iMage:SLM
ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඉකුත් පෙබරවාරි 19 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිල වශයෙන් සිය “කනගාටුව” පළකර ඇති බව වාර්තා විය. රජයේ නීතිඥවරයා මගින් ඉදිරිපත් කළ මෙම කනගාටුව පළකිරීමේ ලිපිය, එක් අතකින් යුක්තිය පසඳලීමේ ජයග්‍රහණයක් සේ පෙනුණද, එමගින් වසන් කළ නොහැකි බරපතල අඳුරු පැත්තක් පෙන්නුම් කරයි. එනම්, පොලීසියේ වැරදි තීරණ නිසා නිදහස් පුරවැසියෙකුගේ ජීවිතයට සහ මානව හිමිකම්වලට සිදුවන ආපසු හැරවිය නොහැකි හානියයි.
“කනගාටුවෙන්” පියවිය නොහැකි සිරදඬුවම
2023 වසරේ පැවති “මෝඩාභිමානය” නමැති ප්‍රහසන වැඩසටහනකදී ඇය කළ ප්‍රකාශවලින් ‘බුදුදහමට අපහාසයක් වූ බව පවසමින්’, එම වසරේ මැයි මස 27 වන දා කටුනායක ගුවන්තොටුපොළේදී නතාෂා අත්අඩංගුවට ගැනුණි. එතැන් සිට ජූලි මස 05 වන දා දක්වා ඇය ගත කළේ රක්ෂිත බන්ධනාගාරයේ යකඩ කූරු අතරය.
අධිකරණයට ඉදිරිපත් කළ ලිපිය මගින් අදාළ නිලධාරියා(එස්.එම්.යූ. සුබසිංහ) පවසා ඇත්තේ ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් තමන් බලවත් කනගාටුව පළ කරන බවත්, ඉන් ඇයගේ කීර්ති නාමයට හා චිත්ත පීඩාවට යම් හානියක් වූයේ නම් ඒ පිළිබඳව ද කනගාටුව ප්‍රකාශ කරන බවත්ය. එහෙත් ප්‍රශ්නය වන්නේ, ලිපියකින් පළ කරන කනගාටුවකට ඇය විඳි මානසික පීඩනය, සමාජයීය අපහාසය සහ ඇයගේ ජීවිතයෙන් ගිලිහී ගිය කාලය යළි ලබා දිය හැකිද යන්නයි.
ICCPR පනත දඩයම් ආයුධයක් කර ගැනීම
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) නිර්මාණය කර ඇත්තේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මිස, නිදහස් මත ප්‍රකාශ කරන්නන් දඩයම් කිරීමට නොවේ. එහෙත් මෙරට පොලීසිය පසුගිය කාලය පුරාම මෙම පනත භාවිතා කළේ ‘ඇප දිය නොහැකි’ මට්ටමට කරුණු ගොනු කරමින් පුද්ගලයන්ගෙන් පළිගැනීමට හෝ ජනප්‍රිය රැල්ල සතුටු කිරීමටය. එසේ නැත්නම් කහ රෙදි පොරවාගත් ශරීර සතුටු කිරීමටය. නතාෂාගේ සිද්ධියේදී ද සිදු වූයේ එයයි.
නීතියේ හරය අවබෝධ කර ගැනීමට ඇති නොහැකියාව හෙවත් ‘මුග්ධභාවය’ නිසා, පටු ආගමික හෝ දේශපාලන උසිගැන්වීම්වලට නතුවී විමර්ශනයක් නොමැතිවම ඇයව සිරගත කිරීමට පොලීසිය කටයුතු කළේය. අවසානයේ ඇයට මහාධිකරණ නියෝගයක් මගින් ඇප නියම විය.
මාර්ගෝපදේශ නිකුත් කිරීම: අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමද?
මෙම සිද්ධියට සමගාමීව, අනාගතයේදී ICCPR පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී සිදුවිය හැකි අනිසි භාවිතයන් වළක්වාලීම සඳහා පොලිස් නිලධාරීන්ට විශේෂ “මාර්ගෝපදේශ මාලාවක්” නිකුත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතිබවත් වාර්තා වූ අතර මෙය එක් අතකින් හාස්‍යජනක වන්නේ අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමක් වැනි නිසා වුවත්, නතාශාගේ සිදුවීමෙන් හෝ පොලිස් ඇස කුඩා ප්‍රමාණයකට හෝ විවෘත වීම සාධනීය කරුණකි.
කෙසේ නමුත්, පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට මෙවැනි මූලික නීතිමය තත්ත්වයන් අවබෝධ කර ගැනීමට “නතාෂා කෙනෙකු මාස ගණනක් සිරබත් කන තුරුම” සිටීමට සිදු වූයේ ඇයි? නිසි විචාර බුද්ධියක් සහ නීතිමය සාක්ෂරතාවක් නොමැතිව, හැඟීම්බර රැල්ලට අනුව ක්‍රියා කරන නිලධාරීන් සිටින තාක්, කඩදාසිවල ලියන මාර්ගෝපදේශවලින් පමණක් පුරවැසි අයිතීන් සුරැකේ යැයි සිතිය නොහැක.
පද්ධතියේ දැවැන්ත වෙනසක අවශ්‍යතාව
නතාෂා එදිරිසූරිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී මෙම කනගාටුව පළ කිරීමත් සමඟ විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. එහෙත් එයින් සියල්ල අවසන් නොවේ. මෙම සිද්ධිය සමස්ත පොලිස් පද්ධතියටම එල්ල වූ තද බල පහරකි.
පොලිසිය කළ යුත්තේ “කනගාටුව” පළ කිරීම පමණක් නොව, මෙවැනි අනීතික අත්අඩංගුවට ගැනීම්වලට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව දැඩි පරිපාලන ක්‍රියාමාර්ග ගැනීමයි. නීතිය ක්‍රියාත්මක කරන්නන් නීතියට ඉහළින් සිටින තාක් සහ ඔවුන්ගේ වැරදිවලට සාමාන්‍ය පුරවැසියන්ට වන්දි ගෙවීමට සිදුවන තාක්, සාධාරණත්වය යනු හුදු වචනයක් පමණක් වනු ඇත.
“ප්‍රකාශන නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදයේ හදවතයි. එය මර්දනය කිරීමට නීතිය අවභාවිත කිරීම ශිෂ්ට සම්න්න සමාජයකට ලැජ්ජාවකි. පිළිකුලකි”
එපමණක් ද නොවේ, ‘ශ්‍රී ලංකා පොලීසිය’ දැවැන්ත ලෙස ප්‍රතිසංස්කරණය විය යුතු බව නැවත වරක් පොලීසිය විසින්ම පෙන්වා දී තිබේ. එසේ නොවුනහොත් පුනරුද ආණ්ඩුවේ ‘ලස්සන ජීවිතයක්’ යන්න වචන දෙකක් පමණක් වනු ඇත.
තවත් දෙයක් මතක් කළ යුතුය. මෙවන් තත්ත්වයක් තුළ ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් යෝජනා කර ඇති අතිශය මර්දනීය අන්තර්ගතයක් සහ පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ වෙත දැවැන්ත බලතල හිමිවන ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ නීතියක් ලෙස සම්මත වුවහොත් විය හැකි අතිශය දරුණු තත්ත්වය සිතා ගැනීමට රොකට් සයන්ස් අවශ්‍ය වන්නේ නැත.
