“අදත් නෑ…”

පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙන් පිටතට පැමිණි ඒ මහලු මව්පියන්ගේ දෑස්වල තිබුණේ හිස් බවකි. තම පුතුගේ ඝාතනයට යුක්තිය ඉල්ලා නීතියේ දෙවොලට පැමිණි ඔවුන්ට, ඊයේ(05) දවසේත් හිමි වූයේ තවත් “දිනයක්” පමණි.

පසුගිය ජනවාරි 12වනදා” වැලිකන්ද, ගල්කන්ද ප්‍රදේශයේදී පොලිසියේ වෙඩි පහරින් ජීවිතය අහිමි වූ ට්‍රිෂාන් නම් තරුණයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා කෙරෙන සටන, තවත් එක් නඩු ගොනුවකට පමණක් සීමා වී නැත. එය පද්ධතියක් තුළ සාමාන්‍ය මිනිසෙකු මුහුණ දෙන අසරණභාවය පිළිබඳ කතාවකි.

සාක්ෂි කූඩුව සහ ‘සූදානම් නැති’ නිලධාරීන්

සිතාසි ලැබුණු පසු, හදවතේ පිරුණු වේදනාවත් දරාගෙන ට්‍රිෂාන්ගේ මව්පියන් සහ සහෝදරයා අධිකරණයට පැමිණියේ තම පුතුට සිදු වූ අසාධාරණය ගැන ලෝකයට හඬක් නැගීමටය. නමුත්, සාක්ෂිකරුවන් කූඩුවට නැගීමට සූදානම්ව සිටියදී, සාක්ෂි මෙහෙයවිය යුතු පොලිසිය කියා සිටියේ තමන් ඊට “සූදානම් නැති” බවයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුට පැවති “හදිසි රාජකාරියක්” නිසා යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට තවත් තිතක් වැටුණි. පොලිසිය අධිකරණයෙන් සමාව අයැද සිටියද, එම ප්‍රමාදය නිසා රිදෙන්නේ යුක්තිය පසඳලීමේ පද්ධතියට පමණක් නොවේ; තම දරුවාගේ මරණය ගැන සාක්ෂි දීමට සිත හදාගෙන පැමිණි ඒ අසරණ මව්පියන්ගේ හදවත්වලටය.

“අගතියට පත් පාර්ශ්වයට අසාධාරණයක් නොවන ලෙස කටයුතු කරන්න”

මහේස්ත්‍රාත්වරියගේ එම අවවාදය තුළ ගැබ්ව ඇත්තේ බලවත් පණිවිඩයකි. රාජකාරියට වඩා මානුෂීය වගකීම සහ නීතියේ ආධිපත්‍යය වැදගත් බවත්, බලධාරීන්ගේ නොසැලකිල්ල හමුවේ සාමාන්‍ය ජනතාවගේ අයිතීන් පෑගිය නොහැකි බවත් එමඟින් අවධාරණය කෙරුණි. ඒ පිළිබද පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරනයට අපේ ගෞරවය පිරිනමමු.

බලපෑම් හමුවේ නොසැලෙන නීතිය

මේ සියල්ල මැද තවත් බරපතළ චෝදනාවක් කරළියට පැමිණ තිබේ. ඒ, ඝාතනයට ලක් වූ තරුණයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට( නීතිඥ සේනක පෙරේරා) පොලිස් නිලධාරීන් විසින් බලපෑම් එල්ල කළ බවට වන චෝදනාවයි. නීතියේ හස්තය දිගු විය යුත්තේ අපරාධකරුවන් මැඬලීමට මිස, යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ හඬ යටපත් කිරීමට නොවන බව සිහිපත් කළ යුතුය. අදාල දිනයේ දී පොලීසියේ හැසිරීම සහ ඔවුන්ගේ අභිනයන්ගෙන් ලබා දුන් පණිවිඩය සහ ඔවුන් පෙනී සිටින්නේ කුමක් සදහා ද යන්න පිළිබද නිරීක්ෂනයන් සමග ඉදිරියේ ලියමි.

පොලිසියේ සූදානම් නැතිකම හමුවේ නඩුව ජුනි මස 23 වැනිදාට කල් තැබුණි.

තමන් විසින්ම නිකුත් කළ සිතාසියකට තමන්ම සූදානම් නැතිව පැමිණීම හුදු තාක්ෂණික දෝෂයක් නොව, එය පද්ධතියේ ඇති සංවේදීතාවය සහ වෘත්තීමයභාවය පිළිබඳ දැවැන්ත ප්‍රශ්නාර්ථයකි. වෘත්තීයවේදීන් ලෙස නිලධාරීන් මීට වඩා වගකීමෙන් බැඳී සිටිය යුතුය. මන්ද, ප්‍රමාද වන යුක්තිය යනු අහිමි කරන ලද යුක්තියක්ම වන බැවිනි.

නැවතත් ලියමි. ප්‍රමාද වන යුක්තිය යනු අහිමි කරන ලද යුක්තියක්ම වන බැවිනි.

මේ පිළිබද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ, කැදවුම්කරු, සුදේශ් නන්දිමාල් විසින් දක්වන අදහස් ඇතුලත් වීඩියෝව පහතින් පළ කරන්නේ මෙම නඩුකරය සහ ඒ හා බැදි තත්ත්වයන් ගැඹුරු අදහසක් ඔබට ලබා ගත හැකි බැවිනි.

*
[වැලිකන්ද තරුණයාගේ ඝාතනය] නීතියේ ආධිපත්‍යයද, ගිනි අවියේ ආධිපත්‍යයද? තරුණයාගේ මව කියන කතාව අහන්න ‘කකුලට වෙඩි තිබ්බේ කියලා පොලීසිය කිව්වා’ ඝාතනය හෙළි කරන කටුක ඇත්තකියවන්න