Colombo, end of the War, Featured Articles, Features, Jaffna

මහින්දට ඇදුණු මූන් ගේ ජිම්කානාව

Photos by – Sampath Samarakoon(Vikalpa.org)

බැන් කී මූන් විද්වද් කමිටු වාර්තාව මේ ලියන මොහොතේත්(අප්‍රේල් 28) නිලවශයෙන් ප්‍රසිද්ධියට පත්ව නැත.(මේ වන විට විද්වත් කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්ව ඇති අතර එහි සම්පූර්ණ වාර්තාව සහ එම වාර්තාවේ සාරාංශයේ සිංහල පරිවර්තනය විකල්ප වෙබ් අඩවියේ මෙම යොමු තුලින් ලබා ගත හැකිය – සංස්කාරකFulle Report – Executive Summary(Sinhala Translation) ) එහෙත් මෙම වාර්තාවේ ‛සාරාංශයක්’ වශයෙන් හැඳින්වුණු කොටස් පළමු වරට එළිදැක්වුණේ ආණ්ඩුවට හිතවත් ඉංග්‍රීසි මාධ්‍යයකිනි. විද්වද් කමිටු වාර්තාව සම්බන්ධයෙන් සිදුවන සියලු අදහස් දැක්වීම් මෙසේ ප්‍රකාශයට පත් ‛සාරාංශගත’ කොටස මත පදනම්ව ඇති බවත්, සමස්ත වාර්තාව එසේ අදහස් දක්වන්නන්ගෙන් බහුතරයක් තවමත් දැකනැති බවත් උපකල්පනය කිරීම අසාධාරණ නැතැයි සිතමි.

කෙසේවෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි පිටපතක් ශ්‍රී ලංකා ආණ්ඩුවටද භාරදුන්නේය යන්න කවුරුත් දන්නා කරුණකි.

මෙම කමිටු වාර්තාව සම්බන්ධයෙන් ගොඩනැගෙන කතිකාවේ වැදගත් අංග දෙකක් වෙත පමණක් අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණ වෙයි.

පළමුවැන්න, නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්වී නැති මෙම ලියැවිල්ලේ සාරාංශයක් වශයෙන් හැඳින්වුණු කොටසක් ලංකාවේ ආණ්ඩුවට හිතවත් මාධ්‍යයක පළවීමේ තත්ත්වයයි.

දෙවැන්න කමිටු වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ වෙතින් දැක්වෙමින් තිබෙන ප්‍රතිචාරවලින් මතුවන ‛රණවිරු වන්දනාවේ’ උභතෝකෝටිකයයි.

වාර්තාවේ ප්‍රකාශයට පත්වඇති කරුණුදෙස බලනවිට එය කෙසේවත්ම ශ්‍රී ලංකා ආණ්ඩුවට හිතකර වාර්තාවක් නොවේ. ආණ්ඩුවට අවාසිදායක වාර්තාවක සාරාංශයක් ආණ්ඩුවට හිතවත් පුවත්පතකට ලැබෙන්නේත්, එය එහි පළවන්නේත් කෙසේද? එය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්ම මේ පුවත්පතට ලැබුණක් ලෙස සැලකීමට වඩා වැඩි ඉඩකඩක් ඇත්තේ ආණ්ඩුවට ලැබුණු පිටපතින් එම කොටස් අදාළ පුවත්පතට ලැබී ඇති බව උපකල්පනය කිරීමටය. එක්සත් ජාතීන්ගේ සංවිධානයද මෙම උපකල්පනය මත පිහිටා සිටින බව, පසුගියදා එහි නියෝජ්‍ය ප්‍රකාශක විසින් කරන ලද ප්‍රකාශයේ යටි ඇඟවුම සේ ගැනීම වැරැදි නැත. එය මාධ්‍ය වෙත ලබාදීම කවුරුන් කළාදැයි තමන් නොදන්නා නමුත්, වාර්තාව ශ්‍රී ලංකා ආණ්ඩුවට භාරදී පැය කිහිපයකින් එහි කොටස් මාධ්‍යයකට කාන්දුවී ඇතිබව ඔහු කියා තිබිණි. ද්විපාර්ශවික අවබෝධය සඳහා කිසියම් සාමාජික රටක් සමඟ තමන් කිසියම් සන්නිවේදනයක් සිදුකරන ඕනෑම විටෙක, එය කාන්දු නොවිය යුතුය යි ඔහු කියාසිටී.

තමන්ට හොඳක් නොකියන වාර්තාවක්, තමන් විසින්ම තමන්ට හිතවත් මාධ්‍යයක පලකරවීමට කිසියම්ම හෝ ආණ්ඩුවක් කල්පනා කරන්නේද යන්න තරමක් සාවධානව කල්පනා කර බැලීමට වටී. විද්වත් කමිටු වාර්තාවේ කොතරම් ආණ්ඩුවට අහිතකර කාරණා අඩංගු වුවත්, ඒ කරුණු මාධ්‍යයට කාන්දු කිරීම කවුරුන් විසින් සිදුකළත්, එහි ප්‍රචාරක වාසිය මේ මොහොතේ ඇත්තේ ආණ්ඩුව අත බවනම් කරුණු විමසා බලනවිට පැහැදිළි වේ.

මාතෘ භූමිය වෙනුවෙන් විදුලිපුටුවේ වාඩි වන්නට සිදුවුවහොත් තමන් සිනාසෙමින් ගොස් එහි වාඩිවෙන බව නැවත වතාවක් ජනාධිපතිවරයා ලෙහි අත්ගසා පවසයි. ජනතාවට කෙමෙන් අමතක වෙමින් යන්නේයයි සිතෙන්නට ඉඩතිබුණු ‛ජාතික වීරයාගේ’ භූමිකාවට නැවතත් පණපෙවීමට මහින්දට මේ වාර්තාව නිසා හැකිවී තිබෙනු නිරීක්ෂණය කළහැකිය.

‛කුරිරු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් රට මුදාගෙන’ දෙවසරක් ඉක්ම යන්නට ඔන්න මෙන්න කියා තිබියදීත් ආණ්ඩුව සිටියේ ‛ත්‍රස්තවාදය’ නිසා විසඳුම් දීමට නොහැකිවූ රටවැසියාගේ දැවෙන ප්‍රශ්නවලට පැලැස්තරයක්වත් නැති තත්ත්වයකය. ආණ්ඩුවට ඊට නිදහසට කාරණයක් ලෙස කියන්නට තිබුණු එකම කතාව වූයේ ‛රටට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙනවා ය, ඊට මුහුණ දීම සඳහා අනෙකුත් සියලු ප්‍රශ්න විඳදරාගෙන ආණ්ඩුවට සහයෝගය දීම සියලු රටවැසියන්ගේ යුතුකමය’ යන්නයි. එහෙත් පසුගිය කාලයේ ඒ කතාවත් තිබුණේ බැට්‍රි බසිමින් යන තත්ත්වයකය. එසේ අඳෝනා කෙඳිරියක්ව යටපත් වන්නට ඉඩතිබූ ඒ කතාව අලුත් වටයකින් අතිශය ජවසම්පන්නව කියන්නට මේ කමිටු වාර්තාව ආණ්ඩුවට පොටක් පාදා දුන්නේය. මේ මොහොතේ ආණ්ඩුව කරමින් සිටින්නේ එසේ තමන්ට පෑදුණු පොට හොඳහැටි විකිණීමයි. තවත් සැලකිය යුතු කාලයකට රටවැසියාගේ දැවෙන ජීවන ප්‍රශ්නවලට පිළිතුරු දීම වෙනුවට දේශමාමකත්වයේ නාමයෙන් මේ වාර්තාව අලෙවි කිරීමේ මාහැඟි අවස්ථාව ආණ්ඩුවට ලැබී තිබේ.

ඊළඟට සියලු විපක්ෂ දේශපාලන පක්ෂවල හොට බිම ඇන්නවීමට ද මේ වාර්තාව මහඟු අවස්ථාවක් මහින්දට ප්‍රදානය කර තිබේ. මේ වාර්තාවෙන් චෝදනා නඟා තිබෙන්නේ ‛කුරිරු ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝදාර රණවිරුවන්ට’ හා ‛ඒ රණවිරුවන්ට නායකත්වය දුන් ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම් සොයුරාටය’. ඉතින් ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම් සොයුරා පසෙකින් තැබුවත් ‛වීරෝදාර රණවිරුවන්ගේ’ නමට කැලලක් කරන වාර්තාවකට ඇස කණ පියාගෙන සිටින හෝ ආවඩන දේශපාලන පක්ෂයකට තවත් මේ රටේ දේශපාලනය කළ නොහැකිය යන සම්මතය ආණ්ඩුව විසින් ගොඩනංවා විපක්ෂයේ සිංහල දේශපාලන පක්ෂ විසින් ස්ව කැමැත්තෙන්ම තහවුරු කරගෙන සිටින තත්ත්වයක සිදුවිය හැක්කේ කුමක් ද?

එසේම විපක්ෂයේ දේශපාලන පක්ෂ තුළ පවත්නා අභ්‍යන්තර අර්බුදය ද මේ හරහා අලුත් වටයකින් එළියට ගැනීමට අනියම් අවස්ථාවක් පාදා දී තිබේ. එක්සත් ජාතික පක්ෂය සතියකටත් වඩා කල්ගෙන නිලවශයෙන් මේගැන කරන ප්‍රකාශයන්ට සාකල්‍යයෙන්ම නොගැලපෙන ප්‍රකාශයක් සජිත් කරතිබීම, මෙහි ප්‍රකට අවස්ථාවකි.

ඊළඟට එන්නේ එළැඹෙන කම්කරු දිනය දේශපාලනිකව ගසාකෑමේ උත්සාහයයි. විශ්‍රාම වැටුප රැකගැනීම, ජනාධිපතිවරණයේදී පොරොන්දු වී පසුගිය අයවැයෙන් සෝදා හරින ලද වැටුප් වැඩිකිරීම දිනාගැනීම ඇතුළු කම්කරු ප්‍රශ්න ලෙස පොදු ව්‍යවහාරයේ ගැනෙන තේමාවන් මූලික කරගෙන පවත්වන්නට ගිය මැයි දිනය හැමදාකම මෙන් ‛මහා තීරණාත්මක විප්ලවීය එකක්’ වීමේ කිසිදු විභවයක් දරා නොසිටියත්, ආණ්ඩුවේ කන් දිනකට හෝ රිදවන එකක් වන්නට නියමිතව තිබිණි. එහෙත් මේ වාර්තාව නිසා ඒ කන් රිදවන මැයි දිනයද ‛රටේ ශක්තිය උදෙසාය’යි කියමින් තමන්ට අවශ්‍ය පරිදි ගසාකන්නට, අඩුම තරමින් කණට හෝ අමිහිරක් නොවන, ඒ වෙනුවට කනේ මීපැණි ලන්නා සේ මිහිරි වන දිශාවකට හරවාගන්නට ජනාධිපතිවරයාට පොටක් පෑදීනි. ඒ ‛මෙවර මැයි දිනය රටට එරෙහි බලවේගවලට එරෙහිව රටේ ශකිත්ය පෙන්වන්නට යොදාගනිමු’යි කියන යෝජනාව සමඟිණි. ඒ අනුව වැඩක් ඇතිව හෝ නැතිව කම්කරුවන්ටය කියා තිබුණු ඊනියා දිනයත් මෙවරද සිය දේශපාලනය උදෙසා ගසාකෑමට මහින්දට අපූරු ජිම්කානාවක් ඇදී ඇත.

එසේම ආණ්ඩුවට ඔජවඩන සිංහල ජාතිවාදී බලමුළුවද අලුතින් පණගසා ගන්නට මෙය කදිම අවස්ථාවක් වී තිබේ ගුණදාස අමරසේකර වැන්නකු ලවා දෙමළ ජනයාගේ ගැටලු සඳහා කිසිදු දේශපාලන ප්‍රතිකර්මයක් ක්‍රියාත්මක නොකිරීමේ තැනකට හෝ අවම වශයෙන් එය දින නියමයක් නැතිව කල්දැමීමේ තැනකට යාමටද මේ වාර්තාවෙන් අවස්ථාව සැලසෙමින් තිබේ. එය ඉන්දියාව ප්‍රමුඛ ජාත්‍යන්තරයෙන් ද, දෙමළ දේශපාලන පක්ෂ ඇතුළු දේශීය පිරිස්වලින් ද යම් පමණකට හෝ නැඟ ආ දෙමළ ජනයා සඳහා දේශපාලන විසඳුමක් ඇතිකිරීමට කරන ලද කන් රිදවන බලපෑමට මේ මොහොතට පිරිමසින විසඳුමක් ලෙස ඔහු කල්පනාකරනවා නිසැකය.

මේ සියලු කරුණු සැලකීමේ දී පෙනී යන්නේ විද්වත් කමිටු වාර්තාව රාජපක්ෂ ආණ්ඩුවට ජාත්‍යන්තරව කෙසේවෙතත් දේශීය වශයෙන් දේශපාලනිකව ඇදුණු ජිම්කානාවක් ලෙසින් වැඩකරමින් තිබෙන බවය. ඒ අනුව ආණ්ඩුවට හිතකර නොවන වාර්තාවක් ආණ්ඩුවට හිතවත් පුවත්පතකට කාන්දු වීමේ රහස හරියට අල්ලා ගැනීම අපහසු නොවේ. ඇත්තටම ගතහොත් මෙය අවසානයේ ජාත්‍යන්තර වශයෙන් කෙසේවෙතත් දේශීය වශයෙන් රාජපක්ෂ රෙජීමයට අවාසියක් නොව වෙස්වලාගෙන ආ ආශීර්වාදයකි. රාජපක්ෂ රෙජීමය වැදගත් ජාත්‍යන්තර දේශපාලනයක් නොකරන හෙයින්ද, ණයගැනීම වැනි කරන කිසියම් ජාත්‍යන්තර ගනුදෙනුවක් දේශීය දේශපාලනය හා කිසිදු සම්බන්ධයක් නොපවත්වන බැවින්ද, දූපත් සීමාවේ ජයකෙහෙළි බැඳීම නම් පරමානන්දය නැවතත් ඔවුන් සතුවී ඇත.

විද්වත් කමිටු වාර්තාව ඔස්සේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට හෝ ප්‍රධාන වශයෙන් ජනාධිපතිවරයාට හෝ ආරක්ෂක ලේකම්වරයාට ප්‍රශ්නයක් ඇතිනොවනු ඇතිද යන්න පිළිබඳ කිසිවකු තුළ හෝ විචිකිච්චාවක් තිබිය හැකිය. සැබවින්ම මෙම කමිටු වාර්තාව ඔස්සේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ විනිශ්චයට ලක්වී ඊට වගකිවයුතු දේශපාලන නායකත්වය හා/හෝ හමුදා සාමාජිකයන්ට ජාත්‍යන්තර අධිකරණයකින් දඬුවම් ලැබීමට යන්නේයයි කීම මුසාවකි. අප මෙහි දී දීර්ඝව පැහැදිළි නොකළත් මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ හා සංවිධාන විසින් ඉදිරිපත්කර ඇති අදහස්වල මේ තත්ත්වය විග්‍රහ වේ. එහි අරුත නම් ජනාධිපතිවරයා ලෙහි අත්ගසා කියන විදියට ඔහුට විදුලි පුටුවකට යන්නට මේ වාර්තාව ඉවහල් වන්නේ නැත යන්නයි. ඒ වෙනුවට විදුලි වේගයෙන් ජාතික වීරයාගේ ග්‍රීස්ගහේ මුදුනටම යළිත් නැගීමට හොඳ කරන්ට් එකක් වාර්තාව විසින් ඔහුට අල්ලා තිබේ.

මේ වාර්තාව ආණ්ඩුවට භාර දුන්බව කියැවෙන්නේ අප්‍රේල් 12 වැනිදාය එහෙත් ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂවලට සිය මතය කීමට සතියකට ආසන්න කාලයක් ගතවිය මේ තත්ත්වයද සැලකිල්ලට ලක්විය යුතුයයි සිතේ.

එජාපය යනු ‛වීරෝදාර රණවිරු’ යාන්ත්‍රණයෙන් යහමින් වැඩගත් පක්ෂයකි. විශේෂයෙන් 88-89 වකවානුව ඊට දෙස්දෙයි. එසේම එජාපය යනු තමන් පාලන බලයේ සිටින කිසියම් අවස්ථාවක යළිත් අවශ්‍ය වුවහොත් ඒ ‛රණවිරු’ යාන්ත්‍රණයෙන් තවත් හොඳට වැඩගන්නට බලාසිටින පක්ෂයකි. ඊට ප්‍රතිපක්ෂව ජවිපෙ යනු දෙවතාවකදීම මේ ‛රණවිරු’ යාන්ත්‍රණයෙන් බඩකට පිරෙන්නට කෑ දේශපාලන බලවේගයකි. ඊට ද දෛවෝපගත ලෙස වඩාත්ම දෙස් දෙන්නේ 88-89 කාල වකවානුවයි.

එහෙත් දැන් සිදුවී ඇත්තේ ‛රණවිරු’ යාන්ත්‍රණය නිසා ප්‍රතිලෝම ප්‍රතිඵල ලැබූ දේශපාලන කණ්ඩායම් දෙකකගේ කටේ පිට්ටු හිරවීමට ඒ යාන්ත්‍රණයම හේතුවී තිබීමයි. තමන්ටත් යළිත් වතාවක් වැඩගන්නට අවශ්‍ය වියහැකි නිසා එජාපයට රණවිරු යාන්ත්‍රණයට සුවඳ දුම් අල්ලන්නට සිදුවී තිබේයයි මේ අනුසාරයෙන් කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් එය සම්පූර්ණ සත්‍යය නොවේ. ඕනෑම දෙයක් තමන්ට එපාවන විට මඩේ එබීමටත් අවශ්‍ය විට නාවා පිරිසිදු කොට මුවාත තියා ප්‍රයෝජනයට ගැනීමටත් අපේ පන්නයේ රටවල දේශපාලන බලවේගවලට අපූරු හැකියාවක් ඇත. අපේ රටවල ජනසමාජයද ඊට එකපයින් පිටුබල වෙයි එබැවින් අද මේ මොහොතේ රණවිරු යාන්ත්‍රණයේ ප්‍රශ්න කළ නොහැකි, අභියෝග කළ නොහැකි ප්‍රතිරූපය සමඟ සිටීම එජාපය වැනි පක්ෂයකට අත්‍යවශ්‍ය යතාර්ථයක් නොවේ. එහෙත් එජාපයද අද පවත්නා ආණ්ඩුව සිය බලය උදෙසාම දේවත්වයට නංවන ලද ‛රණවිරු’ නම් සංඛේතය හමුවේ වික්ෂිප්තව සිටී. එය දේශපාලන අඳබාලකම ලෙස මිස අනෙකක් වශයෙන් සැලකීමේ හැකියාවක් නැත.

එහෙත් ජවිපෙ මේ අතින් සිටින්නේ ඊටත් වඩා දේශපාලන අඳබාලයින් ලගින තැනකය. තමන්ගේ සාමාජිකයින් දස දහස් ගණනක් නොව සිය නායක කාරකාදීන් සියල්ලමත් විනාශ කළ යාන්ත්‍රණයකට සුවඳ දුම් ඇල්ලීමෙන් මිදෙන්නට බැරි විකෘතියක ඔවුහු අදටත් සිරවී සිටිති.
ඒ අනුව මේ මොහොතේ සිංහලයාගේ ඡන්දය බලාගෙන දේශපාලනය කරන සියල්ලෝ ‛රණවිරුවා පාවාදීම’ නමින් ආණ්ඩුව ගොඩනඟා ඇති සිය පැවැත්මේ ආඛ්‍යානයෙන් පිටත දේශපාලනයක් කිරීමට බැරි චින්තන දරිද්‍රතාවක සිරවී සිටිති. එහෙත් මේ බොල් පිළිමය කරගසාගෙන යන විපක්ෂයේ සිංහල දේශපාලන පක්ෂ නොදන්නේ ආණ්ඩුව ඒ ‛රණවිරු’ දේවරූපයම තමන්ට අවශ්‍ය විට දුම් ඇල්ලීමටත් අනවශ්‍ය විට වැලිකඩ හිරගෙදර යකඩ කූරු ගණන් කරන්නටත් යවන බවය. ඒ අතින් ගත්කළ ආණ්ඩුව සිටින්නේ විපක්ෂයේ සිංහල දේශපාලන පක්ෂවලට වඩා හොඳින් මකියවෙල්ලි දිරවාගෙනය.

ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පවත්නා මේ රෙජීමයට අභියෝග කිරීම කළහැක්කේ, ආණ්ඩුව විසින් සිය පැවැත්ම උදෙසා ගිල්ලවන මේ ලණු යථාර්ථවාදීව හඳුනාගෙන ඊට අභියෝග කිරීමට තරම් නිර්භීත වන්නේනම් පමණක් බව මේ දේශපාලකයන් අදටත් තේරුම්ගෙන නැත. විද්වත් කමිටුව පිළිබඳ සිය පක්ෂවල මතය කීමෙන් ඔවුන් පමා කළේත්, එම මතයන් මේ තරමට දියාරු සහ විකෘති ඒවා කළේත්, ආණ්ඩුව විසින් සිය පැවැත්ම උදෙසා ගොඩනගන ලද මේ ප්‍රබන්ධය බව ඔවුන් අදටත් තේරුම් ගැනීමට සූදානම් නැත.

සිංහල ඡන්ද බලාගෙන දේශපාලනය නොකරන දෙමළ ජාතික සන්ධානය මේ ‛රණවිරු’ පිළිරුවේ සෙවනැල්ලෙන් මිදී සිය මතය කිසියම් ඍජු තැනක තැබීමට සමත්වී සිටී. එහෙත් ඒ හේතුවෙන්ම නැවත වතාවක් ඔවුන් දේශද්‍රෝහීන් හා රටේ පරම සතුරන් බවට පත්කොට තවත් වටයකින් ඔවුන් සිංහලයාගේ පරමානන්දය වනසන අනෙකා බවට පත්කොට දකුණෙන් තවත් ඈතට පලවාහරින දිනය පැමිණ ඇතිබවද සටහන් කිරීමට සිදුවේ.

මෙබඳු මූලික කාරණා දෙස නොබලා විද්වත් කමිටු වාර්තාව ගැන පමණක් විග්‍රහ කිරීම ලංකාවේ මේ මොහොතේ මහපොළොවේ දේශපාලනයෙන් දුරස් වීමක් වන්නට පුළුවන

සනත් බාලසූරිය