ශ්‍රී ලංකාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් වරක් මාරාන්තික අගාධයකට ඇද දමා ඇති බව තහවුරු වන්නේ, ලේඛක දීපචෙල්වන්ගේ කෘති සම්බන්ධයෙන් රේගුව සහ කලා මණ්ඩලය ගනු ලැබූ මර්දනකාරී තීරණයත් සමඟය. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ 2026.04.20 දිනැති ලිපියට අනුව, පොත් තොගයකින් කොටසක් නිදහස් කර තවත් කොටසක් රඳවා ගැනීමට පියවර ගෙන ඇත. මෙම ක්‍රියාවලිය හරහා කලාව පෝෂණය කිරීමට පත් කළ ආයතන, කලාව දඩයම් කරන “කලා පොලිසියක” භූමිකාවට පණ පොවමින් සිටීම සමස්ත සමාජයටම කරන ලද අභියෝගයකි.
නෛතික විශේෂඥතාව සහ දේශපාලන පත්වීම්වල නිරුවත
රේගු ප්‍රකාශයට (CusDec No. 47995) අනුව, “Bayangaravaathi” සහ “Cynide” නිදහස් කර ඇති මුත්, “Elluttal nan Yuttam Ceykiren” සහ “Ippothum Inge Irandu Thesangalthaan” යන කෘති රඳවා ගෙන ඇත. මීට පදනම ලෙස දක්වා ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි “රාජ්‍ය විරෝධී” උත්තේජනයන් මෙහි අඩංගු බවයි.
මෙහිදී මතු වන බරපතල ප්‍රශ්නය වන්නේ, හුදු දේශපාලන පත්වීම් මත යැපෙන ජාතික කලා මණ්ඩලයට හෝ සාහිත්‍ය අනුමණ්ඩලයට දණ්ඩ නීති සංග්‍රහය වැනි සංකීර්ණ නෛතික කරුණු අර්ථ නිරූපණය කිරීමට ඇති ප්‍රවීණතාව හෝ නෛතික බලය කුමක්ද යන්නයි. කලාව පෝෂණය කිරීමට දිවුරා සිටින පිරිසක්, මර්දනකාරී යාන්ත්‍රණයේ “අතකොලු” බවට පත්වෙමින් ලේඛකයෙකුගේ ප්‍රකාශන අයිතිය වාරණය කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වීම අතිශය සදාචාර විරෝධී මෙන්ම පිළිකුල් සහගත ක්‍රියාවකි.
ආරක්ෂක අමාත්‍යාංශයෙන් කලා මණ්ඩලයට මාරු වූ ‘වාරණ’ කොන්ත්‍රාත්තුව
මුලදී මෙම කෘති සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ කැඳවූ බව පැවසුණද, අවසන් තීරණය සඳහා කලා මණ්ඩලයේ වාර්තා පදනම් කර ගැනීම අතිශය උත්ප්‍රාසාත්මකය. අදාළ ප්‍රකාශයන්ට අනුව, සංස්කෘතික අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය යන ආයතන දෙකම මෙම වාරණයට හවුල් වී ඇත.
මෙමඟින් තහවුරු වන්නේ කලා මණ්ඩලය ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියා කරනවා වෙනුවට, රජයේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කලා නිර්මාණ පෙරා වෙන් කරන “කලා වධකාගාරයක්” බවට පත්ව ඇති බවයි. විශේෂයෙන්ම සම්මුඛ සාකච්ඡා සහ සාහිත්‍යමය ප්‍රකාශන රඳවා තබා ගැනීම තුළින් පෙනී යන්නේ, පාලකයාට රුචි නොවන ‘දෙමළ සාමූහික මතකය’ සහ ‘දේශපාලන අදහස්’ සමාජගත වීම වැළැක්වීමට රජය දරන ඒකාධිකාරී උත්සාහයයි.
ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ කලා පොලිසියේ අශිෂ්ට භූමිකාව
සාහිත්‍යය යනු එක් පැත්තකින් සමාජයේ දේශපාලන විඥානය සහ අතීත අත්දැකීම් විවරණය කරන කැඩපතකි. එය පාලකයාගේ රුචිකත්වය අනුව හැඩගැස්වීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක් නොව, එය ඒකාධිපති ම්ලේච්ඡත්වයේ ලක්ෂණයකි. තමන්ට නෛතික බලයක් නොමැති ක්ෂේත්‍රවලට අතපොවමින්, හිතුවක්කාරී මිනුම්දඬු හරහා භාෂණයේ නිදහස සීමා කිරීමට කලා මණ්ඩලය උත්සාහ කරන්නේ නම්, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට එල්ල කරන මරු පහරකි.
එබැවින්, රේගුව සහ කලා මණ්ඩලය එක්ව සිදු කරන මෙම වාරණ ක්‍රියාවලිය වහාම නතර කළ යුතුය. කලාව පෝෂණය කිරීමට පත් කළ පිරිස, කලාව මර්දනය කරන “ආරක්ෂක ඒජන්තවරුන්” බවට පත්වීම සමාජයක් ලෙස අප මුහුණ දෙන අවාසනාවන්තම පුනරුදයයි. ඩිජිටල් ලෝකය තුළ, නිර්මාණශීලී අදහස් රේගු ගබඩාවල සිරකර තැබීමෙන් මිනිස් චින්තනය පාලනය කළ නොහැකි බවත්, අදහස් යනු වැටකඩොලු බැඳ නතර කළ හැකි දෙයක් නොවන බවත් බලධාරීන් සිහි තබා ගත යුතුය.
සම්පත් සමරකෝන් | Sampath Samarakoon