ඇය වලාකුළකට ගලකින් ගැසුවා ය.
මගේ සිතුවිලි බිම වැටිණ.
සමස්ථ අවුරුද්ද යනු
ජනේරුවට පර්යාය පදයක් බව
මම සෙමින් කී විට
ඇය සිනහසුනා ය.
වලාකුළු ගලන්නට ඉඩ දී
මම ඇයට මෙසේ කීවෙමි.
‛‛ජීවිතය ම උදුරා ගැණුනු අවකාශයක
ඉතිරව පවතින්නේ සැමරුම් පමණකි.’’ here
(මංජුල වෙඩිවර්ධන)
සම්පත් සමරකෝන් | Sampath Samarakoon