iMage: AKD/facebook page

ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව විසින් යෝජනා කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (POCB) ඇතුළු නව නීතිමය යෝජනා මාලාව හමුවේ අද මුළු සමාජය පුරාම නැඟෙන්නේ දැඩි විරෝධයක් සහ විවේචනයකි.

මෙහි ඇති බරපතළම උභතෝකෝටිකය වන්නේ, 1979 දී ජේ. ආර්. ජයවර්ධන පාලනය විසින් ගෙන ආ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මඟින් ඉතිහාසයේ දරුණුතම මර්දනයට සහ පීඩනයට ලක්වූ දකුණේ දේශපාලන බලවේගයක් ප්‍රමුඛ ආණ්ඩුවක් විසින්ම, එම පනත අහෝසි කරන බවට දුන් පොරොන්දුව පිටුපස හිඳිමින් ඊටත් වඩා අතිදරුණු නීති ජාලයක් රට හමුවේ තැබීමයි.

තමන්ව මර්දනය කිරීමට යොදාගත් ආයුධයටත් වඩා නරක ආයුධයක් බලයට පැමිණි පසු ඔවුන් විසින්ම නිර්මාණය කිරීම හුදෙක් දේශපාලනික විගඩමක් පමණක්ද? නැත! මෙහිදී අප තේරුම්ගත යුතු ඊටත් වඩා ගැඹුරු සහ බියකරු යථාර්ථයක් පවතී.

‘විපක්ෂයේ විරෝධයෙන්’ ඔබ්බට ගිය දෙබිඩි ස්වභාවය

මෙය හුදෙක් විපක්ෂයේ සිටින විට මර්දනයට එරෙහි වී, ආණ්ඩු බලය ලැබුණු පසු මර්දනකාරී ලෙස හැසිරෙන සාම්ප්‍රදායික දේශපාලන දෙබිඩි ස්වභාවය පමණක්ම නොවේ. ඔවුන්ගේම ප්‍රකාශයන් උපුටා දක්වමින් මෙය පැහැදිලි කරගන්නේ නම්; “මීට පස්සේ වෙනත් ආණ්ඩු නෑ”, “විපක්ෂයක් තියෙනවා නම් තියෙන්නේ නමට විතරයි” වැනි පාලක පාර්ශ්වයේ ඇතැම් ප්‍රකාශයන්ගෙන් ගම්‍ය වන්නේ අතිශය අන්තරායකර මතවාදයකි.

එයින් කියැවෙන්නේ, මින් ඉදිරියට ශ්‍රී ලංකාව තුළ පැවැතීමට ඉඩ තැබෙන්නේ එකම එක පක්ෂයක දේශපාලනය සහ පාලනය පමණක් බවයි. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට කිසිසේත්ම දැරිය නොහැකි, ආඥාදායකත්වයක පෙරනිමිති පළකරන මෙවැනි සිතීම් ප්‍රායෝගික කිරීමට නම්, ඔවුන්ට නීතිමය වශයෙන් අතිශය ප්‍රබල මර්දන රාමුවක් අවශ්‍ය වේ.

අයිසින් තවරන ලද මර්දනකාරී නීති ජාලය

මෙම අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහයට අවශ්‍ය නෛතික පදනම සකස්කර ගැනීම සඳහා, මතුපිටින් “ජාතික ආරක්ෂාව” සහ “අපරාධ මර්දනය” ලෙස අයිසින් තවරා, අභ්‍යන්තරයෙන් ජනතා අයිතීන් තලාපෙළන අතිදරුණු ප්‍රතිපාදන ඇතුළත් කෙටුම්පත් එක පෙළට ගෙන ඒම අහම්බයක් නොවේ.

උදාහරණයකට, එක් පනත් කෙටුම්පතකින් (PSTA) මහජන හා ජාත්‍යන්තර විරෝධය හමුවේ ඉවත් කිරීමට සිදු වූ End-to-End Encryption (E2EE) පෞද්ගලිකත්වයට එබිකම් කිරීමේ බලතල, එම කාල සීමාව තුළදීම ඉදිරිපත් කෙරුණු සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (POCB) හරහා අතිසූක්ෂම ලෙස පසුපස දොරටුවෙන් ඇතුළු කරන්නේද ඒ නිසාමය. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ දැක නැති අතිශය දරුනු තත්ත්වයකි.

චිරාත්කාලීන බලය වෙනුවෙන් ජනතා අයිතීන් බිලිදීම

මෙයිනි පැහැදිලි වන්නේ; ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවලට ඇති ඉඩකඩ නීත්‍යනුකූලව වසා දැමීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අඩපණ කිරීම, නූතන ඩිජිටල් ලෝකයට අත්‍යවශ්‍ය පුරවැසි පෞද්ගලිකත්ව ආරක්ෂාව (Data Privacy/ Data Rights… ect) ආදී අයිතිවාසිකම් හෙමින් සීරුවේ මර්දනය කිරීම, යන සියල්ලම ඉලක්ක කරගනිමින් මෙම පනත් කෙටුම්පත් ගෙන එනු ලබන්නේ වෙන කිසිවකට නොව, ලබාගත් රාජ්‍ය බලය කෙසේ හෝ එකම පක්ෂයක් වටා ඒකරාශී කරගනිමින්, ‘චිරාත්කාලයක්’ රාජ්‍ය බලය හෙබවීමේ නරුම සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහය වෙනුවෙන් පමණි.

එබැවින්, මර්දනයට එරෙහිව නැඟී සිටි අතීතය අමතක කර දමමින් පුරවැසියාගේ අදහස් ප්‍රකාශනයේ නිදහසට වැටබඳින මෙවැනි මර්දනකාරී නීතිමය කෙටුම්පත්වලට එරෙහිව සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක පෙළට සිටගැනීම අද දවසේ ප්‍රමුඛ යුතුකමයි!