පසුගිය ජනවාරි 12 වනදා වැලිකන්ද, ගල්කන්ද ප්‍රදේශයේදී වැලිකන්ද පොලිසියේ වෙඩි පහරින් ජීවිතය අහිමි වූ ට්‍රිෂාන් නැමැති තරුණයාගේ ඝාතනයට අදාළ නඩුව ඊයේ (23) නැවත වතාවක් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් සාක්ෂි ලබා දීම සඳහා ඝාතනයට ලක් වූ ට්‍රිෂාන්ගේ බාල සහෝදරයා අධිකරණයට පැමිණ සිටි අතර, ඔහු වෙනුවෙන් නීතිඥ ධනුෂ්ක සිල්වා මහතා පෙනී සිටියේය. මීට අමතරව, අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ රසික ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ද අධිකරණ භූමියට පැමිණ සිටියහ.

පොලීසියේ ඉල්ලීම මත නඩුව ප්‍රමාද වෙයි

මහෙස්ත්‍රාත් අධිකරණයේ එදින පළමු නඩු කටයුත්ත ලෙස ඊයේ (23) උදෑසන මෙම නඩුව කැඳවූ නමුත්, එහි සාක්ෂි විමසීම අධිකරණය විසින් පසුවට කල් තබන ලදී. අනතුරුව පෙරවරු 11.30 ට පමණ නැවතත් නඩුව කැඳවූ අවස්ථාවේදී පොලීසිය අධිකරණයට දන්වා සිටියේ, මෙම නඩුවේ සාක්ෂි විමසීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ‘මනතුංග’ නැමති නිළධාරියා පැමිණීමට නියමිත බවයි. ඔහු පස්වරු 1.30 ට අධිකරණයට පැමිණෙන බැවින්, එතෙක් නඩුව තාවකාලිකව කල් තබන ලෙස පොලීසිය ඉල්ලා සිටියේය.

එහිදී අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පෙර අවස්ථාවලදී ද පොලීසිය මෙලෙසම කටයුතු කර ඇති බවත්, මෙය යහපත් තත්ත්වයක් නොවන බවත්ය. කෙසේ වුවද, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ගරු මහේස්ත්‍රාත්වරිය, පොලිස් අධිකාරීවරයා පැමිණීමෙන් පසු පස්වරු 1.30 ට නඩුව නැවත කැඳවීමට තීරණය කළාය.

පැය ගණනාවක බලා සිටීමෙන් පසු සිදු වූ වෙනස

පස්වරු 1.30 ට අධිකරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසු නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී පොලීසිය පෙර ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් අදහසක් දක්වමින් කියා සිටියේ, අදාළ පොලිස් අධිකාරීවරයා අධිකරණයට නොපැමිණෙන බවයි. කෙසේ නමුත්, අධිකරණයේ පෙනී සිටින පොලිස් සැරයන්වරයා සාක්ෂි විමසීම සඳහා සූදානම් බව ඔවුහු පැවසූහ.

ඒ අනුව, පොලිස් අධිකාරීවරයා පැමිණෙන තෙක් පැය ගණනාවක් පුරා දැඩි අපහසුතාවයකින් බලා සිටි අගතියට පත් පාර්ශවයට, අවසානයේදී ඔහු නොමැතිවම, පැමිණ සිටි පොලිස් සැරයන්වරයාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දීමට සිදු විය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනුෂ්ක සිල්වා මෙසේ පැවසීය:

“මුල් අවස්ථාවේ සිටම විමර්ශන නිලධාරීන්ගෙන් විශාල අගතියක් සහ බලපෑමක් අගතියට පත් පාර්ශවයට සිදු වුණා. අද දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග නැමති විමර්ශන නිලධාරියා විසින් පැමිණිල්ල මෙහෙයවන බවට මුල් අවස්ථාවේදී ප්‍රකාශ කළා. ඒ අනුව ඔහු පැමිණෙනතුරු නඩුව පස්වරු 1.30 දක්වා බහාතැබීමක් සිදු කරා. කෙසේ නමුත් ඔහු නොමැතිව වෙනත් පොලිස් නිලධාරියෙක් විසින් අද දවසේ පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවනු ලැබුවා. අගතියට පත් පාර්ශ්වය ලෙස අගතියට පත් වුණු අය තවදුරටත් අගතියට පත් කිරීම සඳහා මේ විමර්ශන නිලධාරීන් කටයුතු කරමින් සිටින බව ඉතා පැහැදිලියි…”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ රසික ගුණවර්ධන ප්‍රකාශ කළේ:

“සුපුරුදු පරිදි පොලීසිය වින්දිතයන් තවදුරටත් වින්දිතභාවයට පත් කරමින් සිටිනවා. පොලීසිය සඳහන් කරා පරීක්ෂණය සම්බන්ධව මූලික කටයුතු කරපු මනතුංග කියන පොලිස් අධිකාරීවරයා සාක්ෂි කැඳවීමට පැමිණෙන බව, හැබැයි අවසානයේදී අධිකරණයට එහෙම නිලධාරියෙක් ආවේ නැහැ. මේ සිදුවීමෙන් අපිට ඉතාම පැහැදිලි වෙනවා පොලීසිය විසින් වින්දිතයන් තවදුරටත් වින්දිතභාවයට පත් කරන්න, ඔවුන් රස්තියාදු කරන්න සහ මේ නඩුව එපා කරවලා වින්දිතයන් ඉදිරියට ඒම වළක්වන්න කටයුතු කරනවා කියලා. මේක මේ ගරු අධිකරණ කටයුතු වලට බාධා කිරීමක්, කාලය කා දැමීමක්. ඒ වගේම ගරු අධිකරණයට අපහාස කිරීමක් මේ පොලීසිය සිද්ධ කරනවා.”

එසේම ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ:

“පොලීසිය භාර අමාත්‍යවරයාගෙන්, ඒ වගේම අධිකරණය භාර අමාත්‍යවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා, මේ පහුගිය කාලාන්තරය තිස්සේ සිදුවෙමින් පැවතිච්ච පොලිස් අපරාධ රාජ්‍යය තවදුරටත් පවත්වාගෙන යන්න ඉඩ දෙන්න එපා, මේකට විරුද්ධව මැදිහත් වෙන්න කියලා. එහෙම නැත්නම් අර රාජපක්ෂලා වගේ ඔයාලටත් වෙන්නේ මේ විදිහටම අකුලගෙන ගෙදර යන්න. මිනිස්සු බලන් ඉන්නවා. මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් ගැන ඉතාම උනන්දුවෙන් පසු වෙනවා.”

වින්දිතයන්ගේ අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යයට එල්ල වන බලපෑම

මෙම සිදුවීම තුළින් වින්දිතයන්ගේගේ අයිතිවාසිකම් මෙන්ම, රටේ සමස්ත නීතියේ ආධිපත්‍යය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය බිඳවැටීමේ බරපතල ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි.

වින්දිතයන් තවදුරටත් වින්දිතභාවයට පත් කිරීම: ඝාතනයට ලක් වූ තරුණයාගේ පවුලේ සාමාජිකයන් දැනටමත් දැඩි මානසික කඩා වැටීමකට ලක්ව සිටින පසුබිමක, වගකිවයුතු උසස් පොලිස් නිලධාරීන් අධිකරණයට පැමිණෙන බව පවසා අවසාන මොහොතේ මඟ හැරීම, වින්දිතයන් තවදුරටත් පීඩාවට පත් කිරීමකි. මෙවැනි ක්‍රියාවන් නිසා යුක්තිය – සාධාරණත්වය පතා ඉදිරියට එන සාමාන්‍ය ජනතාව අධෛර්යමත් වන අතර, ඔවුන් නීතිමය ක්‍රියාවලිය කෙරෙහි කලකිරීමට පත්වේ.

නීතියේ ආධිපත්‍යය සහ මහජන විශ්වාසය පළුදු වීම: ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධානතම ආයතනයක් වන පොලීසිය, මෙලෙස වගකීම් විරහිතව සහ පරස්පර විරෝධී ලෙස හැසිරීම සමස්ත යුක්ති පසිඳලීමේ ක්‍රියාවලියටම එල්ල කරන බාධාවකි. නිලධාරීන්ගේ මෙවැනි පමාවන් සහ මඟහැරීම් හේතුවෙන් අධිකරණයේ වටිනා කාලය අපතේ යන අතර, පොලීසිය කෙරෙහි සමාජය තුළ දැනටමත් පවතින අවිශ්වාසනීයත්වය, නොසතුට ඇතුලු අහිතකර තත්ත්වයන් තවදුරටත් කහවුරු වෙයි.

කෙසේ නමුත්, යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කිරීම යනු යුක්තිය අහිමි කිරීම හා සමාන වන බැවින්, මෙවැනි සංවේදී නඩුකරයන් හමුවේ වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් දක්වන මෙකී උදාසීන සහ වගකීම් විරහිත හැසිරීම්, සමස්ත ශිෂ්ට සමාජයක පැවැත්ම තීරණය කරන නීතියේ ආධිපත්‍යය මුලිනුපුටා දැමීමට ඉඩ හරින මාරාන්තික නිහඬතාවයකි. යුක්තිය-සාධාරණත්වය අපේක්ෂාවෙන් වැළපෙන වින්දිතයන්ගේ කඳුළු මතින් මෙලෙස වටිනා අධිකරණ කාලය සහ නීතිමය ක්‍රියාවලිය සරදමකට ලක් කිරීම, සමස්ත යුක්ති පසිඳලීමේ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා ඇති අවසන් විශ්වාසය ද අළු දූලි කර දමන අතිශය භයානක සමාජයීය ව්‍යසනයක් බව වටහා ගත යුතුය.

(මේ නඩුවේ සාක්ෂි විමසීමේදී පොලීසිය විසින් සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ‘රාවණා’ සම්බන්දයෙන් ඔබේ සොහොයුරා යම් දෙයක් විශ්වාසම කරනවාද වැනි අදහසක්ය. කෙසේ නමුත් ‘රාවණා’ නැමති පුරාවෘත්ත කතාවක්, මිථ්‍යා ප්‍රබන්ධයක් මෙයට ඇදා ගැනීමට යම් උත්සහයක් පොලීසිය විසින් ගන්නා බව සාක්ෂි විමසීම අසා සිටි මට හැගිනි. එබැවින් මෙම නඩුව හි ඉදිරියේදී පුරාවෘත්ත/මිථ්‍යා ප්‍රබන්ධ සහ නීතිමය කරුණු කෙසේ සාකච්ඡා වනු ඇතිද?)

සම්පත් සමරකෝන්

පොළොන්නරුවේ සිට.. ( මේ සම්බන්ධයෙන් වන පෙර ලිපිය කියවන්න)