iMage: යාපනයේ උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කතෘවරයාට(Gunasundaram Kuganadan) හමුදා මුර පොළක් අසලදී 2011 ජූලි 29 දා පහර දුන් අතර එම අපරාධය තවමත් පවතින්නේ අපරාධකරුවෙක් නැති අපරාධයක් ලෙසය. / Sampath Samarakoon
ඕනෑම ශිෂ්ටසම්පන්න සමාජයක පැවැත්ම තීරණය වන්නේ ජනතාව සතු තොරතුරු දැනගැනීමේ අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මතය. 2026 ලෝක මාධ්‍ය නිදහස් දිනයේ තේමාව වන්නේ ‘සාමය පිරුණු අනාගතයක්’ යන්නයි. මෙහිදී ‘සාමය’ යනු හුදෙක් යුද්ධයක් හෝ ප්‍රචණ්ඩත්වයක් නොමැති වීම පමණක් නොව; යුක්තිය, නිදහස සහ අන්‍යෝන්‍ය අවබෝධය රජයන සමාජ වටපිටාවකි. එවැනි තිරසාර සාමයක් උදෙසා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ස්වාධීන මාධ්‍ය ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි.
ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම තහවුරු කිරීම
මාධ්‍ය නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදයේ සිව්වන කුළුණයි. පාලකයන්ගේ ක්‍රියාකලාපයන් විවේචනාත්මකව විමසීමටත්, මහජන මතය නිරවුල්ව නියෝජනය කිරීමටත් මාධ්‍යයට නිදහස තිබිය යුතුය. එසේම විනිවිදභාවය පවතින තැන දූෂණය අවම වන අතර, එය සාමකාමී සමාජ රටාවකට ශක්තිමත් පදනමක් සපයයි. මාධ්‍යවේදීන්ට ස්වයං-වාරණයකට යටත් නොවී, බාහිර බලපෑම්වලින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට ඇති බාධා ඉවත් කිරීම යනු මුළු මහත් සමාජයේම නිදහස සහ සාමය තහවුරු කිරීමකි.
සංවාදය සහ සංහිඳියාව සඳහා වන අවකාශය
මෙවර තේමාව මගින් අවධාරණය කෙරෙන තවත් ප්‍රබල කරුණක් වන්නේ, විවිධ මතවාද දරන පාර්ශවයන් අතර පාලමක් ලෙස මාධ්‍ය කටයුතු කළ යුතු බවයි. ගැටුම් නිරාකරණය සඳහා මාධ්‍ය මෙවලමක් ලෙස භාවිත කිරීමෙන් ප්‍රචණ්ඩත්වය වෙනුවට සංවාදය පෙරදැරි කරගත් සංස්කෘතියක් බිහිකළ හැකිය. මාධ්‍යවේදියා යනු හුදෙක් පුවත් වාර්තාකරුවෙකු පමණක් නොව; සාමය, නිදහස සහ යුක්තිය උදෙසා ක්‍රියාකාරීව මැදිහත් වන උපායමාර්ගික මැදිහත්කරුවෙකි.
අභියෝග සහ අනාගත වගකීම සහ ලාංකීය සන්දර්භය
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා මාධ්‍ය නිදහස අද වන විට බරපතල අභියෝගයකට මුහුණ දී සිටී. විශේෂයෙන්ම ලංකාව තුළ ක්‍රියාත්මක ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් (Online Safety Act) සහ වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව යෝජනා කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) වැනි මර්දනීය නීතිමය උපකරණ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ඩිජිටල් අවකාශයේ නිදහස සීමා කරන ප්‍රභල බාධක ලෙස පවතී.
වඩාත් ම කණගාටුදායක කරුණ වන්නේ, පසුගිය දශක කිහිපය පුරා ලංකාවේ සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදහන් කිරීම්, පහරදීම් සහ මාධ්‍ය ආයතනවලට එල්ල වූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටු වී නොතිබීමයි. ලෝක මාධ්‍ය නිදහස් දර්ශකවල ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් පෙන්වූවද, එම දර්ශක මගින් මනිනු ලබන්නේ වර්තමාන වාතාවරණය පමණි. නමුත් මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පවතින ‘දණ්ඩමුක්තිය’ (Impunity) සංස්කෘතිය තවමත් පවතින්නේ අඳුරු ගුහාවකය. එබැවින් ‘දණ්ඩමුක්තිය’ අවසන් නොකරන තාක් මාධ්‍ය නිදහස අභියෝගයට ලක්වනු ඇත.
එපමණක් නොව දණ්ඩමුක්තිය රජකරන රාජ්‍යයක් තුළ මාධ්‍ය නිදහස යනු සැමවිටම අනතුරේ පවතින සිහිනයකි. සාමය යනු හඬක් නොමැතිව නිහඬව සිටීම නොව, යුක්තිය වෙනුවෙන් බියෙන් තොරව හඬ නැගීමට ඇති අවකාශයයි. එම අවකාශය සුරක්ෂිත කළ හැක්කේ මානව හිමිකම් මත පදනම් වූ වෘත්තීමය මාධ්‍ය භාවිතය සහ සක්‍රීය පුරවැසි මැදිහත්වීම හරහා අපරාධවලට යුක්තිය දිනා ගැනීමෙන් පමණි.
සාමය උදෙසා යුක්තියත් – යුක්තිය උදෙසා මාධ්‍ය නිදහසත් අත්‍යවශ්‍ය වේ.
සම්පත් සමරකෝන් | Sampath Samarakoon