iMAGE: Maithreepala sirisena FB page 

මැයි මස 23 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර නම් භික්ෂුව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කෙරුණි. ජනපතිවරයා විසින් ඥානසාර නම්  භික්ෂුව නිදහස කිරීමට අදාළ ලිපි ලේඛන වලට අත්සන් කොට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි  ආරංචි මාර්ග ලැබී ඇතැයි ඊට පෙර දින සවස මාධ්‍ය විසින් අනාවරණය කරන ලදී.

මේ අනුව මේ  පුවත රට පුරා සැබෑ වේගයකින් ඇවිලී ගියේ ඊට ප්‍රථම වෙසක් පොහොය නිමිත්තෙන් වැලිකඩ බන්ධනාගාරයට ගිය ජනපතිවරයා, එහි සිටින අතරතුර  නම්  භික්ෂුව හමුවී විනාඩි 45 කට ආසන්න කාලයක් සාකච්ජා කළ  බවට මාධ්‍යය ඔස්සේ වාර්තා වී තිබුණු නිසාය.

එසේම බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර නම්  භික්ෂුව සහ බුද්ධි අංශයේ නිලධාරීන්  වෙසක් පොහොය දිනයේදී නිදහස් කරන ලෙස බලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති බලපිටියේ ධම්මික හිමි රාජ්‍ය වෙසක් උත්සවයෙදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද මාධ්‍ය වාර්තා කොට තිබුණි.

කෙසේවෙතත් මැයි 23 වන දින වැලිකඩ බන්ධානගාරයේ පිවිසුම් දොරටුව ඉදිරිපිට උදෑසන සිට  මාධ්‍ය රැකවල් ලා  සිටියදී ඥානසාර නම්  භික්ෂුව එදින  සවස් වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ වෙනත් දොරටුවකින් නිදහස ලබා  පිටව ගොස් ඇති බව වාර්තා විය.  ඉන් අනතුරුව මහා නායක හිමිවරුන්ද, මැති ඇමතිවරුන්ගේ භෝජන සංග්‍රහද, ජනපති නිල නිවසේ දොරගුළුද අදාළ භික්ෂුවට ඇරි තිබුණු අයුරු වාර්තා විය. ජනපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේම ජනපතිවරයා අදාළ භික්ෂුව හමු වූ බව පවසමින් විඩියෝවක් සහ ජායාරූප ඇල්බමයක් ද පළ කොට තිබුණි.

එසේ නිදහස් කොට තිබුණේ අදාළ භික්ෂුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන නඩුකර යටතේ වැරදිකරුවෙකු ලෙස  දඬුවම් විදිමින් සිටින අතරතුරය. සුවිශේෂී නඩු තීන්දුවක් ලබාදීමෙන් පසුව,  2018 වසරේ අගෝස්තු මස දී ඒ අනුව  ගලබොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාර ගත කෙරුණි. ( 2018 අගෝස්තු මස අභියාචනාධිකරණය විසින් ලබාදුන් සම්පුර්ණ නඩු තීන්දුව කියවන්න Galagodaaththe Gnanasara v. Hon. Attorney General ) කෙසේවෙතත් නිදහස් කරන මොහොත වන විට ඔහු මාස 9 කට ආසන්න සිර දුඩුවම් කාලයක් ගෙවා අවසන්ව තිබුණි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනාව යටතේ ඔහුට නඩු පැවරීම සිදුවුවද විශේෂයෙන්ම අලුත්ගම, දිගන ආදී ප්‍රදේශ  වල සිදු වූ ජාතිවාදී කල කෝලාහල වලට සෘජුව සම්බන්ධ කම් ඇතත් ඒ කෙරේ හෝ වෛරී සහගත සහ ප්‍රකෝප කාරී හැසිරීම් සම්බන්ධයෙන් ඔහු තවමත් රාජ්‍යයේ අනුග්‍රහය ලබමින්ම සිටියි. ජාතින් අතර අන්තවාදී අදහස් වගා කරමින් වෛරය පැතිර වීම සම්බන්ධයෙන් සෘජුවම සාක්ෂි  ඇති ඥානසාර භික්ෂුවට ජනාධිපති සමාව ලැබෙන අතර දැන් පොලිසිය විසින් බුදු දහමට අපහාස වනවා යැයි  කෙටි කතා කතා කරුවෙකු  , ධර්මචක්‍රයක රුවකට සමාන සංකේතයක් ඇද සිටි ගවුමේ චිත්‍රණය වූ මුස්ලිම් කාන්තාවකද   සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය (ICCPR)  යටතේ  අත්අඩංගුවට ගෙන සිටින සිද්ධීන්ට මේ ජනපතිවරයාගේ ඇස් ඇරුණේ නැත.

කෙසේවෙතත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉතා සුවිශේෂී නඩු තීන්දුවක් ලබාදීමෙන් පසුව හා එය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව යහපාලනය සඵත කොට පැමිණි ජනපති සිරිසේන විසින් තම විධායක බලතල භාවිතා කරමින් ඥානසාර  නම් භික්ෂුව නිදහස් කිරීම සම්බන්ධයෙන් නීති විශාරදයින් මෙන්ම සමාජයේ විවිධ තල වල වල බොහෝ දෙනා මත පළ කොට තිබුණි.

විශේෂයන් මීට පෙර මේ සම්බන්ධව විමසන ලදුව මෙම නඩුවේ වින්දිත පාර්ශවය නියෝජනය කරන අතුරුදහන් කරන ලද ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විකල්ප සමඟ ප්‍රකාශ කොට තිබුණේ

‘මම නැවත නැවතත් ඉල්ලා සිටින්නේ යම් හෙයකින් ජනාධිපතිතුමා, ගලගොඩඅත්තේ ඥාණසාරට හිමිට සමාව ලබා දුනහොත් ඒකෙන් මේ රටේ අධිකරණයට කරන අපහාසයක් වෙනවා සේම මගේ ජීවිතයට සේම, ඉදිරියේදී තිබෙන අනිත් නඩුවලටත් ඒක බලපානවා’ යනුවෙනි

 

 

මා දුටු බරපතලම අධිකරණ අපහාසය කළේ  ඥානසාර හිමි. ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධ නඩු විභාගය හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති දින බලහත්කාරයෙන් පැමිණ , බලහත්කාරයෙන් ප‍්‍රකාශයක් කර විත්තිකාර ඥානසාර හිමිනම පිටව ගියා.අධිකරණ ශාලාවට උන්වහන්සේට එන්න හෝ යන්න මා කීවේ නැහැ. එදින තිබූ කිසිදු නඩුවකට සම්බන්ධ නොවන පුද්ගලයකුට අධිකරණයේ පෙනී සිටීමට ඉල්ලා සිටියත් මා අවසර දෙන්නේ නැහැ. කිසිවකු ඔහුට ආරාධනා කළෙත් නැත්නම් ,ඔහු නඩුවක පාර්ශවකරුවෙකුත් නොවේ නම් කිසිදු පුද්ගලයෙකුට සිය මතය අධිකරණයට ඉදිරිපත් කරන්න බැහැ. එය නිසැකවම අධිකරණයට අපාහාස කිරීමක්

යනුවෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඥානසාර හිමි බලහත්කාරයෙන් පැමිණ ප්‍රකාශයක් කර පිටවීම මහේස්ත‍්‍රාත්වරයෙකු ලෙස තම සේවා කාලයේ තමා දුටු අධිකරණයට අපහාස කිරීමේ බරපතලම සිද්ධිය යැයි හෝමාගම හිටපු මහේස්ත‍්‍රාත් සහ වත්මන් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා  ඥානසාර නම් භික්ෂුවට ඉදිරිපත් කර ඇති චෝදනා පත‍්‍රය විභාගයේ දෙවැනි දින වන පසුගිය  මැයි 19 වන දින විත්තියේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු සාක්කි දෙමින්  අභියාචනාධිකරණය හමුවේ  පවසා තිබුණි. 

එසේම මේ සම්බන්ධව අදහස් පළකරමින් නිතී ප්‍රමාණිකයෙකු වන ජේ.සි වැලිඅමුණ මහතා තම ටුවිටර් ගිණුමේ සටහන් කොට තිබුණේ

ඥානසාර හිමිට සමාව දීම ස්වාධින අධිකරණයට දුන් අතුල් පහරකි. ඔහු වැරදිකරු වුයේ අධිකරණයට බාධා කිරීම සහ අධිකරණ අපහාසය වෙනුවෙනි. එවැනි වරදකරුවෙකුට කිසිදු ශිෂ්ට සමාජයක් ලෙහෙසියෙන් සමාව දෙන්නේ නැත. 19 වන සංශෝධනය යටතේ සමාව දීමට ජනපතිට ඇති බලය අධිකරණමය විමසීමකට යටත්ය යනුවෙනි.

 අධිනීතිඥ ලාල් විජේනායක ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයකින් දක්වා ඇත්තේ

19 වසරක සිර දඬුවමකට යටත් කර වසර 06 කින් ගෙවී යන පරිදි අභියාචනාධිකරණය නියම කල එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඥානසාර භික්ෂුව පැමිණිලි කල නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ද එම තීන්දුව අනුමත කරන ලදී.ජනාධිපතිවරයා මෙසේ නිදහස් කරන්නේ උසාවියට අපහාස කිරීමේ වරදට දඬුවමකට යත්ව සිටින පුද්ගලයෙකි. තම දේශපාලන අරමුණු සපුරා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා කල මෙම නිදහස් කිරීම තුල ඔහුද අධිකරණයට අපහාසය කර ඇත.

ජනාධිපතිවරයා අත්තනෝමතික ලෙස ඥානසාර භික්ෂුව මෙසේ නිදහස් පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීමට බව පැහැදිලිය.ජාතින් අතර වෛරය ඇතිවන ආකාරයෙන් කතා කිරීම පමණක් නොව ක්‍රියා කල එම භික්ෂුව නිදහස් කරන්නේ ජාතින් අතර පසුගියදා ඇවිලෙන්නට ගිය කෝලාහලයේ උණුසුම මැකෙන්නත් පෙරය.අන්තවාදී සිංහල බෞද්ධයන්ගේ මනදොල සැපිරීම සදහා ජනාධිපතිවරයා කරන ලද මෙම නොමනා ක්‍රියාව ජනතාව ඉදිරියේ හැල්ලුවට ලක් වෙනවා පමණක් නොව ජාතිවාදයට උඩගෙඩි දීමක්ද වේ යනුවෙනි .

මේ සම්බන්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් උපුටමින් ඩේලිමිරර් පුවත්පත වාර්තා කොට තිබුණේ  අධිකරණයට අපහාස කිරීම් සම්බන්ධව බන්ධනාගාර ගතව සිටි ඥානසාර හිමි නිදහස් කිරීම වෙනුවෙන් ජනපති සමාව ලබා දීම ජනපතිවරයා විසින් නොකළ යුතුව තිබු විධායක බල පාවිච්චි කිරීමක් බව ඔවුන් දක්වන බවයි .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (1) වගන්තිය අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය කටයුතු කරන බව සැලකිල්ලට ගැනීම වැදගත් ය. අධිකරණයේ ස්වාධීනත්වය හා අධිකාරය නොතකා අධිකරණයේ ස්වාධීනත්වය හා අධිකාරයට එරෙහි ප්‍රහාරයන්ගෙන් හා අනාරක්ෂිත මැදිහත්වීම් වලින් අධිකරණය ආරක්ෂා කිරීම සඳහා මෙම නීති පවතින බව එහි දක්වා තිබේ.   

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ . සුමන්තිරන් මහතා නිවේදනයක් නිකුත් කොට දක්වා තිබුණේ

තම පක්ෂය විසින් ජනපතිවරයාගේ මෙම ක්‍රියාවලිය දැඩි ලෙස හෙළා දකින බවත්, මෙකි භයානක රැල්ලට එරෙහිව  නැවත ක්‍රියාත්මක වන්නට හා ඒ වෙනුවෙන් විරෝධය පළ කරන්නට  නිවැරදි මත දරන පුරවැසියන්ට තමන් විසින් ආයාචනා කරන බවත්ය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව ලබාදෙමින් මැයි  23 දින බන්ධනාගාරයෙන් මුදා හැරීම පිළිබඳව තමන්  පිළිබඳව දැඩි කම්පාව හා කණස්සල්ල  ප්‍රකාශ කරන බවත්, මෙම සමාව දීම විසින්  ජනපතිවරයා සහ ආණ්ඩුව විසින් අනිවාර්යයෙන්ම  පිළිතුරු සැපයිය ගැටලු ගණනාවක් බැඳී ඇති බවයි. අනෙක් අතට මෙම සමාව ලබා දී ඇත්තේ  රට අතිශයින්ම නොසන්සුන්කාරී තත්වයක් තුළයි යනුවෙනි.

මේ සියලු ප්‍රකාශ  කියාපාන්නේ නීතිය  සත දෙකකට මායිම් නොකරමින් රටේ පාලකයා තව දුරටත් මේ රට තම සිතු මතේම පාලනය කරමින් සිටින බවකි. දින 52ක් රට අරාජික කොට, ඉන් පසුව රට මුහුණ දුන් දැවැන්ත  ත්‍රස්ත ප්‍රහාරය හමුවේ එහි වගකීමද අනෙකා වෙත පවරමින් සිටින යහපාලන ජනපතිවරයා දැන් කරමින් සිටින්නේ මේ රට අගාදයට ඇඳ දැමීමේ දේශපාලන කුමන්ත්‍රණය බවත්, එයටම මුක්කු ගැසී සිටින රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ගෝල මැති ඇමති රැල කරමින් සිටින්නේ අම්බරුවන්ගේ කාර්ය භාරය බවත් හොදොටෝම පැහැදිලිය . වැටත්, නියරත් ගොයම් කා  ඇති රටක් යුක්තිය දිනා ගැනීම වෙනුවෙන් වැට බඳින මේ පාලකයින්ට එරෙහිව යුක්තිය ප්‍රර්ථනා කරන  මිනිසුන් අකුරු හතරකට එහා ගිය සටනක් කළ යුතුව ඇත්තේ එහෙයිනි.

වැඩිදුර කියවීමට

ගලගොඩ අත්තේ ඥානසාර හිමි, සමථ මණ්ඩලය සහ මම 

තනි ගැහැනියක යුක්තියේ නාමය වෙනුවෙන් තනිව සටන් කරමින් අත්කර දුන් ජයග්‍රහණය 

 ඥාණසාරට හිමිට සමාව ලබා දුන්නොත් ඒක අධිකරණයට  කරන අපහාසයක් | සන්ධ්‍යා එක්නැලිගොඩ

ඥාණසාරට වසර 5කට අත්හිටවූ සිරදඩුවම් වැරදිකරුවන්ට දෙන අත්හිටවූ සිරදඬුවම්වලින් සමාජයේ යහපත් පරිසරයකට මග පාදන්නේ නෑ’ – සංධ්‍යා එක්ණැලිගොඩ