Colombo, end of the War, Featured Articles, Features

බොරු නින්දෙන් අවදි නොවෙමුද?

Photo by – jds.org

එකම දෙයක් ගැන නැවත නැවත ලිවීම වදයකි. නමුත් එකම වරද නැවත නැවත ක්‍රිියාවට නැගීම නම් කරුමයකි. එසේ නවවිට එය වදයක් උවත් ඒ ගැන නැවත නැවතත් ලිවීමට සිදුවේ. රටක මිනිස් ජීවිත දස දහස් ගණන් බිළිගත් පැනයකට විසඳුම් සෙවීමට එකම දෙය නැවත නැවතත්, ඒ දෙයම නැවත නැවතත්, එයින් ප්‍රයෝජනයක් නැතිබව දැන දැනත් එයම නැවත නැවතත් ක්‍රියාවට නගයිනම් එය එම රටට මහත් ඛේදවාචකයකි. ලොවට එය විහිළුවකි.

සිංහලයාගේ උරුමය ගැන, උන්ගේ උතුම් බව ගැන සහ දීර්ඝ සංස්කෘතිය ගැන මැත දොඩන සිංහල උරුමය වංශලාට සිංහලයාගේම ජන වහරේ එන පහත කියමන් වලින් ඉගෙන ගන්නවා නම් ඒවා ප්‍රමාණවත්ය. ‛‛නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත් පට්ටියක් සහ ටිකක් උවමනාය.’’, ‛‛නොකෙරෙන දීගෙට පේන බලන්නා වගේ’’ හෝ ‛‛හෝද හෝදා මඩේ දැමීම වගේ.’’

ඒත් මේ ‛‛උතුම් සිංහලයා’’ කිසිදිනක ඉතිහාසයෙන්වත් තමන්ම දොඩන වදන්වල හැබෑ හරයවත් වටහානොගන්නේ ඒ ගැන උවමනාවක් නොමැති කමින්මය. තමන්ම තමන් ගැන වගාඩම්බර ගසන මෙම ‛‛සිංහල උත්තමයා’’ මල මිනී මහමඟ කුණුවන, දොර දොර මිය ගිය උන් ගැන හඬාවැටෙනා හිටිගමන් මිනිසුන් අතුරුදහන්කරවන රටක තමන් සිටින බව නොදකී. එසේ නොපෙනීම නිසා නොව මනසේ නොපෙනීම නිසාවෙනි.

ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය තරමටම සර්ව පාක්ෂික සමුළුවලටද ඉතිහාසයක් වෙයි. පසුගිය වසර 25 තුළ පමණක් කීවරක් නම් ලංකාවේ ආණ්ඩු මෙම සර්ව පාක්ෂික සමුළු සුළු ජන අයිතීන් වෙනුවෙන් පැවැත්වූවාද? මේ පවතින රජයම තිස්ස විතාරණ මහතාගේ නායකත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්විය. ඉතින් මේ පසුගිය වසර 30කට පමණක් මෙවැනි සමුළු සහ සාකච්ඡා සඳහා මොනතරම් මහජන මුදලක් කාබාසිනියා කළේද? පාර්ලිමේන්තු නියෝජිතයන් සහ අමාත්‍යවරුන් කීදෙනක් ලෝකයේ විවිධ රටවල මෙවැනි ප්‍රශ්න විසඳා ගත් හැටි අධ්‍යයනය කිරීමට සහ හැදැරීමට රට රටවල සංචාරය කරනු ලැබුවේද? රට තුළ කොපමණ සම්මේලන සහ සමුළු පවත්වන්නට ඇද්ද. ලොව ඉහළම විද්වතුන් කීදෙනකු ලංකාවට විත් මේ අය දැනුවත් කරන්නට ඇද්ද? නමුත් ප්‍රශ්නය තාමත් එතැනය.

ඉතින් මෙපමණ දේ සිදුවීත් රටතුළ යුද්ධය අවසන් කර වසර තුනකට ළං වෙද්දීත් තාමත් මේ රටේ දේශපාලන පක්ෂ සහ දේශපාලන රාළලා තාමත් අඳුරේම අතපත ගාන්නේ ඇයි. මොවුනට දැනුමේ අඩුවක් ඇද්ද? වසර ගණනක් තිස්සේ කළ කී දැ මොවුන්ගේ උත්තම ශීර්ෂයන් තුළට ඇතුලු නොවුණා ද? නැත. දැනුම අඩුවක් ලංකා දේශපාලනයට නොමැත. ඇත්තේ උවමනාවේ අඩුවයි. මා ඉහත සඳහන් කළ ප්‍රස්ථා පිරුළු ලංකා දේශපාලනයේ සහ ලක් වැසියාගේ ස්වභාවය පැහැදිලි කරයි. කැමති අයකුට එම පිරුළුවලින් සත්‍යය වටහා ගත හැක. අන් අය එය කවදාවත් වටහා නොගන්නේ එය වටහා ගැනීමට ඇති මැලිකමිනි. එසේ නොමැතිනම් ඔවුන් මන්ද බුද්ධිකයන් විය යුතුය. මේ අනුව බලන විට ලංකාවේ පාර්ලිමේන්තුව පිරී ඇත්තේ එක්කෝ මන්දබුද්ධික යන්ගෙන් නැත්නම් බොරු නින්දක වැටී සිටින කිසිදිනක ඇහැරවිය නොහැකි වංචාකරුවන් රොත්තකිනි.

මෙහි ඇති හාස්‍ය උපදවනම කාරණය වන්නේ, උතුරේ මිනිසුන්ගේ උවමනාවන් ගැන උතුරේ දේශපාලඥයන් හෝ උතුරේ වැසියා නොදන්නා බව දකුණේ දේශපාලනඥයන් සහ සිංහල විද්වතුන් පැවසීමයි. උතුරේ මිනිසුන්ට තම ප්‍රදේශයේ පාසල් ගැන තම ප්‍රදේශයේ භූමිය සහ එහි සංවර්ධනය ගැන සහ එහි පාලනය ගැන තමන්ම තීරණ ගැනීමට උවමනාවක් නැතිබව, එම උවමනාව අධිරාජ්‍යවාදීන්ගේ සහ විදේශ ඒජන්තලාගේ එකක් බව, අඩ හැර පාන්නේ සිංහල දේශපාලනඥයන් සහ ‛‛සිංහල බෞද්ධ විද්වතුන්’’ වීම පුදුමයක් නොවේද? මොවුන්ට අනුව දෙමළ ඡන්දයෙන් පත්වූන මන්ත්‍රීවරු දෙමළ ජනවරමක් ලබා නැත. ඒත් සිංහල ඡන්දයෙන් තේරුණු සිංහල ජනාධිපතිට ජනවරම ඇත. මොවුන්ට අනුව තර්කාන්විත වන්නේ ඔවුන්ගේ උවමනාවට පක්ෂ දෙය මිස තර්කාන්විත බව නොවේ.

වසර 25කට පමණ යුද්ධයකින් විනාශ වී ගිය ප්‍රදේශයක ලක්ෂ ගණනකට තවමත් හරි හැටි වහලක් නැති උතුර ගැන උතුරේ සංචාරය කර එන සිංහල බොහෝ දෙනා පවසන්නේ ‛‛දැන් ඒ ප්‍රදේශවලට හැමදේම තියනවා. මේ ප්‍රදේශවලට වඩා ඒවා දියුණුයි’’ කියායි. අඩුම තරමින් A9 මාර්ගයේ දෙපසවත් හරි හැටි දුටුවානම් මෙසේ නොකියනු ඇත. ඒත් යුද ජයග්‍රහනයේ උන්මාදයෙන් මත්ව ‛‛සිංහල බෞද්ධ’’ යන කඩතුරාවෙන් දැස් බැදගෙන යන මොවුනට පෙනෙන්නේ මොනවාද යන්න හැබෑවටම ප්‍රශ්නයකි. මත්ද්‍රව්‍යවලින් මත් වු අයකුට සියල්ල පෙනෙන්නේ මල් ලොවක් මෙනි. වර්ග වාදයෙන් මත්වී සිටින මොවුන්ටද කුඩුකාරයින්ට මෙන් පරිසරය අලංකාරවී පෙනෙනවා විය යුතුය.

මෙම ‛‛සිංහල බෞද්ධ’’ ලාංකිකයා හඳුනාගැනීමට අප නෙත් යොමු කළ යුත්තේ ඔවුන් තම රහස් ඡන්දයෙන් පාර්ලිමේන්තුවලට යවන නියෝජිතයන් වෙතයි. කුඩු වෙළෙන්දන්, කප්පන්කාරයන්, මිනීමරුවන් සහ බලහත්කාරයෙන් ලිංගික සහ වෙනත් උවමනා ඉටුකරගන්නා උන්, හොරුන් මොවුන් විසින් තම නියෝජිත යන් ලෙස පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවලට පත්කර යවා ඇත. ඒ මේ වැසියාට වෙන විකල්පයක් නැති නිසාද? එසේ නැතිනම් ඔවුන් මේ වසලයින් ගැන නොදන්නා නිසාද? නැත. මේ ලක්වැසියා මේ හොරුන්ට ලක්ෂගණනින් තම මනාපය දෙන්නේ හිතාමතාම කැමැත්තෙනි. හොරුන්ට, චණ්ඩින්ට, මිනීමරුවන්ට, ස්ත්‍රී දුෂකයින්ට ලංකාවේ වැසියා පෙම් කරයි. හැබෑ කාරණය වන්නේ එයයි. දුමින්ද සිල්වලා, මර්වින්ලා කුඩුකාරයින්, කප්පන්කාරයින් සහ නොසන්ඩාල ස්ත්‍රී දුෂකයන් බව ප්‍රසිද්ධ රහස්ය. ලොහාන් රත්වත්තලා මිනී මැරුවේ රටම බලාසිටිද්දීය. පුංචි නිලමෙලා, මහින්දානන්දලා සිසුන්ගේ හිස්වලට පරාල ඇණ ගැසූබව නාලන්ද එල්ලාවල ප්‍රසිද්ධියේ මරා දමූ බව නොදන්නේ කව්ද? තවත් මෙ විදියටම ප්‍රාදේශීය දේශපාලන අධිකාරයට පත්කර ඇත්තේ මෙවැනි උන් බව ප්‍රසිද්ධය. මීගමුව නගර සභාවෙන්, තංගල්ලෙන්, කැලණිය ප්‍රාදේශිය සභාවෙන් මේ ආදී කෙලවරක් නැතිව උදාහරණ ඇත. නමුත් මේ මිනීමරු නොසන්ඩාලයින් ගෙන් වැඩිදෙනකු වැඩිම මනාප ලබමින් පත්වූ අයයි. ඒ වාගේම මොවුන් ඒ ඒ ප්‍රදේශ තුළ තක්කඩින් ලෙස ප්‍රසිද්ධ අය ය. සමහර තැන්වල වැඩිම ස්ත්‍රී දුෂණ කළ (දුමින්ද වැනි) වැඩිම අපරාධ මිනීමැරුම් කළ අය වැඩිම ජනතා මනාප ලබා ඇත. ඉතින් මෙයින් මේ ලාංකික වැසියා පැහැදිලි කරන්නේ අපරාධකරුවකුවීම තම ඡන්දය ලැබීමට සුදුසුකම බව නොවේද? එසේ නොමැති නම් තමන් ද තමන්වම රවටාගනිමින් බොරු නින්දක වැටී සිටින බව නොවන්නේද? එකම පක්ෂයේ මැති ඇමතිවරු කුඩුකප්පම් ලාභවලට ප්‍රසිද්ධියේ මරාගනිද්දී ප්‍රසිද්ධියේ මිනීමැරුම් දුෂණ කරද්දී එම මැති ඇමතිවරුන් ළඟට කැන්දා ඔවුන්ව හුරතල් කරන ජනාධිපතට ස්තෝත්‍ර ගායනා කරන්නේ මෙම ජනයාම නොවේද? මේ පවතින මිනීමරු, දුර්දාන්ත බව ගැන ඇත්තෙන්ම රටේ ජනයාට ප්‍රශ්නයක් නොමැත. ඒ ඔවුන්ටත් උවමනා කුල්ලෙන් හෝ පොල්ලෙන් තම පුද්ගලික උවමනාවන් ඉටුකරගැනීමට පමණක් බැවිනි. ඔවුන් තමන් ගැන, තමන්ගේ පුංචිම පුංචි පවුල ගැන පමණක් සිතන ආත්මාර්ථයෙන් පිරුණ උන් බැවිනි. මෙසේ කී විට යමකු මා හා උරන විය හැක. ඒත් මේ පවතින කරුමයෙන් ගොඩඒමට නම් මෙය කිවයුතුය. මේ වැටී සිටින බොරුනින්දෙන් අවදි විය යුතුය. ජනතාව හොරුන්ව තම නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට පත්කරනවිට රටක වෙනසක් ඇති නොවෙති.

ලොව උසස්ම සංස්කෘතියක් අපට ඇති බව අපම කියාගත්තාට වැඩක් නැත. පාණාතිපාතා වේරමණී කියා සිල්පද කීවාට වැඩක් නැත. පරපන නැසීම නතර කළයුතුය. එයට උඩගෙඩි දීම නතර කළ යුතුය.

80 ගණන්වල දකුණේ තරුණ තරුණියන් මරා දමද්දී මර නින්දට වැටුණු දකුණේ ‛‛සිංහල බෞද්ධයා’’ ඉන් පසුව දෙමඑන් මරා දමනවිට අත්පොළසන් දී සහය දුන්නේ ‛‛අවිහිංසාව’’ පෙරදැරිකරගෙනද? තමන්ගේම සගයන් දසදහස් ගණන් මරා දැමූ මිනීමරු හමුදා සහ පොලීසිවලට මානෙල් මල් පුදමින් උතුරේ ජන සංහාරයට සහය දුන්නේ නොදන්නා කමටද? දෙමළ ජනයා තමන්ට ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ඉල්ලනවිට ‛‛සමාජ වාදය’’ එනතුරු බලාසිටින ලෙස පවසන්නේ නොදන්නා කමටද? දෙමළ මිනිසුන්ට තම අයිතීන් ලැබීමෙන් රට බෙදේයැයි බෙරිහන් දෙන්නේ දැනුම මද නිසාද? රටේ බලයේ පවතින ව්‍යවස්ථාවක් හරියාකාර ක්‍රියාවට නැංවීමක් ඉල්ලා නොසිටින දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් වැට ඉනිවලට වඩා වෙනස් වන්නේ කුමන අරුත කින්ද?

සුද්දන්ගෙන් නිදහස ලබා වසර 64ක් ගතවන විට එදා උන් රට ලාංකිකයා අතට පත් කරන විට තිබුණාටත් වඩා බොහෝ පැතිවලින් පිරීහී නොතිබෙන්නේද? ඊර්ෂ්‍යාව, කුහකබව, වංචාව සහ අවස්ථාවාදය පදනම් කරගත් දේශපාලනයකට රටක් දියුණු කළ හැකිද?

තමන් බොරුවට සිටින නින්දනේ අවදිවීමට උවමනාවක් නොමැති නම් රට වෙනස් කළ නොහැක. පාලකයින් වෙනස් කළාට එය ප්‍රමාණවත් නැතිබව වටහා ගැනීමට කාලය පැමිණ ඇත. රටේ ජනයා තමන්ගේ නියෝජිතයන් ලෙස යහපත් මිනිසුන් පත්කරන තාක් කල් මේ ක්‍රමය දිගින් දිගටම පවතිනු ඇත.

රංජිත් හේනායකආරච්චි[Ranjith Hennayakaarchchi]