සිංහල, Democracy, Education, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media

යාපනයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඝාතනය කරීමට හේතුව, සිංහලයෙන් පමණක් ජාතික ගීය ගැයීමට විරුද්ධ වීමද?

යාපනයේ වළිකාමම් කොට්ඨාෂයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මාකන්දු සිවලිංගම් මහතා පසුගිය 26 වනදා සන්නද්ධ කණ්ඩායමක් විසින් ඝාතනය කළේය. පසුගිය 26 දා යාපනයේ පැවැති සුනාමි අනුස්මරණ උත්සවයේ දී ජාතික ගීය සිංහලයෙන් පමණක් ගායනා කළ යුතුය යන ශ්‍රී ලංකා ආණ්ඩුවේ තීරණයට විරුද්ධ වෙමින් පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඊට සහභාගි කරවීම සිවලිංගම් මහතා විසින් හෙළා දැක තිබෙන බවත් එදින රාත්‍රියේ සන්නද්ධ කණ්ඩායමක් ඔහු ඝාතනය කල බවත් එම ඝාතනයට ආසන්නම හේතුව ජාතික ගීය සිංහලයෙන් පමණක් ගායනා කළ යුතුය යන ශ්‍රී ලංකා ආණ්ඩුවේ තීරණයට විරුද්ධ වීම විය හැකි බව ශ්‍රී ලංකාවේ අයිතීන් සඳහා වන එකතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.

‛‛යාපනයේ වළිකාමම් කොට්ඨාෂයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මාකන්දු සිවලිංගම් මහතා සිංහලයෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීමේ තීරණයට විරුද්ධවීම හේතුවෙන් ඝාතනය කර ඇතැයි දැන ගන්නට ලැබීමෙන් ශ්‍රී ලංකාවේ අයිතීන් සඳහා එකමුතුව කම්පනයට පත්වෙයි. පසුගිය 26 දා යාපනයේ පැවැති සුනාමි අනුස්මරණ උත්සවයේ දී ජාතික ගීය සිංහලයෙන් පමණක් ගායනා කළ යුතුය යන ශ්‍රී ලංකා ආණ්ඩුවේ තීරණයට විරුද්ධ වෙමින් පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඊට සහභාගි කරවීම සිවලිංගම් මහතා විසින් හෙළා දැක තිබේ. එම අනුස්මරණය පැවැති දින රාත්‍රී 10.30 වෑන් රථයකින් පැමිණි ඝාතකයින් ඒ මහතාට වෙඩි තබා පලා ගියේ ය.

මෙම ඝාතනය විසින් ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇති මරණිය තර්ජන යළිත් වරක් ඉස්මත්තට ගෙනැවිත් තිබේ.
ශ්‍රී ලංකාවේ අයිතීන් සඳහා එකමුතුවෙහි යාපන මූලාශ්‍ර මෙම ඝාතනයට හේතුව ජාතික ගීය සම්බන්ධයෙන් සිවලිංගම් මහතා කරන ලද ප්‍රකාශ බව සනාථ කරන කරන ලද අතර ගෝබල් ටැමිල් නිව්ස් නම් වෙබ් අඩවිය විසින් ද ඒ බව වාර්තා කරන ලදී.

සැබැවින් ප්‍රජාත්නත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ නම් ආණ්ඩුවේ කටයුතු පිළිබඳ සාධාරණ විවේචනයන් කිරීමට ඕනැම පුරවැසියකුට අයිතියක් තිබේ. ජාතික ගීය සිංහලයෙන් පමණක් ගායානා කළ යුතුය යන තීරණය ව්වේචනය කිරීමට ඕනැම පුරවැසියකුට අයිතියක් තිබේ. එවැනි විවේචනයක් හේතු කොට ගෙන පුද්ගලයකු ඝාතනය කිරීම අදහස් ප්‍රකාශනයේ අයිතිය පමණක් නොව ජීවිතයට ඇති අයිතිය ද උල්ලංඝනය කිරීමකි.

මෙම මරණය සිදුකරන ලද්දේ සොරකමක් පිණිස ය යන ව්‍යාජ කරුණ පෙන්වීම පිණිස සිවලිංගම් මහතාගේ දියණියගේ එක් කරාබුවක් පමණක් ඝාතකයින් විසින් රැගෙන ගොස් ඇති අතර ඒ මහතාට වෙඩි තබා ඇත්තේ අවශ්‍ය නම් සියළු ස්වර්ණාභරණ රැගෙන සිය පියාට වෙඩි නොතබන ලෙස දියණිය විසින් හඬාවැටී කරන ලද කන්නලව්වද නොසළකා ය.

මෙයට පෙර 2010 දෙසැම්බර් 15 දා යාපනයේ චන්කානෙයි මුරුකමූර්ති කෝවිලෙහි ප්‍රධාන පූසාරිවරයා වු නිත්‍යානන්ද ශර්මා වෙඩි තබා ඝාතනය කරන ලදී. එම ඝාතනය පසුපස ද දේශපාලන හේතු ඇතැයි ශ්‍රී ලංකාවේ අයිතීන් සඳහා එකමුතුව විශ්වාස කරයි. මෙම ඝාතන දෙකම සිදු කරන ලද්දේ සොරකමකට උත්සාහ දැරීමක් ලෙස පෙනී යන පරිදි ය. ඉතා පෘතූල හමුදා ආරක්ෂාවක් යොදා ඇති පෙදෙස්හි සිදුවන මෙවැනි ඝාතනයන් විසින් ඝාතකයින් කව්රුන් විය හැකිදැයි සැක මතු කරයි.

ශ්‍රී ලංකාවේ අයිතීන් සඳහා එකමුතුව මෙම ඝාතන දෙකම තදබල ලෙස හෙළා දකිමින් අපරාධකරුවන් නීතියේ රැහැණට හසුකරලීම පිණිස වහාම අපක්ෂපාතී සහ ඉක්මන් පරීක්ෂන ආරම්භ කරන ලෙස ආණ්ඩුවට බල කරයි. එම වගකීම ඉටු කිරීමට ආණ්ඩුව අසමත් වන්නේ නම් ඉන් සනාථ වනු ඇත්තේ රාජ්‍ය අනුබලය ලබන ඝාතක කණ්ඩායම් මෙම මිනීමරුම් පිටුපස ඇතැයි යන පොදුවේ පවතින මතය යි. ඝාතකයින් අධිකරණය හමුවට පමුණුවන තුරු මහාජනයා අභිමුව ආණ්ඩුව වැරදිකරු ලෙස පවතිනවා ඇත. එපමණක් නොව එවැනි තත්ත්වයක් විසින් සන්නද්ධ හමදාවන්හි අවිනීත පිරිස් විසින් නීතිය තමන් අතට ගැනීමට අනුබල ලැබෙනු ඇති අතර ජාතික ප්‍රති සංධානයක් ඇති කිරීම පිළිබඳ ආණ්ඩුවේ ප්‍රකාශ හුදෙක් සිහින ලෙස පමණක් පවතිනු ඇත.’’

ක්‍රියාකාරී කමිටුව
ශ්‍රී ලංකාවේ අයිතීන් සඳහා එකමුතුව