සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

”LLRC නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට රජයේ විශාල සුසමාදර්ශ වෙනසක් අවශ්‍ය යි.”

උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිෂන් සභා :LLRC වාර්තාව නිකුත් කිරීම සම්බන්ධව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය තම ස්වකීය මතය ඉදිරිපත් කරමින් වාර්තාවක් නිකුත් කර ඇත. විශේෂයෙන් එහි සඳහන් වන්නේ ‛‛ ..ශ්‍රී ලාංකීය රජයෙන් අප ඉල්ලා සිටින්නේ ප්‍රමාදයකින් තොරව, අවංකව හා අප සැම සාදරයෙන් අපේක්‍ෂා කරන, සැබෑ ලෙසම බහුවිධ හා ඒකාබද්ධ ශ්‍රී ලංකාවක් උදෙසාවන කැපවීමෙන් යුතුව LLRC වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන ලෙසය. LLRC වාර්තාව සමගි සංධාන ක්‍රියාවලියක ආරම්භය මිස එහි අවසානය නොවන බව අපි සැලකිල්ලට ගනිමු. වැඩිදුරටත් LLRC වාර්තාව පැහැදිලිව ප්‍රකාශ කරන පරිදී, විශේෂයෙන්ම ‛‛ජනවාර්ගික ප්‍රශ්ණය මෙන්ම ප්‍රජාතාන්ත්‍රික ආයතනවලට තර්ජනයක් වන අනෙකුත් බරපතල ප්‍රශ්ණයන් හටද’’ බලය බෙදීමක් මත පදනම් වූ දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විසඳුමකට ඵලඹීමේ ක්‍රියාදාමයෙහිදී නායකත්වය ගත යුත්තේ ශ්‍රී ලාංකීය රජයයි. අන් සැමවිටක දී මෙන්ම මෙහිදීද අපගේ සැලකිල්ල යොමුවන කරුණ නම් LLRC නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලාංකීය රජයේ විශාල සුසමාදර්ශ වෙනසක් අවශ්‍යවන බවයි……”

මේ එම සම්පූර්ණ වාර්තාව යි.

උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිෂන් සභා LLRC වාර්තාව නිකුත් කිරීම

2012 ජනවාරි 4, කොළඹ, ශ්‍රී ලංකාව : උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභා (LLRC) වාර්තාව නිකුත් කරනු ලැබීම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සතුටට පත්වෙයි. එහි අන්තර්ගත වන ගැටුමට තුඩුදුන් හේතූන් හා ඒවායේ මුලයන් පිළිබඳව වන විග්‍රහය, එල්.ටී.ටී.ඊයේ දරුණු ක්‍රියාවන් ලැයිස්තු ගත කිරීම, රාජ්‍යකරණය පිළිබඳව විශේෂයෙන් පවත්නා ආයතන නිර්දේශපාලනීකරණය කිරීම පිළිබඳව වූ නිර්දේශයන්, තොරතුරු සඳහා වන අයිතිය පිළිබඳව වූ නීතිකරණයන් හඳුන්වාදීම, හමුදාකරණය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එරෙහිවූ ක්‍රියාකාරකම්, භාෂා අයිතීන්, සමගිසංධානය (ප්‍රතිසංධානය) සහ චැනල් ෆෝ වාර්තා චිත්‍රපටියෙහි අන්තර්ගත වූ චෝදනාවන් විභාග කිරීම මෙන්ම අතුරුදහන් කරවීම් හා සිවිල් වැසියන්ගේ මරණ වලට වගකිවයුත්තන් පිළිබඳව විභාග කිරීම සහ ඔවුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල ලෙස කටයුතු කිරීම යනාදී විෂයයන් පිළිබඳව වූ සඳහන් කිරීම් පිළිබඳව ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ලෙස අප සතුටට පත්වෙමු. එමෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අතුරු හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විභාග කරනු ලැබිය යුතු යයි සැලකෙන රජයට සම්බන්ධ පුද්ගලයන් හා ආයතන නම් කරනු ලැබ ඇති කොමිසමේ නිර්දේශය පිළිබඳව හා එල්.ටී.ටී.ඊය විසින් පලවා හරිනු ලැබූ උතුරේ මුස්ලිම් ජනතාව සහ උඩරට දෙමළ ජනතාව පිළිබඳව වන නිර්දේශයන් ද අපි සතුටින් පිලිගනිමු. මෙම ප්‍රජාවන් දෙක වෙත කොමිසම මඟින් දක්වන ලද අවධානය මගින් ශ්‍රී ලංකාවේ ජනතාවන් සඳහා වූ සමගි සංධානය නම්වූ කේන්ද්‍රීය කරුණ මතවූ කොමිසමෙහි ඒකාග්‍රතාවය ශක්තිමත් කෙරේ. LLRC සැසිවාරයන්හී වාර්තාවන් හා එය ඉදිරියෙහි දෙනු ලැබූ සාක්‍ෂි අනාගත පරපුර උදෙසා සුරක්‍ෂිත කොට තබන ලෙස අපි දැඩිලෙස ඉල්ලා සිටිමු.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම ඉදිරියට නොයාමට හේතුවූයේ කොමිසමෙහි සංයුතිය හා එහි නිල පැවරුම, ජනාධිපති කොමිෂන් සභාවන් පිළිබඳව වූ අතීත මතක වාර්තාවන් විශේෂයෙන්ම ඒවායේ වාර්තාවන් නිකුත් නොකිරීම හා නිර්දේශයන් ක්‍රියාත්මක කරනු නොලැබීම (මෙම කරුණු LLRC මෙම කොමිසමෙහි වාර්තාවෙහි ද සඳහන් වේ) වැනි කරුණු පිළිබඳව වූ අපගේ නොඑකඟතාවයන්ය. එසේ වුවද විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳ තත්ත්වය, දඬුවම් නොලබා වරද කිරීම පිළිබඳවවූ සංස්කෘතිය හා මානව හිමිකම් ආරක්‍ෂාකිරීම යන කරුණු පිළිබඳව වූ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා අනෙකුත් සිවිල් සමාජ සංවිධානයන්හි නිරීක්‍ෂණයන් හා නිර්දේශයන් ගණනාවක් මෙම කොමිසමේ වාර්තාවෙහිද නැවත සඳහන් කරනු ලැබ තිබීම අපගේ අවධානයට යොමුවෙයි. මෙම අදහස් ජනාධිපති කොමිෂන් සභාවක් විසින් අනුමත කරනු ලැබීම මගින් සිවිල් සමාජයෙහි මෙම විවේචනය තවදුරටත් ශක්තිමත් කරනු ලැබ තිබේ. එමෙන්ම, අතිශයින්ම ජාතික ප්‍රමුඛතාවයක් සහිත වූ කරුණක් සේ සලකා ඉහත සඳහන් කළ ක්‍ෂේත්‍රයන් පිළිබඳව වන මෙම කොමිසමෙහි නිර්දේශයන් විශ්වසනීය හා ඵලදායක ලෙස ක්‍රියාත්මක කිරීමෙහි වැදගත් කම මෙමගින් අවධාරණය කෙරේ. තවද මෙම කරුණ, මෙම කොමිසම මඟින්ද ඉස්මතු කොට දක්වා ඇති පරිදි, ශ්‍රී ලංකාවේ රජය මඟින් උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ අතුරු නිර්දේශයන් පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට අසමත් වීම මඟින්ද අවධාරණය කරනු ලැබ ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාගේ උපදේශක මණ්ඩල වාර්තාව නිකුත් කිරීමෙන් පසු එල්.ටී.ටී.ඊ.යට හා ශ්‍රී ලංකා රජයට එරෙහිව එල්ලවූ යුධ අපරාධ හා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳව වූ චෝදනා පිළිබඳව ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා වූ ඉල්ලීම් හමුවේ ශ්‍රී ලාංකීය රජය කියා සිටියේ LLRC වාර්තාව මඟින් තම විවේචකයන් හට පිළිතුරු ලැබෙනු ඇති බවයි. මෙහිලා කේන්ද්‍රීය වැදගත්කමක් සහිත කරුණු වන්නේ යුද ගැටුමෙහි අවසන් අවධියෙහිදී සිදුවූ දේ හා එහිලා වගවීම පිළිබඳව වූ කරුණ තහවුරු කර ගැනීමයි. LLRC හී නිගමනය වූයේ කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබු තොරුතුරු හා වඩාත් වැදගත් ලෙස මෙම අවධියෙහිදී සත්‍ය වශයෙන්ම ලබාගත හැකි තොරතුරු අනුව ඇතැම් කරුණු පිළිබඳව සත්‍යය නිර්ණය කර ගැනීම කිසිසේත්ම කළ නොහැක්කක්ම වාගේ වන බවය.

LLRC කොමිසමට ලබාගත හැකිව තිබූ තොරතුරු සම්බන්ධයෙන්වූ සීමාවන් පිළිබඳව කරුණු තිබිය දී වුවද එය නිශ්චිත ලෙසම කියා සිටින්නේ සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීමේ අරමුණක් ශ්‍රී ලංකා රජය වෙත කිසි විටෙකත් නොපැවති බවය. ‛‛මෙය හානියක් කිරීමේ අරමුණකින් සිදු කරන්නට නොමැති වුවා වන්නට හැකි’’ යයි LLRC කියා සිටිතත් ඇතැම් අවස්ථාවන් හීදී සිවිල් වැසියන්ගේ මරණ, යුද අපරාධ සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ වගකීම පිළිබඳව කරුණු තහවුරුකර ගැනීම පිණිස වැඩිදුර පරීක්‍ෂණයන් පැවැත්වීම අවශ්‍යව තිබෙන බව කොමිසම නිගමනය කරයි.

මෙය ජේ්‍යෂ්ඨ නිලධාරීන් හා දේශපාලන හා ආරක්‍ෂක සංස්ථාවන්හී නිලධාරීන්ගේ සාක්‍ෂිදීම් මඟින් පිළිරැව් නංවන නිගමනයකි. මෙම නිගමනයට ඵළඹ ඇත්තේ සිවිල් වැසියන්ගේ වැඩිදුර සාක්‍ෂිදීම් හා එමඟින් යුද්ධයේ අවසාන අවධියේදී වූ සිදුවීම් පිළිබඳව වූ සම්පූර්ණ විස්තරයක් ලබා ගැනීම පහසුකරණය කරන්නාවූ සාක්‍ෂිකරුවන් හා වින්දිතයන් ආරක්‍ෂාකරණ යාන්ත්‍රණයක් නොමැතිවූ ක්‍රියාදාමයක් තුලින්ය යන්නද සැලකිය යුත්තකි. කොමිසම ඉදිරියේ සාක්‍ෂි දුන් සිවිල් වැසියන් විසින් පසුව අත්විඳින්නට ඇති දුෂ්කරතාවයන් හා හිරිහැරයන් මෙන්ම කොමිසම ඉදිරියෙහි වාචික සාක්‍ෂි ඉදිරිපත් කිරීම සඳහා සිවිල් වැසියන් හට ලබාදී තිබු කාලය ප්‍රමාණවත් නොවීමද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. තමන්ට මුහුණපෑමට සිදුවිය හැකි දුෂ්කරතාවයක් හා අනතුරු නොතකා අතුරුදහන් වූවන්ගේ හා මරා දමනු ලැබුවන්ගේ පවුල්වල සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් කොමිසම ඉදිරියේ සාක්‍ෂි දීමට පැමිණීම මඟින් තහවුරු වන්නේ තමන්හට ඇහුම්කන් දෙනු ලැබීමට යුද්ධය බලපෑ ප්‍රජාවන් වෙත පවතින දැඩි උවමනාවයි. එමෙන්ම ප්‍රජා මට්ටමේදී යුක්තිය සහ වගවීම සඳහා ඔවුන් වෙත පවත්නා දැඩි අවශ්‍යතාවයද එමඟින් පිලිබිඹුවේ.

සන්නද්ධ හමුදාවන්ගේ අරමුණු සම්බන්ධයෙන් වූ නිගමනය පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කලකිරීමට පත්වෙයි. මෙම කරුණ සම්බන්ධයෙන් කළ යුතුව ඇත්තේ වරින්වර අවධානයට ලක් කරනු ලැබ නැවත නැවතත් නිෂ්ක්‍රීයව තිබෙන්නට හැරීම නොවේ. ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීම සිදුවිය යුතු බවට වන ඉල්ලීම් මෙමගින්ද ශක්තිමත් කරවනු ලබන බව අපගේ දැඩි විශ්වාසයයි. පොලීසිය ආරක්‍ෂක සංස්ථාවන්ගෙන් වෙන්කරනු ලැබීමේ අවශ්‍යතාවය සහ ප්‍රායෝගික ලෙස 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පොලීසිය හා රාජ්‍ය සේවය සඳහා වන ස්වාධීන කොමිෂන් සභාවන් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවශ්‍යතාවය ඇතුළු රාජ්‍යකරණය හා නීතියේ ආධිපත්‍යයෙහි වත්මන් තත්ත්වය පිළිබඳව LLRC වාර්තාව මඟින් කරනු ලැබ ඇති විශ්ලේෂණය මගින්ද මෙම ඉල්ලීම් වැඩිදුරටත් වර්ධනය කරනු ලැබේ. LLRC මඟින් විස්තර කරනු ලබන රාජ්‍යකරණයේ සහ නීතියේ ආධිපත්‍යයේ පවතින තත්ත්වය ඇසුරෙන් පැනනගින ප්‍රශ්ණය වන්නේ කොමිසම විසින් නිර්දේශ කරනු ලබන පරීක්‍ෂණයන්, ඒවාට සහභාගි වියයුතු ආයතනයන් හී සුපිලිපන්භාවයේ වත්මන් පරිහානිය යටතේ, ජාතික මට්ටමින් සිදුකරන්නේ කෙසේද යන්නය. LLRC විසින් නිර්දේශ කරනු ලබන ‛‛ස්වාධීන’’ හා ‛‛නිසි’’ ‛‛පරීක්‍ෂණයන්’’ සඳහා වන පැහැදිලි මාර්ගෝපදේශයන් තිබුනේ වී නම් මෙම නිර්දේශයන් වඩාත් ශක්තිමත් හා අර්ථවත් වන්නට හැකිව තිබිනි.

යුද්ධයේ අවසාන අවධියේදී වන්නියේ සිටි සිවිල් වැසියන් සංඛ්‍යාව සම්බන්ධයෙන් වන කරුණ පිළිබඳව සහ ඔවුනට ආහාර වෛද්‍ය සැපයුම් ආදිය සම්පාදනය කළ ආකාරය ගැන කොමිසම කටයුතු කර ඇති ආකාරය වෙත ද අපගේ කලකිරීම පැතිරයයි. මේ සම්බන්ධයෙන් එහි සිටි සිවිල් වැසියන් හා සෘජු සම්බන්ධතා පැවති ක්‍රියාකාරී කොටස් වෙතින් ලබාගත හැකි තොරතුරු ප්‍රමාණවත් තරම් මූලාශ්‍රයන් ලෙස යොදාගනු ලැබ නොමැති බව අපගේ සැලකිල්ලට යොමුව ඇත. මෙම ප්‍රදේශයේ සිවිල් පරිපාලනය වෙතින් ලබාගත හැකි ජනගහන දත්තයන්ද මෙම සැලකිල්ලට ඇතුළත් වේ. සමගිසංධානය හා යුද අපරාධ චෝදනාවන් වෙත වන එම සිදුවීම් වල බලපෑම සැලකිල්ලට ගෙන, යටත්වන්නට පැමිණි එල්.ටී.ටී.ඊ. නිලධාරීන් මරාදැමීම සිදුවූ ‛‛සුදු කොඩි සිදුවීම’’, අධි ආරක්‍ෂක කලාපයන්හී නෛතික භාවය, 3,00,000ක් පමණම වූ සිවිල් වැසියන් සංඛ්‍යාවක් ‛මැනික් ෆාම්’’ හා අනෙකුත් ස්ථානයන් හී සිරකරනු ලැබ සිටීම හා එමගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම යනාදිය පිළිබඳවද අදාළ ලෙස සඳහන් කළ යුතුව තිබිනි.

මෙම නොඑකඟතාවයන් තිබෙන්නේ වී නමුදු, ශ්‍රී ලාංකීය රජයෙන් අප ඉල්ලා සිටින්නේ ප්‍රමාදයකින් තොරව, අවංකව හා අප සැම සාදරයෙන් අපේක්‍ෂා කරන, සැබෑ ලෙසම බහුවිධ හා ඒකාබද්ධ ශ්‍රී ලංකාවක් උදෙසාවන කැපවීමෙන් යුතුව LLRC වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන ලෙසය. LLRC වාර්තාව සමගි සංධාන ක්‍රියාවලියක ආරම්භය මිස එහි අවසානය නොවන බව අපි සැලකිල්ලට ගනිමු. වැඩිදුරටත් LLRC වාර්තාව පැහැදිලිව ප්‍රකාශ කරන පරිදී, විශේෂයෙන්ම ‛‛ජනවාර්ගික ප්‍රශ්ණය මෙන්ම ප්‍රජාතාන්ත්‍රික ආයතනවලට තර්ජනයක් වන අනෙකුත් බරපතල ප්‍රශ්ණයන් හටද’’ බලය බෙදීමක් මත පදනම් වූ දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විසඳුමකට ඵලඹීමේ ක්‍රියාදාමයෙහිදී නායකත්වය ගත යුත්තේ ශ්‍රී ලාංකීය රජයයි. අන් සැමවිටක දී මෙන්ම මෙහිදීද අපගේ සැලකිල්ල යොමුවන කරුණ නම් LLRC නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලාංකීය රජයේ විශාල සුසමාදර්ශ වෙනසක් අවශ්‍යවන බවයි.

මෙය ජාතික ප්‍රමුඛතාවයක් ලෙස සලකා සමගිසංධානයේ, වගවීමේ සහ මානව හිමිකම් ආරක්‍ෂා කිරීමේ ශක්තිමත් හා කැපී පෙනෙන ප්‍රගතියක් 2012දී සහ ඉන් ඔබ්බට සාක්‍ෂාත්කර ගැනීම සඳහා වන මෙහෙවර අරඹන ලෙස අපි දැඩිලෙස ඉල්ලා සිටිමු. මෙය පශ්චාත් යුද තත්ත්වයක සිට පශ්චාත් ගැටුම් තත්ත්වයක් කරා සංක්‍රමණය වීමේදී මෙන්ම පශ්චාත් ගැටුම් තත්ත්වයෙහිදී ලඟාවන කල්පවතින සාමය සහ එකමුතු බව උදාකර ගැනීමේදී ද අත්‍යවශ්‍ය වන්නකි.
Click PDF