iMage: Vikalpa File

මෙම ලිපිය ලිවීමේදී මා අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න, එක් බලයක් තවත් බලයකට අභිමුඛ වන විට, අභිමුඛ වන බලය නිරායුධ නම්, ප්‍රචණ්ඩත්වය සහිත බලය ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්නයි. දෙවැන්න, ස්ත්‍රියක් විසින් ඉතිහාසය නැවත ලිවීම මේ මොහොතේ දේශපාලනය භාරගන්නේ කෙසේද යන්නයි. මෙම කරුණු දෙක පිළිබඳව සිතීමට මා පෙලඹුණේ, කලක සිට සන්ධ්‍යා එක්නැලිගොඩ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ වෙනත් අතථ්‍ය අවකාශ හරහා සිදුවන විවිධ නාමකරණ ක්‍රියාවලීන් අධ්‍යයනය කිරීමෙන් පසුවය.

මේ ලිපිය ලිවීමට ආසන්නතම බලපෑම වූයේ ඔක්තෝබර් 13 වැනිදා මගේ මිතුරු වරදාස් ත්‍යාගරාජා ෆේස්බුක්හි පළ කළ සටහනකි. එම සටහන අවසානයේ ඔහු මතු කළ ප්‍රශ්නය මට මේ ලිපිය ආරම්භ කිරීමටත්, එය අවසානයක් කරා ගෙන යාමටත් මඟ පෙන්වීය. ඔහු ඇසුවේ, “අපට නම් දෙන්නේ කවුද ?” යන්නයි. එම ප්‍රශ්නයෙන් ඉදිරියට යමින්, නම් කිරීම සිදුවන්නේ කුමන දේශපාලනයක් තුළද යන්නත්, නම් නොකළ දේශපාලනයක් විස්තර කිරීම සඳහා නම් කිරීම අවශ්‍ය වන්නේ ඇයිද යන්නත් විමසා බැලීමට මම උත්සාහ කරමි.

නාමකරණය (naming) සහ නම් නොකළ දේ (the unnamed) පිළිබඳ මෙම වචනාවලිය දෙවැනි රැල්ලේ ස්ත්‍රීවාදය තුළ භාවිතයට පැමිණි තිබේ .Sheila Rowbotham, 1970 දශකයේදී රචනා කළ Women’s Consciousness, Man’s World කෘතිය තුළ Betty Friedan මතු කළ , නමක් නොතිබූ අත්දැකීමක් හඳුනාගෙන එයට නමක් දීමේ අවශ්‍යතාව මෙහි එක් ආරම්භයකි.

Rowbotham ශාස්ත්‍රීය සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින්, එම සංකල්ප ශ්‍රී ලාංකික දේශපාලන සන්දර්භය තුළ නැවත භාවිත කළ හැක්කේ කෙසේද යන්න මෙම ලිපියෙන් විමසා බැලේ . විශේෂයෙන්ම, සන්ධ්‍යා එක්නැලිගොඩ සම්බන්ධයෙන් සිදුවන නාමකරණය සහ පශ්චාත් යුධ ශ්‍රී ලාංකික දේශපාලන ක්‍රියාවලියේ නම්නොකළ දේශපාලනයට ස්ත්‍රිය ගේ සම්බන්දය වෙත අවධානය යොමු වේ.

මේ මොහොතේ සන්ධ්‍යා යන නම සමඟ යෙදෙන අනෙක් නම වන්නේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නමයි.

පශ්චාත් යුද දේශපාලන ඉතිහාසයයේ දී, ගලගොඩඇත්තේ ඥානසාර හිමියන්, බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම ස්වාමිපුරුෂයා සොයන දෙදරු මවක් වන සන්ධ්‍යා එක්නැලිගොඩව නම් කලේ, “කන්න නැතිනම් හිඟා කාපන් ” යනුවෙනි. සජීවී විකාශන ඔස්සේ ද දැක ඇති මෙම පශ්චාත් යුද ඉතිහාසයේ සන්ධ්‍යා ව මෙලෙස නම් කරන එක අවස්ථාවක් වන්නේ, හෝමාගම අධිකරණ භූමියයි . “රට පාවා දෙන්නියක්”, “රටට වින කරන කාන්තාවක්” ලෙස විස්තරාත්මක ව නම් කරමින් සහ ශිෂ්ට සමාජයක භාවිතයට නුසුදුසු විවිධ නාමයන් හරහා ඇය සහ ඇයගේ නිර්- ප්‍රචණ්ඩ දේශපාලන භාවිතාව හැදින්විය.

සන්ධ්‍යාට එරෙහි මෙම නාමකරණය නැවත කරළියට පැමිණියේ ඥානසාර හිමියන්ට ලබා දුන් ජනාධිපති සමාවට ඇය අභියෝග කිරීමත් සමඟ ඔහු නැවත බන්ධනාගාරගත කිරීමේ සිදුවීම හරහාය. ඔහු බන්ධනාගාරගත කිරීමේදී සිවුර වෙනුවට වෙනත් වස්ත්‍රයකින් විලි වසාගෙන සිටීම නමැති ක්‍රියාව හරහා ද සන්ධ්‍යා නැවතත් දේශද්‍රෝහි නාමකරණයට ලක් විය සහ එම නාම කරණය ඔන්ලයින් අවකාශයේ දී (virtual space) හිදී සංවිධානගත වන්නේ, AI තාක්ෂනික යොදාගැනීම් ද සමගිනි.

මෙම Generative AI යොදා ගනිමින් visuals හරහා නාමකරණය තුළ ඇය දේශද්‍රෝහියකු ලෙසත්, විමුක්ති කොටි සංවිධානයට පක්ෂපාතී අයකු ලෙසත්, ඩොලර් වෙනුවෙන් විකිණෙන කාන්තාවක් රුපකරණය ට ලක් කිරීම හඳුනාගත හැකිය . මේ ආකාරයේ නාමකරණ හරහා ඇයට එරෙහිව මරණීය තර්ජන පවා එල්ල විය.

මෙම දේශපාලන සන්දර්භය තුළ සන්ධ්‍යාට එරෙහි භාෂා භාවිතය විමසා බලන විට, එම නාමකරණවල පවතින ප්‍රචණ්ඩකාරී ස්වභාවය පැහැදිලි වේ. එම ප්‍රචණ්ඩකාරී ස්වභාවය මූලික වශයෙන් ඉලක්කවුයේ, පශ්චාත්යුධ දේශපාලනයට ගොදුරු වූ ස්ත්‍රියක්ගේ යුක්තිය වෙනුවෙන් වන අරගලය වේ. මෙම නාමකරණය තුළ හඳුනාගත හැකි තවත් වැදගත් කරුණක් වන්නේ සන්ධ්‍යාගේ අනෙකා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ස්ථානගත කිරීමේදී ඔහු සතු සිවිල් බලය ක්‍රියාත්මක වන ආකාරයයි. බෞද්ධාගමික කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගැනීමත්, ආණ්ඩුකරණ පද්ධතිය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබීමත්, ඥානසාර හිමියන්ට විශේෂ බලයක් ගොඩනැඟීමට දායක වේ. බෞද්ධාගමේ නියෝජිතයකු ලෙස පෙනී සිටීම හරහා ද ඔහුට එම බලය තවදුරටත් ශක්තිමත් කරගත හැකිවිය. ඒ අනුව, නාමකරණය හරහා ගොඩනැඟෙන මෙම විශේෂ බලය හුදෙක් එක් පුද්ගලයකුගේ බලයක් නොවේ. එය ආගමික හා දේශපාලනික ව්‍යුහයන් මඟින් පෝෂණය වන, ආයතින, දෘෂ්ටිවාදී බලයකි.

මෙම බලය තවදුරටත් ව්‍යාප්ත වන්නේ ථෙරවාදී බුද්ධාගම සමඟ බැඳුණු භූමිය සිංහල බෞද්ධ භූමියක් ලෙස නම් කිරීම හරහාය. එම නාමකරණයට අභියෝග කරන කණ්ඩායම් පරදේශින් / විජාතිකයන් / ජාතකයක් නොමැති වුන් , වෙනත් ජාතීන්ට අයත් පිරිස් හෝ පිටස්තරයන් ලෙස අර්ථකථනය විය. එහිදී රාජ්‍යය විසින් පුරවැසිභාවය හා ජාතිකත්වය සම්බන්ධයෙන් පිළිගනු ලබන අයිතිවාසිකම් පවා ප්‍රශ්න කිරීමකට ලක්වන ආකාරය දැකගත හැකිය.

මීළඟ ට අවධානය යොමු වන්නේ , මෙම පශ්චාත් යුධ දේශපානයේ දී සිදුවන නම්කිරීම, සන්ධ්‍යා එක්නැලිගොඩව යටත් විජිත ඉතිහාසය තුළ ස්ථානගත කිරීම සොයා බැලීමටය. මෙම නාමකරණයේදී ඇයගේ ස්වාමිපුරුෂයා වන ප්‍රගීත් එක්නැලිගොඩ බ්‍රිතාන්‍යයන් වෙත රට පාවා දුන් පුද්ගලයකුගේ භූමිකාවට ආරෝපණය කරනු ලැබේ. එක්නැළිගොඩ අධිකාරම් විසින්, සැඟව සිටි නායාක්කාර වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ සහ ඔහුගේ බිරින්දෑවරුන් හදුනා ගෙන බ්‍රිතාන්‍යයන් වෙත පැවරීම සිදු කිරීම හෙවත් පවාදීම, පශ්චාත්යටත් විජිත යුගයේ ඉපදී සිටි ප්‍රගීත් එක්නැලිගොඩට සමාන කර, ඔහුගේ ජනමාධ්‍ය භූමිකා ව හරහා ජන පිඩිත මහින්ද රාජපක්ෂ පාලනය ට විරුද්ධ ප්‍රකාශනය කිරීම, ඉහත පවා දීමේ ප්‍රති නිර්මානයක් ලෙස නම් කරයි. මෙහිදී ඉංග්‍රීසින් වෙනුවට ආදේශ වන්නේ සාමාන්‍ය ජනතාවත්, ඔවුන්ගේ අරගලයත්ය.

එම “පාවාදුන් එක්නැලිගොඩ පරපුර” යන නාමකරණය නැවත නැවතත් භාවිත කරමින් සන්ධ්‍යා සහ ප්‍රගීත් දෙමළ ජන අරගලය සමඟ සම්බන්ධ කරනුයේ, “දෙමළ ජනයා හොඳින් සිටින්නේ නම් ගැටලුවක් නැත” යන උපකල්පනය මත නොවේද?

මෙය මධ්‍යම පාන්තික ස්ත්‍රිය සම්බන්ධයෙන් Betty Friedan මතු කළ ගැටලුවට සමාන වේ. මධ්‍යම පාන්තික ස්ත්‍රීන්ට අවලාද නැඟීමට දෙයක් නැතැයි සලකමින් ඔවුන් පීනට් බටර් සැන්ඩ්විච් කමින්, ලස්සන නිවසක ගෘහණියන් ලෙස ජීවත් වන ආකාරය විධිමත් අධ්‍යාපන ක්‍රමයක් යටතේ ඉගෙන ගනිමින්, වාසනාවන්ත විවාහ ජීවිතයක් ගත කලහ. එහෙත්, එම ස්ත්‍රීන්ගේ ජීවිතය පිළිබඳව මතු කළ හැකි ප්‍රශ්නය වූයේ, “That’s all?” (“එපමණද?”) යන්නයි. එම ජීවිතය තුළ නම් නොකළ ගැටලුව Friedan විසින්, The Feminine Mystique ලෙසට නම් කරන ලදී

මෙම ප්‍රශ්නය දෙමළ ජනතාවටත් අදාළ කරන්නේ නම්, වැඩකරන පන්තියේ හෝ වෙනත් ආකාරයෙන් පීඩාවට පත් ජනතාව පිළිබඳ නාමකරණවලින් ඔබ්බට ගොස් පශ්චාත් යුද දේශපාලනය දෙස බලමු. රතු කමිස හැඳගෙන පාගමන් ගොස්, උතුරේ ඡන්ද ලබාගත් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ “ලස්සන ජීවිතය” පිළිබඳ පොරොන්දුව තුළ, මේ වනතුරු ජාතික ප්‍රශ්නයට ලබා දී ඇති පිළිතුර නම්, “දැන් යුද්ධයක් නැහැ, මිනිස්සු විශාල වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් මැරෙන්නේ නැහැ, අවතැන් වෙන්නේ නැහැ, බිම් බෝම්බ නැහැ” යන්න පමණක් නොවේද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට, 2026 ඔක්තෝබර් 06 වැනිදා පාර්ලිමේන්තු වට ඉදිරිපත් කළ Protection of the State from Terrorism Bill (PSTA) පනත් කෙටුම්පත සහ දෙමළ සාහිත්‍යයට එල්ල වන බාධා කිරීම් සැලකිල්ලට ගත් විට, ඇසිය යුත්තේ මෙයයි: “යුද්ධයක් නැතිව, කන්න බොන්න වෙනදා වගේම දුක් මහන්සි වී ජීවත් වීම හැර, වෙනත් ආකාරයක සාමයක් දෙමළ ජනයාට හිමි නොවේද ?

මීළඟට, පශ්චාත් යුධ දේශපාලනයේ දී, නම් නොකරන ලද සන්ධ්‍යා එක්නැලිගොඩගේ දේව යාතිකාවන් දෙස අවධානය යොමු කරමු . ඇය, ස්ත්‍රියක් විසින්, රහසිගත ව රැගෙන ආ, දළදා වහන්සේ ඉදිරියට ගොස් පවසන්නේ කුමක්ද? ඇය සත් පත්තිනි මෑණියක් ඉදිරියට ගොස් පවසන්නේ කුමක්ද ? ඇයට වූ අවනඩුවයි. සිංහල බෞද්ධ අනන්‍යතා භුමියේ පවතින, ස්ත්‍රියක් විසින් මෙරට රැගෙන ආ දළදා වහන්සේ සහ සත්පත්තිනි දේවාල ඉදිරියේ කන්නලව් කරන සන්ධ්‍යා ව නම් කිරීම ට ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ ට නොහැකි වුයේ ඇයි ?

2017 දී මා , සන්ධ්‍ය ප්‍රියංගනී එක්නැළිගොඩ ගැන ලීවේ, ඇය මුණගැසීමේ අනතුරුවය. (https://www.vikalpa.org/article/30795). වැට අද්දර පාරට වී, මා එනතුරු බලාගෙන සිටි, සන්ධ්‍යා අද හිස මුඩු කර කළු සාරියෙන් සැරසී, බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා නිර්-ප්‍රචණ්ඩ අරගයලක නිරත වේ. ඇයගේ අරගලය බලය වේ. එය සම්මුඛ වන්නේ, ප්‍රචණ්ඩ බලය වෙතය. එම බලය ආගමිකය. ව්‍යවස්ථාවෙන් ශක්තිමත් කර ඇත. එයට දේශීය මෙන්ම විදේශීය ආධාර හිමි වන්නේ නොනැවතිය. සෑම පාලකයෙක් ම, ජනවරමක් අවසානයේ දී , පලතුරු කුඩයක් ඔසවා ගෙන යන්නේ, මෙම බලය මුණ ගැසී, ආශිර්වාද ලබා ගැනීමටය. එම බලය රස මසවුලෙන් පිසින ලද දානයෙන් පෝෂණය කරන ස්ත්‍රිය ව නොසලකා හරින්නේ, අවම වශයෙන්, ස්ත්‍රියක් විසින් රැගෙන ආ දළදා වහන්සේ වඩම්වන පෙරහරේ නර්තනයේ යෙදීම ට හෝ ඉඩක් නොදෙමිනි. එම බලයට අවිහිංසාවාදී ව කරන අභියෝගය, මා නම් කරන්නේ සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැලිගොඩ ලෙසය. එයට අභියෝග වන ස්ත්‍රීන් විසින් නිමවන වස්ත්‍රයකින් විලිවසා ගැනීම අරගලයක් බවට පත් කරගත්, ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ගේ ක්‍රියා ව නම් කරන්නේ, That’s All ලෙසය.

අචාර්ය අරුණි සමරකෝන් | Dr. Aruni Samarakoon