ලංකාවට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් මහත්මිය උපුටා දක්වමින් ලක්බිම(24) පුවත්පත සිය ප්‍ර‍ධාන පුවතින් වාර්තා කරන්නේ ‘‘ශ්‍රී ලංකාව තුළ කොතරම් එකමුතුවක් තිබෙනවාද කියලා මේ සංචාරයේදී දුටුවා. එසේම යාපනය ප්‍රදේශයට සෞභාග්‍ය පැමිණ ඇති බවත් පෙන්නුම් කරනවා. අපි මේ මොහොතේ එක්වෙලා සිටින්නේ අනාගතය ගොඩනගන්න. අපි වසර 25ක් ආපස්සට ගියොත් අපිට පේන්නේ මේ දරුවන් හා ජනතාව විඳපු දුකයි. ඒ වසර කිහිපය ඉතාම අභියෝගයක්. හානි වුණේ ගොඩනැගිලිවලට පමණක් නොවෙයි. අද මේ ජනතාව ගොඩක් සතුටින් සිටිනවා…‘‘

පසුගිය කාලය පුරාම දෙමළ ජනයාගේ ගැටලු දෙස වෛරී තත්ත්වයකට සමාන මනෝභාවයකින් හැසිරුණු දකුණේ මාධ්‍ය මෙසේ වෙනත් ආකාරයකට වාර්තා කිරීමට පෙළබීම එක් පැත්තකින් අයහපත් නොවන පෙළඹවීමක්.

නමුත් පුවත්පත වාර්තා කරන දෙයත්, සමන්තා පවර් නියෝජිතවරිය පවසන දෙයත් සත්‍යක්ද? නැතිනම් සත්‍යට බොහෝදුර දෙයක්ද?

ඒ පිළිබද ව බීබීසී ය වාර්තා කරන්නේ ‘‘යුද්ධය අවසන් වී වසර හයක් ගත වී ඇතත් උතුරේ දෙමළ වැසියන්ට යුද හමුදාවේ බලපෑම් මත දිවි ගෙවීමට සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකානු රජයේ අවධානය යොමු කරන මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේස්වරන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිතවරිය සමන්තා පවර්ගෙන් ඉල්ලා සිටියි.‘‘ යනුවෙනි.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ මෙසේ ය. ‘‘හමුදා ආරක්ෂාව තවදුරටත් අවශ්‍ය නොවන ප්‍රදේශවල යොදවා සිටින භට පිරිස් ඉවත් කිරීමට’‘ මැදිහත් වන්නැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ඇමරිකානු නිත්‍ය නියෝජිතවරිය උතුරේ සංචාරයක නිරත වූ අවස්ථාවේදීයි.

යුද හමුදාව තවදුරටත් උතුරේ වැසියන්ට අයත් ඉඩම් හා නිවාස පරිහරණය කිරීම හේතුවෙන් එහි වැසියන්ගේ එදිනෙදා ජීවන කටයුතු වලට විශාල බාධාවක් වී ඇති බව තමන් ඇමරිකානු නියෝජිතවරියට පැවසුවේ යැයි ප්‍රධාන අමාත්‍යවරයා යාපනයේදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

යුද්ධයෙන් වසර 6ක් ඉක්ම ගිය විටත් උතුරේ සංචාරය කරන ඕනෑම අයෙකුට දැකගත හැකි වන්නේ තැනින් තැන ඉදිවූ මහා පරිමාණ හමුදා කදවුරුය. පසුගිය වසර කිහිපයට සාපේක්ෂව නිරන්තරයෙන් සන්නද්ධ හමුදාවෝ එළිපිටම සැරිසරනු දැකගත නොහැකි වුවත් සිවිල් ක්‍රියාකාරකම් වලදී වෙනදාට ත් වඩා හමුදා බුද්ධි අංශ යැයි හදුන්වන පුද්ගලයින් විපරම් කරමින්, විටෙක බාධාවන් පවා සිදු කරන බව සිවිල් ක්‍රියාකාරීන් පවසයි.

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය සංවිධානය කළ ලෝක ධීවර දිනය(පසුගිය 21 වෙනිදා) පැවැත්වුනේ යාපනයේ, නිරාවියඩි, ඉලංකෙයි චේන්තන් කලා පාසලේදී දී ය. සිය ගණනක් ජනතාව එක් වී සිය ධීවර, ඉඩම් ඇතුලු ප්‍ර‍ශ්ණ ගණනාවක්ම සාකච්ඡා කරමින් සිටියේ ය. එයට සහභාගී වී සිටි ප්‍ර‍ධාන අමුත්තන් අතර යාපනය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍ර‍ධානියා ද, යාපනයේ දේශපානඥයන් ද වුහ. එහි දී දැකගත හැකි වූයේ එහි වාඩිලා සිටි ජනතාව අතර සිවිල් ඇදුමින් සැරසී එහි පිංතූර ගන්නා බුද්ධි අංශ යැයි කියා ගන්නා පිරිස් ය. ඒ පිරිස 20කට ආසන්න බව ලියුම්කරු විසින් හදුනා ගන්නා ලද්දේ නිරන්තරයෙන්ම යාපනයේ සිවිල් ක්‍රියාකාරකමක් සිදු වූ සැනින් එවන් ස්ථානයන්ට ඔවුන්ගේ සහභාගීත්වය නොඅඩුව ලැබෙන බැවිනි. එම ඊනියා ඔත්තු සේවයට රාජපක්ෂ පාලනය නම් තබන ලද්දේ ‘රාජ්‍ය ආරක්ෂාව‘ කියාය. යහපාලනයත් ඒ මගම යමින් මහජන පීඩාකාරී එම ආරක්ෂක යැයි කියන ක්‍රියාදාමයන් එළෙසම දියත් කරනු ලබන්නේ කිසිවක් නොදන්නා බබාලා ලෙසය. ඒ සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ජනතාව විසින්ම ප්‍ර‍සිද්ධ රැස්වීමකදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට කරුණු ඉදිරිපත් කරන ලදි. ‘අපිටත් ආරක්ෂාව පිළිබද ප්‍ර‍ශ්ණ තියනවා‘ යැයි සමරවීර අමාත්‍යවරයා ‘ආදා පන්නයේ‘ අපූරු පිළිතුරක් දෙමින් ලිස්සා ගියේ සහජීවනය පිළිබද ක්‍රියාකාරී සැලැස්මක් සෑදීම සදහා කැදවනු ලබූ රැස්වීමක දී වීම විශේෂය.

රැවුල වවන එකත් සැකයි

අහසේ සිට බැලූකල පෙනෙන්නට තිබෙනවා යැයි හැගෙන සතුට(?) හෝ එවැනි දැක්මක් දශක ගණනාවක් පුරා උතුරේ දෙමළ මිනිසා පිළිබද සෑම වේලාවකම සැකයෙන් බලන්නට නියෝග කළ රාජ්‍ය ආරක්ෂකයෝ යුද්ධයෙන් වසර 6ක් ඉක්ම ගියත් එම නරුම පුරුද්ද තවමත් අත්හැර නොමැත. එය පෙර කී පරිදි අහසින් බැලූ කල සතුට යන කුලකයට නොපෙනන එහෙත් මහ දවල් පෙනෙන යථාර්ථයකි. එයට ම අදාල ඛේදජනක තත්ත්වයක් පසුගිය 21වනදා වාර්තා විය.

උතුරු පලාත් සභාවේ විපක්ෂනායක සී. තවරාජා මහතාගේ පුතා සහ ඔහුගේ මිතුරෙක් මානිප්පායී පොලිසීය විසින් අත් අඩංගුවට ගත්තේ ය. ඒ මහ දවල් මහ පාරේ සිය පෞද්ගලික කටයුත්තට යමින් සිටිය දීය.

ඒ පිළිබදව ග්ලෝබල් ටැමිල් පුවත් සේවය සමග අදහස් දක්වන විපක්ෂනායක සී. තවරාජා මහතා,

‘‘පසුගිය දා දහවල් 12ට පමණ මගේ පුතා ඇතුළු තරුණයන් දෙදෙනෙකු මානිප්පායි ප්‍රදේශයට සිය පුද්ගලික කටයුත්තක් සඳහා ගිහිල්ලා තියනවා. නවාලි මුරුග මූර්ති කෝවිල අසලදී එම දෙදෙනාව මානිප්පායි පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

එහිදී මගේ පුතාගේ මිතුරා කුමන හේතුවක් මත තමන්ව අත්තඩංගුවට ගත්තේ දැයි විමසූ විට පොලිස් නිළධාරින් හය දෙනෙකු එක්වී ඔහුට දරුණු ලෙස පහරදී තිබෙනවා ප්ලාස්ටික් පයිප්පවල වැලි පුරවා එයිනුත් පහරදී තිබෙනවා. පස්වරු පහට පමණ මම පොලිස් ස්ථානයට ගිය විට ඔහුගේ හිස ඉදිමී තිබුණා. ඔවුන්ව අත්තඩංගුවට ගත්තේ ඇයි දැයි එහි සිටි නිළධාරීන්ගේ විමසූ විට, සැකපිට අත්තඩංගුවට ගත් බව පවසා සිටියා..

යාපනයේ තරුණයන් පාරේ ගමන් කළත් පොලීසිය විසින් සැකපිට අත්තඩංගුවට ගන්නවාද? හදිසි නීතිය තිබෙනවාද? මෙලෙස අත්තඩංගුවට ගත්තේ කුමන පදනමක් යටතේ දැයි විමසා සිටියෙමි. එයට ඔවුන් රැවුල වවා ඇති හෙයින් අපට ඔවුන් ගැන සැකයක් ඇතිවූ බව පවසා සිටියා.

ඔවුන් කන්ද සෂ්ටි උපවාසයේ සිටි අය, එම උපවාස කාලයතුල හිස කෙස් හෝ රැවුල ඉවත් නොකරන බව පැහැදිළි කළෙමි. දහවල් 12ට පාරේ ගමන් කළ වරදට තරුණයන් දෙදෙනෙකුව පොලිසි අත්තඩංගුවට ගෙන පහරදී තිබෙනවා. තවද ඔවුන්ට එරෙහිව කිසිඳු චෝදනාවක් ගොනු කර නෑ.

පැය අටක් පමණ ඔවුන්ව රඳවා තබාගෙන සිටි පොලිසිය මෙතෙක් කිසිම පැමිණිල්ලක් ගොනු කර නෑ. සැකපිට අත්අඩංගුවට ගෙන පහරදීම ගැන පොලිසියේ ඉහළ නිළධාරීන්ට දැනුම් දුන්නෙමි. ඔවුන් සිද්ධිය සම්බන්‍ධයෙන් පැමිණිල්ලක් ලබා දෙන්නයි ඉල්ලා තිබේ. පැමිණිල්ල ලබාදීමෙන් පසු එයට නිය ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් සිද්ධිය ගැන ඉහළ මට්ටමේ සියළු පාර්ශවය වෙතට ගෙන යන්නෙමි.‘‘

මේ තවත් උදාහරණයක් පමණි. මේ සදහන් වන්නේ එදිනෙදා වාර්තාවන සිදුවීම් පමණි. නමුත් ආරක්ෂක අංශයට බිය වී කිසිදු කෙනෙකුට නොපවසන සහ වාර්තා නොව සිදුවීම් යාපනය අර්ධද්වීපයේ සිදු වේ. ඒවා ගෙන් බොහෝමයක් කිසිදු අන්දමකින් දකුණේ ජනමාධ්‍ය තුළ හෝ සිවිල් සමාජ කථිකාව තුළ සාකච්ඡා නොවේ.

එවන් තත්ත්වයක් ‘සතුට‘ නැමති කෝව තුළට වැටෙන්නේ කෙසේද?

වසර ගණනාවක් පුරා ෙදමළ ජනයා විසින් සාකච්ඡා කරන ලද ෙද්ශපාලන අභිලාශයන් ෙකෙස් ෙවතත්, සහ ඒ්වා දැන් දකුෙණ් ෙද්ශපාලන න්‍යායපත්‍රයට පමණක් ලඝුෙවමින් තිෙබන ෙමාෙහාතත, යුද්ධය අවසන් අදියරේදී හමුදාවට බාර වු කතෝලික පියතුමන් ලා ඇතුලු සිවිල් ජනතාව පිළිබද ව මෙතෙක් කිසිදු අන්දමක සාකච්ඡාවක් නැත. අතුරුදහන් කරන ලද පිරිස් පිළිබදව තත්ත්වය ද එසේමය. හමුදාව සතුව තිබූ උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම් ප්‍ර‍මාණයක් නිදහස් කළ ද තවමත් නිදහස් කිරීමට විශාල ඉඩම් ප්‍ර‍මාණයක් තිබේ. එහි තත්ත්වය ද නැවතුනු තැනය. යාපනය අර්ධද්වීපයේ ඇති සරණගාත කදවුරු වල තත්ත්වය ද එසේමය. ඔවුන්ගේ ඉඩම් වලට යාමට තවමත් අවසර නැත. තහඩු වලින් වටකරන ලද තාවකාලික නිවාස වල ඔවුන් රැදී සිටින්නේ තවමත් අසරණයන් ලෙසය.

මෙවැනි තත්ත්වන් බොහෝ ඇත. එවැනි තත්ත්වයක් තුළ ද කුඩා ළමුන් තැන තැන සෙල්ලම් කරයි. ඔවුන්ගේ ළමා කාලය ගෙවා දමයි. නමුත් එවන් දසුනකින් උතුර සතුටින් යැයි කීම ට පෙර අන්තර්ජාතික ප්‍ර‍ජාවත්, දකුණේ පත්තර මහත්තුරුත් කාපට් පාරෙන් ඔබ්බට ගොස් අවම තරමින් කන්කසන්තුරෙයි පාරේ කිලෝමීටර 8ක් ගිය තැන හමුවන වසර ගණනාවක් පැරණි ෙකා්නාට්පුලම් සරණාගත කදවුර වෙත යන මෙන් යෝජනා කරමි.

ඉන්පසු අපි කතා කරමු ‘සතුට‘ ගැන…