iMage: AdaDerana
බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ බරපතළ චෝදනාවට ලක්ව සිටින පල්ලේගම හේමරතන සම්බන්ධ නාට්‍යය දෙස බලන විට, මේ රටේ සාමාන්‍ය පුරවැසියාට යුක්තිය පිළිබඳ විශ්වාසය පළුදුවීම වීම පුදුමයට කරුණක් නොවේ. ප්‍රබල සාක්ෂි පවතිද්දී පවා, චෝදනාලැබූ ‘අටමස්ථානාධිපති’ රිමාන්ඩ් බන්ධනාගාරයක තාප්පයක්වත් නොදැක, පෞද්ගලික රෝහලකින් පසුව තවත් රෝහලක සුවපහසු ඇඳක සිටම ඇප ලබා අනුරාධපුරයට වැඩම කිරීම ‘පුනරුද කාලයේ’ ලාංකීය ඉතිහාසයට එක් වූ තවත් එක් ‘අසිරිමත්’ සන්ධිස්ථානයකි.
රාජ්‍ය නායකයාගේ ‘බොරලුගොඩ’ ආශ්චර්යය
රටම කැලඹූ ළමා අපයෝජන චෝදනාවක් සමාජය ඉදිරියේ දිගහැරෙමින් පවතිද්දී, රාජ්‍ය නායකයා අද(27) ජාතික වෙසක් උත්සවය අමතා කළ කතාව කියවා ගැනීමෙන් බොහෝ දේවල් තේරුම්ගත හැකිය. බොරලුගොඩවල්වල දිගාවෙලා ඔහු ගමේ පංසලේ ‘හාමුදුරුවන්ට’ වැන්ද බව කියමින්, ‘සංඝාධිකරණයක්’ පිහිටුවීම පිළිබඳ අපූරු ‘බණක්’ ජනාධිපතිවරයා දේශනා කළේය. බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීම වැනි සාහසික සාපරාධී වරදක් දණ්ඩ නීති සංග්‍රහය යටතේ සිවිල් අධිකරණයක විභාග විය යුතු බව නොදන්නවා සේ, එය ආගමික රාමුවක් තුළට ලඝු කිරීමට උත්සාහ කිරීම මඟින් පැහැදිලි වන්නේ චෝදනා ලැබූ අය බේරාගැනීමේ දේශපාලන වුවමනාව මිස අන් යමක් නොවේ. එබැවින්, හේමරතන සිදුවීමෙන් තව දුරටත් පැහැදිලි වන්නේ වන්නේ ලාංකීය රාජ්‍යය වෙලාගෙන ඇති ‘සිංහල-බෞද්ධ අධිපතිවාදයේ’ සාහසික ග්‍රහණයයි. රාජ්‍යය මේ ආගමික ප්‍රාණඇපකාරිත්වයෙන් මුදවා ගැනීම තවදුරටත් න්‍යායික විවාදයක් නොවේ. එය වහාම කළ යුතු දේශපාලන ශල්‍යකර්මයකි. එය සිදුකර ගැනීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකා රාජ්‍ය තව දුරටත් වැඩවසම් සමාජයක් කරා තල්ලුවීම වේගවත් වනු ඇත.
ඒත් සමග, මෙතෙක් කල් දැඩි නිද්‍රාශීලී සුවයෙන් පසු වූ ළමා කටයුතු භාර අමාත්‍යවරිය ද නින්දෙන් අවදි වූවාක් මෙන් මොනවාදෝ ප්‍රකාශ නිකුත් කරමින් සිටියි. වින්දිත දරුවා වෙනුවෙන් වහාම මැදිහත් විය යුතු ආයතන, විශේෂයෙන් පොලීසිය පසුවන්නේ දැඩි අංශභාග තත්ත්වයකය.
මුදල්, ආගම සහ දේශපාලන ත්‍රිත්ව සන්ධානය
හේමරතන සම්බන්ධයෙන් සිදුවීම් පෙළගැස්ම දෙස බලන විට, චෝදනා ලැබ සිටින පල්ලේගම හේමරතන ගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය වැනි දේවල් මුල් කරගනිමින් කාලයත් සමඟ යටපත් වීමේ හෝ ඇදී යාමේ දැඩි අවදානමක් පවතී. එපමණක් ද නොවේ, සැකකරු සතු අසීමිත මූල්‍ය ශක්තිය, ආගමික පදවිය/බලය සහ දේශපාලන සබඳතා නමැති ‘ත්‍රිත්ව සන්ධානය’ හමුවේ නීතියේ දෑස් තදින්ම පියාගෙන සිටීමට බොහො දුරට ඉඩ ඇත. පොදු ජනයා සුළු වරදකටත් මාස ගණන් වැලිකඩ කූඩුවල ලගින විට, ප්‍රභූන් වෙනුවෙන් නීතිය රෝහල් කාමර කරා වැඩම කර ඇප පත්‍ර පිළිගැන්වීම මඟින් කියාපාන්නේ ‘නීතිය සැමට සමානයි’ යන පාඨයේ ඇති අපූරු බවය.
සරලවම කියන්නේ නම්, නීතිය ක්‍රියාත්මක වන්නේ රික්තකයක නොව, පවතින නිශ්චිත දේශපාලන සන්දර්භයක් තුළ බව වටහා ගැනීමට මීට වඩා හොඳ නිදසුනක් තවත් නැත.
යුක්තිය යනු දිනාගත යුතු වැඩබිමකි
එමනිසා පවතින ක්‍රමය තුළින් මේ අසරණ දැරියට යුක්තිය ඉටු වේ යැයි බලාපොරොත්තු වීම සැක සහිතය. මන්ද, බලවතුන් වෙනුවෙන් නීතියේ සිදුරු ඕනෑ තරම් නිර්මාණය කර දීමට පද්ධතිය සූදානම්ය.
එබැවින්, අපට ඉතිරිව ඇති එකම විකල්පය නම්, මෙම දේශපාලන නාට්‍යයන්ට රැවටී නිහඬ නොවීමයි. පද්ධතිය විසින් යුක්තිය වළලා දැමීමට උත්සාහ කරන සෑම අවස්ථාවකදීම, සමාජ මාධ්‍ය සහ සිවිල් ක්‍රියාකාරීත්වය හරහා එල්ල වන සාධනීය මහජන බලපෑම තවදුරටත් තීව්‍ර කළ යුතුය. මන්ද, දේශපාලන බලපෑම් මත හැසිරෙන නීතියක් ඇති රටක, යුක්තිය යනු ඉබේ ලැබෙන දෙයක් නොව, අඛණ්ඩ අරගලයකින් දිනාගත යුතු දේශපාලන වැඩබිමක් නිසාය.