සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

ජිනීවා යෝජනාව: අභ්‍යන්තර රාව ප‍්‍රතිරාව


‘හේයි ජිනීවා! අපි දැන් මරන්නේ නෑ, අපි කනවා විතරමයි…කන කොට වල් ඌරො ලස්සනයි, කන කොට රටත් ලස්සනයි, …. පන්සල්වලට අරක්කු, රටටම පිරිත් පැන්, අපෙ දූපත අපට දෙන්න, අපි දැන් කනව විතරමයි.. අපි දැන් වෙඩි තියන්නෙ නෑ, අපෙ නිදහස අපට දෙන්න..කව්ද මේ මිනි මරන්නේ, අපි නම් නෙවෙයි, අපි දැන් කනව විතරමයි’’ නම් අජිත් කුමාරසිරිගේ ගායනය සටහනක් ද සමඟ සිය වෙබ් අඩවියේ පළ කල කැනඩාවේ ජීවත්වන ශ‍්‍රී ලාංකික මාධ්‍යවේදී ඞී.බී.එස්. ජෙයරාජ් සඳහන් කළේ එය තමන්ට එවූයේ තානාපති දයාන් ජයතිලක විසින් බවයි.

දේශපාලන තේමාවකින් යුතු මෙම ගායනය සහ ශෛලිය සිය තානාපති ධුරය අතහැර යාමට වේදෝ නොවේදෝ යන ප‍්‍රශ්ණය අභිමුව සිටින ජයතිලකගේ ප‍්‍රසාදයට හේතු වී තිබූනාක් වැන්න. එම කාලයේ දී ම ‘‘ඉගෙන ගන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න’’ යනුවෙන් ශ‍්‍රී ලංකාවේ වමේ දේශපාලනය ගොඩ නැගිය යුත්තේ කෙසේදැයි යනුවෙන් සිතුවිළි පොළඹවන ලිපියක් ද ජයතිලක විසින් ප‍්‍රසිද්ධ කරන ලදී. රාජ්‍ය තාන්ත‍්‍රික සේවයට අදාළ නැති මෙම මැදිහත්වීම් ඔහු විසින් කරන ලද්දේ ජිනීවා පරාජය පසුබිමෙහි ඔහුට විරුද්ධව විදේශ අමාත්‍යාංශය විසින් පැක්ස් කරන ලද ‘තුට්ටු දෙකේ’ චෝදනා පත‍්‍රයට ප‍්‍රසිද්ධියේ පිළිතුරු දෙමින් ‘‘ ඉතිං අවශ්‍ය නම් මා ඉවත් කරනු’’ යනුවෙන් නොකියා කරන ලද අභියෝගයේ සන්දර්භය තුළය.

වරෙක ව්‍යංගව ද වරෙක කළ එළියේ ද කැරෙන ගැටුමක් බවට පත්ව ඇති ජිනීවා පරාජයට නරබිලි සෙවීමේ මෙම රාජ්‍ය තාන්ත‍්‍රික තොවිලය රාජපක්ෂ ආණ්ඩුවේ විවිධ කසකරුවන් විසින් ලියන ලිපි වලින් දැන් ඕජස් ලෙස පිටාර ගලමින් තිබේ. පේලි අතර කියවමින් ඈත සිට මෙම තොවිලය සහ යකැදුරන් සහ ආතුරයින් නිරීක්ෂනය කිරීම සිත්ගන්නා සුළුය.

අනෙක් අතට මානව හිමිකම් කවුන්සිලයේ 19වන සැසිවාරයේ දී ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රති සන්ධානය සහ වගවීම ප‍්‍රවර්ධනය කිරීම’ යන යෝජනාව හමුවේ ලංකාණ්ඩුව පරාජය වීමෙන් පසු අදාළ අංශ අතර ඇතිව තිබෙන මෙම කුලල් කා ගැනීම් විසින් බරපතල දේශපාලන පරාජයක් ලද හොත් රාජපක්ෂ ආණ්ඩුවෙහි එකිනෙකා කොතරම් කා කොටා ගන්නවා ඇත්ද යන්න පිළිබඳ සංකේතාත්මක චිත‍්‍රයක් ඉදිරිපත් ද කරයි.

ජී.එල්. පිරිස් පාර්ශවය සහ මහින්ද සමරසිංහ පාර්ශවය අතර කැරෙන මෙම සටන දැන් ගල උඩ සටනක් තරමට වර්ධනය වී තිබේ. ඒ අනුව ඉන් එක් පාර්ශයක් ගලින් බිමට පෙරළීමට නියමිත නමුත් රාජපක්ෂ පාලනයේ ලක්ෂනය වන වරදාන සහ බියගැන්වීම් හමුවේ දෙපාර්ශවයම හීලෑ වීමටද ඉඩ ඇති බව අප මතක තබා ගත යුතුය.

අමාත්‍ය ජී.එල්. පාර්ශවය නියෝජනය කරමින් තානාපති ජයතිලක (පැරිස්) සහ කුනනායගම් (ජිනීවා), පා.ම. රාජිව විජේසිංහ දැනට සටන් බිමට බැස සිටිති. අමාත්‍ය මහින්ද සමරසිංහ පාර්ශවය වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ විවාදයට එක්ව සිටින්නේ ඔහුම පමණක් නමුත් අනෙක් පාර්ශවය විසින් ඔහුගේ පාර්ශවය වශයෙන් හිටපු තානාපතිවරියක වන ක්ෂෙනුකා සෙනවිරත්න, පා.ම. සජින් වාස් ගුණවර්ධන, සහ හිටපු නීතිපති මොහාන් පීරිස් නම් කර තිබේ.

විනෝදය වඩාත් වැඩි කිරීමට මෙන් මේ තරඟ භූමියට අදෘශ්‍යමාන චරිත ගණනාවක්ද කැදවනු ලැබ තිබේ. රාජිව විජේසිංහ ‘දයාන් විරුද්ධව ජනපතිට කේලාම් කියන මුහුණේ කුරුළෑ ඇති සුන්දර ධනවත් ඒ තරුණ ගැහැණිය කව්දැ’යි විමසන අතර ‘තමාට විරුද්ධ ලිපි ලියන මාර්තු 22 හා 23 දිනයන්හි මානව හිමිකම් කවුන්සිලයේ සිටියේ යැයි කියන විදේශීය වාමාංශිකයා කව්දැ’යි මහින්ද සමරසිංහ විමසයි. එසේ අසන්නේ නොදැන නොවේ. ලෙඬේට ය.

ඇමැතිවරුන්. නීතිපතීන් මෙන්ම ආචාර්‍ය මහාචාර්‍යවරුන්ගෙන් පිරී ඇති නමුත් මේ සටනෙහි ද කුප‍්‍රසිද්ධ කැළනිය බල පොරයේ ඇති ලක්ෂණය තිබේ. එනම් දෙපාර්ශවයම තමන් ජනාධිපතිගේ ආරක්ෂකයින් කියා සිටීමය. ජනාධිපතිට ටොක්කක් දෙකක් අනින්නේ රාජිව විජේසිංහ පමණ ය.

ජී.එල්. පීරිස් ඇතුළු කණ්ඩායමට එල්ල වූ චෝදනාව වුයේ ඔවුන් බටහිර රටවල් සමඟ අනවශ්‍ය තරමක ගැටුමක් ඇති කරන බවයි. මහින්ද පාර්ශවය වෙත චෝදනා කැරෙන්නේ ඔවුන් බටහිර සමඟ අනවශ්‍ය තරමට සන්ධාන ගතවෙමින් සිටින බවයි. දෙපාර්ශවයම මුදල් අක‍්‍රමිකතා චෝදනා ද එල්ල කර ගනී.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී රාජපක්ෂ ආණ්ඩුව පරාජය වීමට පෙරම වෙඩි මුරයක් පත්තු කල ජයතිලක කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ විදෙස් පිළිවෙත ජනාධිපති රාජපක්ෂ සහ ජී.එල්. පීරිස් අත පමණක් තිබිය යුතු බවය. ජයතිලක සෑම විටම කියන්නේ ජී.එල්. තරම් බුද්ධිමතෙක් ආණ්ඩුවට නැති බවයි. එසේ නමුත් මානව හිමිකම් කවුන්සිලය පිහිටි ජිනීවා සහ යුරෝපීය කොමිසම පිහිටි බ‍්‍රසල්ස් හි රාජ්‍ය තාන්ත‍්‍රික කවයන්හි ජී.එල්.පීරිස් සැළකෙන්නේ නම්‍යශිලී අයකු ලෙස නොව මාන්නක්කාරයකු ලෙස ය. වෙනත් ලිපියක් මගින් ජයතිලක කියා සිටියේ ශ‍්‍රි ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙහි ඉන්නේ බොරුකාරයින් බවයි.

ජිනීවා ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ අභ්‍යන්තර තොරතුරු මත පළ කරන ලද ලිපියකින් විදේශ අමාත්‍යාංශයේ ක්ෂෙනුකා සෙනවිරත්න ජිනීවාහි දී එල්ටීටීඊය සමඟ ඇයි හොදයිකම් පවත්වා ඇතැයි ද ඇයගේ කාලයේ සිදු වූ මුල්‍ය වංචා දූෂන සම්බන්ධයෙන් විගණක වාර්තා පවා ඇතැයි ද සඳහන් කරන ලදී. එම චෝදනාවන්ට ක්ෂෙනුකා පිළිතුරු බැන්දේ නැත. තානාපති ජයතිලකට විදේශ අමාත්‍යාංශය එවා තිබුණේ ද මුල්‍යමය අක‍්‍රමිකතා පිළිබඳ චෝදනා පත‍්‍රයකි.

මේ අතර ජනප‍්‍රවාද ගත ගුයිඩෝ පවුලෝ බ‍්‍රනෙට්ටි යන ඉතාලි රහස් පරික්ෂකයාගේ නමින් ජිනීවාහි සිට ලියා ඬේලි මිරර් පුවත් පතේ පළකළ ලිපියකින් කුනනායගම් පමණක් දැන සිටි බව පෙනෙන අභ්‍යන්තර තොරතුරු මත පදනම්ව සමරසිංහ පාර්ශවයට දරුණූ ප‍්‍රහාරයක් එල්ල විය. (සමරසිංහ විමසන පැරිසියානු වාම ලේඛකයා ඔහු ය).

මෙම ලිපියෙන් කියා සිටින්නේ අමාත්‍ය සමරසිංහ ඇතුළු කණ්ඩායම ජිනීවාහිදී බටහිර ගැති පිළිවෙතක් ගෙන යමින් ඇමෙරිකානු බලපෑමට යට වෙමින් ශ‍්‍රී ලංකාව පාවා දීමට කටයුතු කළ බවයි. එහි එන චෝදනා කිහිපයක් මෙසේ ය:

‘‘ජයතිලකගෙන් පසු ජිනීවා තානාපතිනිය වූ ක්ෂෙනුකා බටහිර ඒජන්තවරියකි. ඇය ජිනීවාහි ඇමෙරිකානු තානාපතිනිය සමඟ සිය පුද්ගලික විද්යුත් තැපැල් ලිපිනයෙන් සහ දුර කථන මාර්ගයෙන් දිගටම සබඳතා පැවැත්වා තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේ පසුගිය සැසිවාරය අතරතුර කුනනායගම් ඇමෙරිකාවට එරෙහිව සටන ගෙන ගියේ ක්ෂෙනුකාගේ විරෝධය මැද ය. බටහිරට එරෙහිව නොබැදී ජාතින් සමඟ එක්ව සටන් කළ යුතු බව කියා සිටියේ තමාරා සහ ජි.එල්. පීරිස් පමණකි. ජී.එල්. පීරිස්ට සහ කුනනායගම්ට එල්ල කරන ප‍්‍රහාර ජනාධිපති රාජපක්ෂට එල්ල කරන ප‍්‍රහාරයකි. අමාත්‍ය සමරසිංහ, පා.ම. සජින් වාස් ගුණවර්ධන, මොහාන් පීරිස් කන්ඩායම බලය සඳහා කෑදරය සිය පුද්ගලික වාසි කතා වැඩකරයි. කුනනායගම් ප‍්‍රතිපත්ති ගරුකය, බුද්ධිමත්ය. පවරන වැඩ ඉටු කරයි. ඇයට හිමි ඉහළ මට්ටම, අන්තර් ජාතික නීතිය සහ එක්සත් ජාතීන් පිළිබඳ දැනුම යනාදිය අනෙක් අයට නැත.‘‘

ඔහුට අනුව මුලදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට සහාය දීමට පොරොන්දු වූ අතර එය රහසක් වශයෙන් තබා ගන්නා ලෙස ඉල්ලා තිබේ. ඔහු එසේ කියන්නේ එම සාකච්චාව පැවැති කාමරයෙන් එළියට එමින්ම සමරසිංහ මෝඩයකු සේ ඒ බව ශ‍්‍රි ලංකා පුවත්පත්වලට කීම මගින් ඉන්දියාව සිය මතය වෙනස් කළ බව කියමිනි. ආන්ඩුවේ ඔබ්සෝවර් පුවත්පතට සාකච්ජාවක් දෙමින් ඊට පිළිතුරු දුන් සමරසිංහ කියා සිටියේ එම විග‍්‍රහය ඉතා බොළද එකක් බවත් ඉන්දියාවේ මුල් ප‍්‍රකාශය නොබැදි රටවල් හමුවේ කළ විවෘත ප‍්‍රකාශයක් බවත් ය.

එළෙස අමාත්‍ය සමරසිංහ සටනට අවතිර්ණ වූයේ අනෙක් පාර්ශවය බොහෝ ළකුණු රුස්කර ගැනීමෙන් අනතුරුව පිළිණූ වූ රජයේ මාධ්‍ය හරහා ය. එහිලා ඔහු කියා සිටින්නේ පසු ගිය වසර 06 පුරාම වසරකට තෙවරක් බැගින් මානව හිමිකම් කවුන්සිලය හමුයේ ශ‍්‍රී ලංකාව ආරක්ෂා කළේ තමන් බවයි. ඉහත කී ව්‍යාජ ලේඛකයාගේ පරමාර්ථය තමා සහ ජනාධිපති බිඳවීම බවය. කුනනායගම් විසින් කළැයි එම ලේඛකයා සදහන් කරන ඇමෙරිකානු තානාපතිගේ ඊ මේලයකට පිළිතුරු බැන්දේ තමා බවද සමරසිංහ කියයි. සමරසිංහ 2009 ජිනීවා ජයග‍්‍රහණයන්ට දායකවුනැයි හිටපු අමාත්‍ය රෝහිත බොගොල්ලාගමද තරඟ බිමට ගෙන එයි. දයාන් ජයතිලක ජිනීවාවලින් පලවා හැරියේ බෝගොල්ලාගම විසිනි. ජනාධිපති කාර්යාලයේ අනුමැතියකින් තොරව රජයේ ඹබ්සෝවර් පුවත් පතෙහි පළ නොවිය හැකිව තිබූ සමරසිංහගේ මෙම ලිපිය විසින් පෙන්වන්නේ රාජපක්ෂ මුද්‍රාව ලැබී තිබෙන්නේ අමාත්‍ය සමරසිංහ පාර්ශවය වෙත බවය.

යකැදුරන් සහ ආතුරයින් සිය භූමිකා හුවමාරු කර ගන්නා මෙම ගැටුමේහි ජී.එල්. පාර්ශවයේ පාබල සොල්දාදුවන් වී සිටින්නේ කුනනායගම් (තොරතුරු මත ලියනප්පුලා) සහ රාජීව විජේසිංහය. ඔවුන්ගේ කිසිදු ලිපියක් රජයේ මාධ්‍යයන්හි පළවී නැත. ඉන් සමහරක් පළව ඇත්තේ රාජපක්ෂ විරෝධි වෙබ් අඩවි වලය. රාජපක්ෂ පාලනය තේරුම් ගැනීම පිණිස සමහර විට වඩාත් ම වැදගත් වන්නේ ලිපි බොහෝ ගණනාවක් ලියමින් එක එල්ලේම සටනට බැස සිටින පා.ම. ආචාර්‍ය රාජීව විජේසිංහ ඉදිරිපත් කරන කරුණූ විය හැකිය. ඔහු පහර දෙන්නේ පෙනෙන විදිහට මානව හිමිකම් ඇමැතිවරයාට ය. එනම් සමරසිංහට ය. ඒ මෙසේ ය.

‘‘මානව හිමිකම් ප‍්‍රශ්ණ විසදීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණ ක‍්‍රියාවට නැගීම දිගින් දිගටම පමා වෙයි. තවමත් ජනාධිපතිවරයා මෙම පමාවීම්හි හේතුව නොව වින්දිතයකු යැයි විශ්වාස කල හැකි ය. එනමුත් පමා වී හෝ දැන් අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් නොකෙරෙන්නේ නම් එයට ජනාධිපති වගකිව යුතු යැයි විශ්වාස කිරීමට සිදුවෙයි.

‘‘මානව හිමිකම් ගැන කතා කරන ඇමැතිවරයකු ද මර්වින් සිල්වා ආරක්ෂා කරමින් කතා කළේ ය. ( මහින්ද සමරසිංහ?) අමාත්‍යාංශ සහ ජනාධිපති ලේකම්වරු රූපවාහිනී සාකච්ජාවන්ට හෝ දේශපාලන වේදිකාවන්ට නැගීම අනවශ්‍යය. එවිට අත්‍යවශ්‍ය මානව හිමිකම් තීරණ ක‍්‍රියාවට නැංවීම තදබල ලෙස පමා වෙයි.

‘‘උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සමහ ජනාධිපතිවරයා විසින් මාස ගණනාවකට පෙර පවරන ලද පරිදි එම නිර්දේශ ක‍්‍රියාත්මක කැරෙන මාර්ග සිතියමක් සකස් කිරීමට දෙන ලද වගකීම ජනාධිපති ලේකම් (වක‍්‍රව ජනාධිපති ) ඉටු නොකළේ ය. එකී කාර්්‍ය බාරයන් සඳහා පත් කරන ලද සමහර ලේකම්වරු ජනාධිපති අතහැර ආණ්ඩුවේ වෙනත් බල කේන්ද්‍රයන්ට ඕනැ විදියට නටති. මානව හිමිකම් ක‍්‍රියාකාරී සැළැස්ම ක‍්‍රියාවට නැගීම පිළිබඳ අවශ්‍ය නිර්දේශ තවමත් අමාත්‍යංශයනට යවා නැත. ජනාධිපතිවරයා ඔහුට සිටින හොඳම තානාපතිවරුන් සහ ශ‍්‍රීලනිපයේ ජේෂ්ඨ සාමාජිකයින් අතහැර වැඩ කළ හොත් ශ‍්‍රී ලංකාවේ රාජපක්ෂ රිජීමය පෙරළා දැමීමට අල්ලන කුරුමානම්වලට වාසියක් ලැබෙනු ඇත. ’’

මේ අතර පුවත්පත් නිවේදනයක් නිකුත් කරන විදේශ අමාත්‍යංශය කියන්නේ රාජීව විජේසිංහ සිය අමත්‍යාංශය ගැන කරන විවේචන ‘‘ අපහාස සහ අවලාද බවත් ජනමාධ්‍යයෙහි ලා රජයේ සේවකයින්ට බොරු චොදනා නැගීම වරදක් බවයි’’

සටන් තවම පටන් ගත්තා විතරය.

සුනන්ද දේශප‍්‍රිය[Sunanda Deshapriya]