සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

බෑං කී මූං ගේ උපදේශක කමිටු වාර්තාව පිළිබදව ‛‛දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශනය’’

එක්සත් ජාතිීන්ගේ මහලේකම්ගේ උපදේශක කමිටුව විසින් ඉදිරිපත්කරන ලද වාර්තාවේ විධායක සාරාංශය පිළිබදව දෙමළ ජාතික සන්ධානය නිකුත් කල ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහත පළ කරමු.

එක්සත් ජාතිීන්ගේ මහලේකම්ගේ උපදේශක කමිටුව විසින් ඉදිරිපත්කරන ලද වාර්තාවේ විධායක සාරාංශය ලෙස මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කරන ලද තොරතුරු අපගේ සැලකිල්ලට භාජනය විය.

මෑතකදී අවසන්වූ යුද්ධය නිසා ඉතා අධික දුක්වේදනාවන්ට මුහුණ දුන් උතුරු හා නැගෙණහිර ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරාපත් කරගන්නා ලද නියොජිතයන් වශයෙන් මේ කරුණු පිළිබඳව ප්‍රතිචාර දැක්වීම යුතුකමක් ලෙස දෙමළ ජාතික සන්ධානය සලකයි. එලෙසම, සම්පූර්ණ වාර්තාව අප අතට පත්වූ පසුව, ඊට පූර්ණ පිළිතුරක් දීමේ අයිතිය ද අප සතුව පවතී.

පසුගිය අඩ සියවසකට අධික කාලයක් තිස්සේ වාර්ගික-ජාතිකත්ව ගැටලුවට අර්ථවත් පාලන බලතලවලින් දෙමළ ජනතාව කොන්කර දැමීමේ මූලික හේතූන් සඳහා පිළිගතහැකි සාධාරණ විසඳුමක් ලබා දියයුතු යැයි යන අපගේ ස්ථාවරය වෙනස් නොකොට දිගින් දිගටම අවධාරණය කළෙමු. කලින් කල බලයට පත් ශ්‍රී ලංකා රාජ්‍යයේ සෑම ආණ්ඩුවක්ම මෙවැනි දේශපාලන විසඳුමක් ලබාදීමට අපොහොසත් වීම, ප්‍රතිවිරෝධය උත්සන්නවීමටත්, එනිසා ඇතිවූ ප්‍රතිඵලවලටත් මූලික හේතුව විය. වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ රජය, නිරායුධ දෙමළ සිවිල් ජනතාව මර්දනය කර යටපත් කළ අතර, කිසිදු නීත්‍යානකූල බලය බෙදීමක් ඔවුනට නොලැබෙන පරිදි ක්‍රමානුකූලව සහ අඛණ්ඩව ප්‍රචණ්ඩත්වය මුදාහරින ලදී.

ආයුධ සන්නද්ධ සටන්කාමීන්ට එරෙහිව හමුදා ක්‍රියාකාරිත්වය මෙහෙයවන ලද අවස්ථාවන්හිදී, නිරායුධ දෙමළ සිවිල් ජනතාවට හානියක් නොවන පරිදි, ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ යුතුකම බව අපි දිගින් දිගටම බලකර සිටියෙමු. එසේවුව ද, ශ්‍රී ලංකා ආණ්ඩුව දිගින් දිගටම සිවිල් ජනතාව වාසය කරන ප්‍රදේශවලට ගුවනින් බෝමිබ හෙලූ අතර, බර අවි සහ මල්ටි බැරල් රොකටි ලෝංජර් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන ලදී.ඊට අමතරව, විනිවිදයාහැකි ඒකකද යොදාගන්නා ලදී. මෙි ක්‍රියාදාමයන් නිසා දසදහස් ගණනින් දෙමළ ජනතාව මරණයට සහ බරපතල් තුවාලවලට ලක්වූහ. ලක්ෂ ගණනින් දෙමළ සිවිල් ජනතාව තම නිවාසවලින් බැහැර කරන ලදුව අවතැන්වූවන් බවට පත්කරන ලදී. මෙම ජනතාවගේ නිවාස, රැකියා, උපකරණ හා දේපල විනාශ කර ඔවුන් ඉතා දුක්ඛිත අසරණ තත්වයට පත්කරන ලදී.

තවදුරටත් මෙම සිවිල් දෙමළ ජනතාවට වාසස්ථාන, ආහාර, පානීය ජලය, බෙහෙත් ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ අහිමි කරන ලද අතර රෝහල් සහ සහන මධ්‍යස්ථාන වෙත ද ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන ලදී. යුද ප්‍රදේශවල ජීවත්වන නිරායුධ දෙමළ සිවිල් ජනතාවගේ ආරක්ෂාව, යහපත හෝ ගෞරවය ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී. නීතියෙන් බාහිර ඝාතන, සුදු වෑන්වලින් මිනිසුන් පැහැර ගෙනයෑම්වලින් සමන්විත භීෂණය යනාදියට කිසිදු අඩුවක් නොවීය. මෙම තොරතුරු සහ වෙනත් භීෂණ සිදුවීම් පිළිබඳ වාර්තා දෙමළ ජාතික සන්ධානය විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලද අතර වරින් වර වාර්තා ගතකොට අදාල පාර්ශවයන්ගේ අවධානයට ද ලක් කරන ලදී.

මෑතදී අවසන්වූ යුද්ධයේදී නිරායුධ දෙමළ සිවිල් ජනාතවට සිදුවූ ඉරණම පිළිබඳ සත්‍ය තොරතුරු එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ උපදේශක කමිටුව ඉදිරිපත් කළ වාර්තාව මගින් සනාථ කරන ලදී. මෙම සිදුවීම් සිදුවූ අවස්ථාවන්හි දී අප විසින් පාර්ලිමේන්තුවට වාර්තා කළ තොරතුරු ප්‍රතික්ෂේප කළ නොහැකි පරිදි සනාථ කර ඇති බව අවධාරණය කරමු.

විශ්වසනීය චෝදනා සනාථ කරන ලද හොත්, ජාත්‍යන්තර මානව හිතවාදී නීතිය සහ ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් නීතිය පුලුල් පරාසයෙන් බරපතල් ලෙස උල්ලංඝනය කිරීම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කර ඇති බවත් ඒවායින් සමහරක් යුද අපරාධ සහ මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ වන බවත් උපදේශක කමිටුව විසින් පෙන්වාදී ඇත. ඒවායින් සමහරක් වැරදි, යුද්ධයක් පවතින විට හෝ සාමකාමි කාලයක හෝ පුද්ගල ගෞරවය සුරක්ෂිත කිරීම පිණිස සම්පාදනය කර ඇති මුළුමහත් ජාත්‍යන්තර නීතිවලටත් එරෙහිව එල්ල කරන ලද බලවත් ප්‍රහාරයකි. විශේෂයෙන් යුද්ධයේ අවසාන අදියරයට සම්බන්ධ විශ්වසනීය චෝදනා සොයාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ හමුදාවෝ මහපරිමානයේ් ෂෙල් ප්‍රහාරයන් සහිතව වන්නිය තුළ ක්‍රියාන්විතයන් ආරම්භ කිරීම නිසා විශාල සිවිල් වැසියන්ගේ මරණයට හේතුවූ බවට ද උපදේශක කමිටුව කරුණු සොයාගෙන ඇත.

මෙම ක්‍රියාන්විතය නිසා වන්නි ජන සංඛ්‍යාව වන සිවිල් වැසියන් 330,000 ක් අඛණ්ඩ හිරිහැරවලට ලක් වූ බවට ද උපදේශක කමිටුව කරුණු ඉදිරිපත් කර ඇත, මෙම වකවානුව තුළ වන්නියේ ජනගහණය 70,000ක් බව රජයේ තක්සෙරුව විය. මෙකී බරබතල අපරාධ පිළිබඳව ඉදිරිපත් කෙරෙන විශ්වසනීය චෝදනාවලට වගකිව යුත්තන්ට එරෙහිව විමර්ශනය කිරීම් සහ නඩු පැවරීම් කළයුතු බවටත් උපදේශක කමිටුව අවධාරණය කර ඇත. වගවීම පිළිබඳ රජයේ අදහස් ජාත්‍යන්තර නියමයන්ට අනුකූල නොවන බවත් උපදේශක කමිටුව දන්වා ඇත.

රජයේ ක්‍රියාකාරිත්වය ජාත්‍යන්තර අපේක්ෂාවන්ට අනුකූල නොවන ලෙස සිදුවීම වැලැක්වීමට නම්, දෙපාර්ශවය විසින්ම කරන ලද උල්ලංඝණයවීම් පිළිබඳව රජය සැබවින්ම විසඳුම් සෙවිය යුතු බවත් උපදේශක කමිටුව පෙන්වා දෙයි. යුද්ධයෙන් තම ජීවිත අහිමිවූ ජනතාවගේ අයිතිවාසිකම්, ගෞරවය, වගවීම කේන්ද්‍රී කොටගත් යොමුවීමක් ඇති කරගත යුතු යැයි ද උපදේශක කමිටුව රජයෙන් ඉල්ලා සිටියි.

මෙම සන්ධර්භය තුළ උපදේශක කමිටුව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත. මෙම නිර්දේශ ශ්‍රී ලංකා රජයත් මහලේකම්වරයාත් අතර වගවීම සම්බන්ධ අඛණ්ඩ සහ සංවර්ධනාත්මක බැඳීමක් සහිත සංවාදයකට අවශ්‍ය රාමුවක් සකසනු ඇතැයි කමිටුව විශ්වාස කරයි. උපදේශක කමිටුවේ නිර්දේශ සාදරයෙන් පිළිගන්නා අතර, ඒවා අවංකව ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි විශ්වාස කරමු.

ඉතා වැදගත් දීර්ඝ කාලීන වාර්ගික, ජාතිකවාදී මූලික හේතු ඇතුළත් වන අයුරින් අතීිත පුඑල් රටාවන් අවංකව තක්සේරු කිරීමට ඉඩ ලබා දෙන, වගවීමට උචිත පරිසරයක් දැන් නොපවතින බවද උපදේශක කමිටුව නිරීක්ෂණය කර ඇත. ජයග්‍රහණශීලී උද්දාමයෙන් ඉවත්වී, මානව අයිතිවාසිකමිවලට ගරු කරන, ශ්‍රී ලංකාවෙි වාර්ගික විවිධත්වය පිළිගනිමින්, දේශයේ අනාගතය සඳහා දෙමළ ජනතාව ද පදනමක් ලෙස පිළිගන්නා, සියලුම ජන කණ්ඩායම් අන්තර්ගතවන පුරවැසියන් පිළිගන්නා දේශපාලන විසඳුමක් සඳහා වන, සැබෑ කැපවීමකින් යුක්ත, විවෘත සමාජයක් ගොඩනැගීම පෙරදැරි කොටගත් සමාජයක් ගොඩනැගීමේ පියවර අත්‍යාවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ වාර්ගික විවිධත්වය පිළිගන්නා, සියලුම ජන කණ්ඩායම්වල පූර්ණ පුරවැසි අයිතීන් අනුමත කරන්නා වූ, රටේ දිගුකල් පවත්නා සාමය සහ ස්ථාවරභාවය සඳහා වන පදනම ලෙස දෙමළ ජනතාව පිලිගන්නා දේශපාලන විසඳුමක් ලඟාකර ගැනීමට දෙමළ ජාතික සන්ධානය සැමවිටම කැපවී සිටී. අනාගතයේදී ද මෙම කැපවීම ඒ ආකාරයෙන්ම පවතිනු ඇත. එබැවින් මෙම අනගි අවස්ථාව මඟනොහැර ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය, සමානත්වය සහ යුක්තියේ ඵලප්‍රයෝජන භුක්තිවිඳිය හැකි සංවර්ධනාත්මක ක්‍රියාදාමයකට යොමුවන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩූවෙන් ඉල්ලා සිටිමු.

ආර්. සමිබන්දන්
පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක,
දෙමළ ජාතික සන්ධානය.