iMage: AKD/ Facebook
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය තෛයිපොංගල් දිනයේ උතුරේදී සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වී තිබිණි. “පෝයට සිල් ගන්න, ශ්‍රී මහා බෝධීන් වහන්සේ පහුකරලා යාපනයට එනවා… එතන තියෙන්නේ සීලය නෙමෙයි අපේ හාමුදුරුවනේ, එතන තියෙන්නේ වෛරය” යනුවෙන් ඔහු කළ ප්‍රකාශය, වසර ගණනාවක් තිස්සේ ජාතිවාදයට සහ යුදවාදයට එරෙහිව පෙනී සිටි ‘ප්‍රගතිශීලී’ සමාජයකට එක්තරා ආකාරයක මානසික තෘප්තියක් ගෙන එන්නක් ලෙස පෙනෙන්නට තිබිණි. එය නරක නැත. ජාතිවාදය වපුරා බලය රැක ගැනීමට වෙහෙසෙන පටු දේශපාලන ධාරාවන්ට එරෙහිව ජන මනස මෙහෙයවීමට මෙවැනි ප්‍රකාශ උත්තේජනයක් සපයන බවක් වැනි අදහස් ද ඒ අතර තිබිණි. එයත් ඉතා වැදගත් ය. කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම ‘ප්‍රගතිශීලී’ වචන සමූහය, ඔහුගේ ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉතිහාසය සමඟ සමපාත කර බැලීම අත්‍යවශ්‍ය වේ.
යුදකරණය සහ දෛනික යථාර්ථය
ජනාධිපතිවරයා උතුරට ගිය සෑම අවස්ථාවකම මෙවැනි සහෝදරත්වයේ සහ සහජීවනයේ කතා කීම සාධනීය වුවද, බිම් මට්ටමේ යථාර්ථය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. යුද්ධය නිම වී දශක එකහමාරකට අධික කාලයක් ගතවී ඇතත්, උතුරේ සිවිල් වැසියන්ගේ ඉඩම් තවමත් හමුදා සහ පොලිස් පාලනය යටතේ පවතී.(තවත් හමුදා කදවුරක් ඉවත් කර ගත් බව පසුගිය දා වාර්තා විය) ඒ අතර හමුදාව සෘජුවම සිවිල් ආර්ථික කටයුතු වල (හෝටල් පවත්වාගෙන යාම, කෘෂිකර්මාන්තය, වෙළඳසැල්, බ්ලොග් ගල් කැපීම සහ සැලූන් පවත්වාගෙන යාම වැනි) නිරත වීම හරහා උතුරේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ආර්ථික අවස්ථා අහුරා ඇත. සාමකාමී සිවිල් විරෝධතාවලදී පළමුව මැදිහත් වන්නේ පොලීසිය නොව හමුදාව වීම හරහා ද පෙනී යන්නේ තවමත් උතුර පාලනය වන්නේ රාජ්‍ය අනුග්‍රහය ලත් ‘මිලිටරිකරණය’ මත පදනම්ව ඇති බවයි.
යුක්තිය ඉටුකිරීම සහ දේශපාලන විසඳුම
යුද්ධයේ අවසාන භාගයේදී ආණ්ඩුවේ ආරක්ෂක අංශ වෙත භාරදුන් තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි සොයන මව්වරුන්ගේ අරගලයට මෙම ආණ්ඩුවෙන්ද මෙතෙක් සාධනීය පිළිතුරක් ලැබී නැත. එපමණක් නොව, දකුණේ ප්‍රගතිශීලීන් සහ දෙමළ දේශපාලන ප්‍රජාව දීර්ඝ කාලයක් තිස්සේ අවධාරණය කළ ‘බලය බෙදාහදා ගැනීම’ පිළිබඳ සාකච්ඡාව ජාතික ජන බලවේගය (NPP) විසින් සවිඥානිකව මඟහරිමින් සිටින බව පෙනේ. ජාතික ගැටළුවට දේශපාලන විසදුමක් පිළිබද සාකච්ඡාවට ද සිදුව ඇත්තේ එම ඛේදවාචකයම ය. එවැනි පසුබිමක, මෙවැනි වචන හරඹයන් දෙමළ ජනතාවගේ මූලික දේශපාලන අභිලාෂයන් යටපත් කිරීමට යොදාගන්නා උපායමාර්ගික මෙවලමක් ද යන සැකය මතුවේ.
මර්දනකාරී නීති සහ මාධ්‍ය නිදහස
ජනාධිපතිවරයාගේ මෙම කතාවට සමාන්තරව ඔහුගේම ආණ්ඩුව විසින් යෝජනා කර ඇති ඇතැම් පනත් කෙටුම්පත් දෙස බලන විට බරපතල උභතෝකෝටිකයක් නිර්මාණය වේ. උදාහරණයක් ලෙස, උතුරේ තොරතුරු සොයා යන ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකුට, තමන් සතු තොරතුරු මූලාශ්‍ර රහසිගතව තබා ගැනීමට ඇති අයිතිය අභිබවා, යම් තහනම් සංවිධානයකට සම්බන්ධ යැයි සැක කරන තොරතුරු වහාම පොලිසියට වාර්තා නොකළහොත් වසර හතක සිර දඬුවමක් නියම කළ හැකි වාතාවරණයක් ජනාධිපති දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව විසින් යෝජනා කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත(කෙටුම්පත’ – PSTA) සම්මත වුවහොත් ඒ තුළින් නිර්මාණය වීමේ බරපතල අවදානමක් පවතී. එක් අතකින් ආකර්ශනීය වචනවලින් සංහිඳියාව ගැන කතා කරන අතරතුර, අනෙක් අතින් සිවිල් අයිතිවාසිකම් සීමා කරන මර්දනකාරී නීති ගෙන ඒම පරස්පර විරෝධී ය. බියකරුය.
තිස්ස විහාරය සහ සංකේතීය දේශපාලනය
ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේදී ‘තිස්ස විහාරය’ වැනි සංකේතීය ගැටලු සෘජුව නම් නොකර, ඒවා පොදු වචනවලින් ආවරණය කිරීමට උත්සාහ කර ඇත. මෙහි ඇති අනතුර වන්නේ ඕනෑම පාර්ශවයකට තමන්ට රිසි පරිදි එම ප්‍රකාශය අර්ථකථනය කරමින් දේශපාලන පන්දු හැසිරවීමට පිට්ටනියක් සැකසීමයි. සෘජුව අදාළ ගැටලුව හඳුනාගෙන ඊට විසඳුම් ලබා දෙනවා වෙනුවට, මෙවැනි නොපැහැදිලි ප්‍රකාශ කිරීම හරහා සිදුවන්නේ සැබෑ ප්‍රශ්නය යටපත් වී දේශපාලන වාසි ලබාගැනීමට ඉඩ සැලසීමයි.
ඉතිහාසයේ පශ්චත්තාපයද? දේශපාලන ස්වයං-ප්‍රතිකර්මයක්ද?
අනුර කුමාර දිසානායක මහතාගේ මෙම ‘හොද’ ප්‍රකාශය පිටුපස ඇති මානසිකත්වය ද විමසා බැලීම වටී. 2005 වසරේ සිට ‘මනුෂීය මෙහෙයුම’ නමින් හැඳින්වූ යුද්ධයට දකුණේ ජනමතය සකස් කරමින්, යුදවාදයේ ප්‍රමුඛ නියමුවෙකු ලෙස, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග එක්වී, ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ ආකාරය ඉතිහාසයෙන් මකා දැමිය නොහැක. ඇතැම් විට එදා තමන් අනුමත කළ ජන ඝාතක, දරුණු යුද්ධය විසින් සිදුකළ ‘අපරාධමය’ පීඩාව, වර්තමානයේ තම අභ්‍යන්තර හෘද සාක්ෂියට වද දෙනවා විය හැකිය. එවැනි පීඩාවකින් තාවකාලික සුවයක් ලැබීමට දෙමළ ජනතාව ඉදිරියේ මෙවැනි ප්‍රකාශ කිරීම ස්වයං-ප්‍රතිකර්මයක් විය හැකි වුවත්, එයින් දෙමළ සමාජයට සාමූහික යුක්තියක් හෝ සහනයක් අත් නොවේ.
ගැඹුරු දේශපාලන හා මානුෂීය තුවාල සහිත සමාජයක යුක්තිය ඉටුකිරීම පසෙකලා, දේශපාලන ඉල්ලීම් සෞන්දර්යාත්මක වචනවලින් වසා දැමීම තවත් ආකාරයක ප්‍රචණ්ඩත්වයට හා සමානය. අපට දැන් වැදගත් වන්නේ ජනාධිපතිවරයා විසින් ‘සිදුකළ ප්‍රකාශය’ නොව, එම ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීමට ඔහු ගන්නා ‘ක්‍රියාකාරී පියවරයන්’ ය.
තවත් ප්‍රධාන ප්‍රශ්නයක් ඉතිරි වේ. එනම්, මා ඉහත සඳහන් කළ ආකාරයේ අපරාධවලට අදාළව – අභ්‍යන්තර යුක්තිය සඳහා – කිසිදු පියවරක් නොගන්නා තත්ත්වයක් වේ නම්, ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශයට වඩා දිරිමත් ප්‍රකාශයක් සිදු කළ ද එය වැඩක් නොවේ. එය එසේ වන්නේ එම ප්‍රකාශයන් තමන්ගේ අපරාධවලට සම්බන්ධ ක්ෂතිමය අත්දැකීම්වල වේදනාව සමනය කිරීම සඳහා සිදු කරන ස්වයං ප්‍රතිකර්මයක් පමණක් වීමයි.
එය කිසිදු සාමූහික සුවයක් හෝ යුක්තියක් දෙමළ සමාජයට ළගා කර දෙන්නේ නැත. ජනාධිපතිවරයාගේ සංචාරයේ දෘශ්‍යමය තත්ත්වයන්ගෙන්ද මෙය තහවුරු වේ. ගැඹුරු තුවාල සහිත සමාජයක දේශපාලන ඉල්ලීම් පසෙකලා ඒවා සෞන්දර්යාත්මක කිරීම යනු එම තුවාල ඇති කළ ක්‍රමවේදයට සමාන තත්ත්වයකි. අවසානයේදී, වඩාත් වැදගත් වන්නේ වචන නොව ක්‍රියාකාරකම්ය. සංහිඳියාව සඳහා සැබෑ පියවර – යුක්තිය, සත්‍යය සහ බලය බෙදා හැරීම – වැනි දේශපාලන ක්‍රියාකාරීත්වයන් ය. එසේ නොවුණහොත්, මෙවැනි ප්‍රකාශයන් හුදු දේශපාලන රංගනයන් පමණි.