සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation

‛අපි පෙනී හිටින්නෙ මීට වඩා ප්‍රබල යෝජනාවක් වෙනුවෙන්’ – සුනිලා අබේසේකර

ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ අතිශයින්ම දුර්වල යෝජනාවක් බව මානව හිමිකම් ක්‍රියාධාරීන් පවසනවා. ශ්‍රී ලංකා රජයට එල්ල වී ඇති යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඇතුළු රජය වගකීමෙන් බැඳෙන යෝජනාවක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඉල්ලා සිටියා. උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කරන ලෙසත්, ශ්‍රී ලංකා රජය එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ගන්නා පියවර හැකි ඉක්මණින් දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටිමින් 08 වනදා ඉදිරිපත් වූ කෙටුම්පත, ජාත්‍යන්තර නීති උල්ලංඝනය වීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම එකී යෝජනාවේ සඳහන් වන පරිදි මානව හිමිකම් කොමිසමේ කාර්යාලය, ශ්‍රී ලංකා රජයට මෙම පියවර ගැනීම සඳහා සහය දැක්විය යුතුයි. ජිනීවා හි සිටින මානව හිමිකම් ක්‍රියාකාරීනී සුනිලා අබේසේකර විසින් කියා සිටියේ, අද ආරම්භ වූ මුලික සාකච්ඡාවේදී ඇමරිකා එක්සත් ජනපදයේ කෙටුම්පතක් සියළු දෙනා අතට පත් වූ බවයි. මෙහිදී අදහස් දැක් වූ මානව හිමිකම් ක්‍රියාකාරිනී සුනිලා අබේසේකර,

“ඉතාමත්ම පැහැදිලිව බෙදීමක් අපට දක්නට ලැබුණා. පකිස්ථානය සහ වෙනත් රටවල් කිහිපයක් නොබැඳුනු සංවිධානය වෙනුවෙන් කතා කළා. නොබැඳුනු සම්මේලනයේ රටවල් හැටියට ඒ අය මේ ප්‍රවේශයට විරුද්ධයි කියලා ඒ අය ඉතාමත්ම පැහැදිලිව කිව්වා. සංහිඳියාව කරා ගමන් කිරීමට ලංකාවේ රජයට තව කල් අවශ්‍යයි, ඒ අය යන ගමනට අපි බාධා කළ යුතු නැහැ, මෙවැනි යෝජනාවකින් කිසිම දෙයක් වෙන්නෙ නැහැ කියලා ඒ අය කිව්වා. මේ අතර යුරෝපීය සංගමයේ රටවලුත් කතා කෙරුවා. මේක ඉතාමත්ම මධ්‍යස්තව ලියැවුණු කෙටුම්පතක්, ඇත්තටම මෙය වඩා ශක්තිමත් කිරීම සඳහා මෙයට යම් එකතු කිරීම් කරනවා නම් ඒ අය කැමතියි කියලා යුරෝපීය සංගමයේ රටවල් කිව්වා. නමුත් දැනට ඒ අය එවැනි යෝජනා ගෙනැල්ලා නැහැ. හැබැයි යුරෝපීය රටවලින් බහුතරයක් මේකට පක්ෂව කතා කෙරුවා. ලතින් ඇමරිකානු රටවල්, අප්‍රිකානු රටවල් ඒ තරම්ම කතා කෙරුවේ නැහැ. චීනය, රුසියාව, ඇල්ජීරියාව විරුද්ධව කතා කළා. ඉන්දියාව නිශ්ශබ්දව හිටියා. ආසියානු රටවල් අතරින් පිලිපීනය තමයි දැඩි විරෝධතාවයක් දැක්වුවා. ඒ වගේම තායිලන්තය සහ ඉන්දුනීසියාව කතා කළා. මාලදිවයින, බංගලාදේශය, ඉන්දියාව කාමරයේ සිටියාට කතා කළේ නැහැ. 23 වෙනිදා මේ සඳහා ඡන්දයක් පවත්වන තෙක් මේ සංවාදය සිද්ධ වේවි.”

ශ්‍රී ලංකාවේ රජය නියෝජනය කරමින් පැමිණි නියෝජිතයින් මේ අවස්ථාවේ අදහසක් ඉදිරිපත් කළාද?

“ඔව්, මොහාන් පීරිස් මහත්තයා විනාඩි කිහිපයක් කතා කළා.ඔහු රජය විසින් පිහිටවලා තියෙන විවිධ යාන්ත්‍රණ පිළිබඳව කතා කළා. මේ යාන්ත්‍රණය සහ අර යාන්ත්‍රණය පිළිබඳව කැබිනට් උපකමිටුවක් තියෙනවාය, ඇමතිවරුන්ගේ උපකමිටුවක් තියෙනවාය, ජනාධිපති කාර්ය බලකාය තියෙනවාය යන ආදී වශයෙන් දිගින් දිගටම විස්තර කළා. මේ සියලුම යාන්ත්‍රණ තියෙන්නෙ අපේ ජනාධිපතිතුමා යටතේ කියන කාරණාව තමයි මොහාන් පීරිස් මහත්මයාගෙන් පැහැදිලිවම කියවුණේ. ඡන්දයෙන් පත්වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්න පාර්ලිමේන්තුවක් තියෙන රටක මේ සියලුම යාන්ත්‍රණ ජනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ පවතින්නෙ ඇයි කියලා කවුරුත් ප්‍රශ්නයක් ඇහුවෙ නැහැ.”

මානව හිමිකම් සංවිධාන සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරපු අය බලාපොරොත්තු වූ ආකාරයේ, බලවත් යෝජනාවක් මෙහිදී ආවේ නැහැ නේද?

“ඇත්ත වශයෙන්ම අපේ කල්පනාවේ හැටියට මේක අතිශයින්ම දුර්වල යෝජනාවක්. අපි මීට වඩා ප්‍රබල යෝජනාවක් වෙනුවෙන් තමයි පෙනී හිටින්නෙ. දේශපාලන කේවල් කිරීම මැද ඇමරිකා එක්සත් ජනපදය විසින් විවිධ රාජ්‍යයන් සමග සාකච්ඡා කරලා අවම එකඟතාවයකින් තමයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නෙ.”

බී.බී.සී සංදේශය ඇසුරෙනි[08 March 2012]