ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය සහ ජීවිතය’ ඡායාරූප ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ අනුරාධපුර දී ය. විකල්ප විසින් කොළඹ පවත්වන ලද #UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනයෙන් පසු පවත්වන සිව්වන ප්‍රාදේශීය ප්‍රදර්ශනය මෙය වේ.

විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු ලබන මෙම සුවිශේෂි ඡායාරූප ප්‍රදර්ශනය එළඹෙන සැප්තැම්බර් මස 3 සහ 4 යන දෙදින පුරා උදෑසන 9 සිට සවස 6 දක්වා අනුරාධපුර, ප්‍රජා ශාලාව, අංක 2(සති පොළ ඉදිරිපිට) ශාලාවේදී පැවැත්වේ. ‘විකල්ප’ වෙබ් අඩවියේ පාඨකයන්ට මෙන්ම පොදු ජනයාටත් නොමිලේ විවෘතව පවතින මෙවර ප්‍රදර්ශනය වඩා වෙනස් මුහුණුවරකින් පැවැත්වීමට නියමිත අතර ඒ සම්බන්ධ සියලු තොරතුරු විකල්ප ෆේස් බුක්, ටුවිටර්, ඉන්ටග්‍රෑම් පිටු හරහා ද පහත ලිනික් එක මත ක්ලික් කිරීමෙන් ද ඔබට ලබා ගත හැකිය. (Click for more information)

ඉහත සඳහන් කළා සේම ‘විකල්ප’ වෙබ් අඩවියේ පාඨකයන්ට මෙන්ම පොදු ජනයාටත් විවෘතව තැබෙන මෙම ප්‍රදර්ශනයේදී ඔබට 2009 සිට 2017 දක්වා ශ්‍රී ලංකාව තුළ සිදු වූ හා සිදු කළ අතුරුදන්වීම්, ඉඩම් අත්පත්කර ගැනීම්, අභ්‍යන්තර අවතැන් වූවන්, මාධ්‍ය මර්දනය, ජාතීන්ට එරෙහි හිංසනය ඇතුලු කොට වූ පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් ඡායාරූප ඔස්සේ දැකගැනීමට හැකිවේ.

විශේෂයෙන් ඉහත සදහන් කළ 2009 න් පසුව බොහෝ පාර්ශවයන් මගහැරීමට උත්සාහ කරන, එහෙත් ලංකාවේ සමාජය තුළ යුද්ධය, ඉඩම් අහිමිවීම් වැනි ස්වාභාවික නොවන තත්ත්වයන්ගේ ගොදුරු බවට පත්වූ මිනිසුන් සහ ගැහැනුන් තවමත් ඉල්ලා සිටින ‘යුක්තිය’ පිළිබද ප්‍රශ්නය ප්‍රදර්ශනයේදී ඉහළම තලයකට ඔසවා තැබීමට උත්සහ කරනු ලබයි.

2018 සැප්තැම්බර් 3 සහ 4, උදෑසන 9 සිට සවස 6 දක්වා අනුරාධපුර, ප්‍රජා ශාලාව, අංක 2(සති පොළ ඉදිරිපිට) වේදී පැවැත්වෙන #UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනය නැරඹීම සදහා ‘විකල්ප’ වෙබ් අඩවිය සහ ‘මනුසත් පදනම’ සංවිධානය වෙනුවෙන් අපි ඔබ සැමට මෙසේ ආරාධනා කරමු.

වැඩි විස්තර සදහා UNFRAMED වෙබ් අඩවියට පිවිසෙන්න.

සංවිධානය ශක්තිය –  ‘මනුසත් පදනම’ අනුරාධපුරය