අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සිය ෆේස්බුක් හී සටහනක් යොදමින් මෙසේ කියයි:

“බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු නිලධාරීන් සමඟ හමුවකට අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි. තම ගැටලු ජනාධිපතිවරයෙක් සමඟ සෘජුව සාකච්ඡා කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට අවස්ථාව හිමි වූයේ ප්‍රථම වරට බව මෙහිදී සඳහන් කෙරුණු අතර, මේ වන විට බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු කඩිනම් පියවර පිළිබඳවත්, මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ සිදුවීම වැනි දේ යළි සිදු නොවීමට ගත යුතු පියවර පිළිබඳවත්, බන්ධනාගාර නිලධාරීන්ගේ සුබසාධන කටයුතු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කළෙමි.”

මම හිතන්නේ එය ඉතාමත් වැදගත් ප්‍රවේශයක්. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ඉතාමත් බරපතල තත්ත්වයත්, ඉන්පසුව අනෙකුත් බන්ධනාගාරතුළ ඇති කරන ලද තත්ත්වයන්ගෙන් පසුව සාකච්ඡාවක් සදහා ජනාධිපතිවරයා සහභාගී වීම පැසසුමට ලක් විය යුතු කරුණකි.

නිල ප්‍රකාශයේ සැඟවුණු අනෙක් පැත්ත

නමුත් ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශය තුළ තවත් පැත්තක් තිබේ. ජනාධිපතිවරයා බන්ධනාගාර නිලධාරීන් හමුවී නිකුත් කළ නිල ප්‍රකාශය, දේශපාලන බල ව්‍යුහය සහ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ බරපතළ ව්‍යුහාත්මක විවේචනයකට මඟ පාදන බව මාගේ අදහසයි. බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ නිලධාරීන්ගේ සුබසාධනය ගැන දීර්ඝව සාකච්ඡා කරන ජනාධිපතිවරයාගේ සටහන තුළ, එම ව්‍යුහාත්මක ප්‍රචණ්ඩ පද්ධතියේම ගොදුරු බවට පත්ව ඝාතනය වූ ‘රැඳවියන්ගේ ජීවිත’ පිළිබඳව කිසිදු සටහනක් හෝ කණගාටුවක් ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම කැපී පෙනෙන ඌනතාවකි. එසේම රාජ්‍ය නායකයාගේ මෙම නිහඬතාවෙන් ගම්‍ය වන්නේ රාජ්‍ය නායකත්වය සැමවිටම නියෝජනය කරන්නේ සහ ආරක්ෂා කරන්නේ “බලය ඇති පාර්ශවය” පමණක්ද යන සාධාරණ සැකයයි.

රාජ්‍ය භාරයේ සිටින පුරවැසියාගේ ආරක්ෂාව සහ ආණ්ඩුවේ වගකීම

නමුත් බන්ධනාගාර තුළ සිදුවූ බරපතල තත්ත්වය යනු හුදකලා සිදුවීමක් හෝ බරපතල ලෙස නොගත යුතු තත්ත්වයක් නොවේ. එය එසේ වන්නේ රැදවියන් යනු රාජ්‍ය තුළ රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටින පිරිසක් වීමයි. ඔවුන්ගේ ජීවිතාරක්ෂාව සිදුකළ යුත්තේ රාජ්‍යයි. එම නිසා රාජ්‍ය භාරයේ සිටියදී රැදවියන් ඝාතනයට ලක්වීම යනු ශිෂ්ට සමාජය පිළිකුලෙන් බැහැර කරන්නකි. එම නිසා ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මෙම රැදවියන් ඝාතනය වීම හි පූර්ණ වගකීම බාරගත යුතු අතර ඒ පිළිබද විනිවිදභාවයෙන් යුතු පරීක්ෂනයක් පවත්වමින් සත්‍ය රටට හෙළි කල යුතුව තිබේ. (රටක් තුළ පවතින ආරක්ෂිතම ස්ථානය බන්ධනාගාරය බව සමාජය තුළ කතාවක් තිබෙන බව මෙහිදි සිහිපත් වෙයි.)

අනෙක් අතට, බන්ධනාගාරගත කර සිටින රැඳවියන් ට නිදහස සීමා කර හෝ අහිමිකර තිබුණා වුවත් අයිතිවාසිකම් නොමැති පිරිසක් නොවේ. එම නිසා, නිල ප්‍රකාශයන්හි ඔවුන්ගේ මරණ(ඝාතන) “අමතක කර දැමීම” හෝ “මඟ හැරීම” හරහා පෙන්වන්නේ, රාජ්‍යය විසින් මනුෂ්‍ය ජීවිතවල වටිනාකම තීරණය කරන්නේද බලය මත පදනම්වද යන්නයි.

පැරණි සම්ප්‍රදායේ දිගුවක්ද?

බන්ධනාගාර දොරේ සිදුරෙන් එල්ල කරන ලද අත්තනෝමතික, අනීතක වෙඩි පහරවල් මෙන්ම, දේශපාලන නායකත්වයේ මෙම නිල නිහඬතාවද ව්‍යුහාත්මක රාජ්‍ය අපරාධකාරීත්වයේම තවත් එක් දිගුවකි. රාජ්‍ය භාරයේ සිටියදී ඝාතනය වූ මිනිසුන්ගේ නාමයන් නිල වාර්තාවලින් සහ රාජ්‍ය නායකත්වයේ සංවේදිතාවෙන් මෙලෙස හැලී යන්නේ නම්, එයින් සනාථ වන්නේ කුමක්ද?

කෙසේ නමුත්, රටක බන්ධනාගාරයක් තුළ රැඳවියන් ඝාතනයට ලක්වීම යනු එම රාජ්‍යයේ ‘ශිෂ්ටත්වය’ පිළිබඳ ගැඹුරු අර්බුදයකි. රාජ්‍ය භාරයේ සිටින මිනිස් ජීවිත විනාශ වෙද්දී සමාජයක් ලෙස අප ඊට එරෙහිව සාමූහිකව සහ සක්‍රියව පෙළගැසෙන්නේ නැතිනම්, ඒ සමාජය තවදුරටත් ශිෂ්ට සම්පන්න සමාජයක් ද යන්න අසා ගත යුතු ප්‍රභල ප්‍රශ්නයකි.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon