iMage: Gotabaya Rajapaksha/ Facebook

‘දිනුවොත් කරන දේ හරියටම ප්‍රකාශ කල ගෝඨාබය.’

පොදු ජන පෙරමුණේ ජානාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ අපූරු කතාවක් කීවේ ඔහුගේ මංගල රැලිය අමතමින් අනුරාධපුරයේදීය. එය නම්, තමන් ජනාධිපති වූ විගස එනම් නොවැම්බර් 17වනදා අත්අඩංගුවේ පසුවන සියලු ‘රණවිරුවන්’ නිදහස් කරන බවය. මේ කතාවෙන් පසු ගෝඨාබයට දසතින් විවේචන එල්ලවෙමින් ඇත.

ගෝඨාබය ගැන දන්නා ඕනෑම කෙනෙක් ඒ අදහස විවේචනය කරන්නේ නැත. මන්ද, ගෝඨාබය යනු එවැනි අයෙකි. ඔහු නිවැරදි ලෙසම තමන් ජනාධිපති වුවහොත් සිදුකරන දේ ටක්කෙටම කියා ඇත. ඔහුට අනුව අත්අඩංගුවේ පසුවන්නේ ‘රණවිරුවන්ය’. රණවිරු ලේබලය යටතේ අපරාද කිරීමේ වරදට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් නොවේ. ළමයි පැහැරගෙන යාම්, කප්පන් ගැනීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, මාධ්‍යවේදින් ට පහර දීම සහ අතුරුදහන් කිරවීම ආදී අපරාධ වලට සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කල ඒ හමුදා නිළධාරීන්, ගෝඨාබයට අනුව බබාලාය. එම නිසා ඒ බබාලා ඔහු ජනාධිපති වූ විගස නිදහස් කරනු ලබයි.

මේ ඒ ඇත්ත ගෝඨාය. ඇත්ත ගෝඨාගේ ඇත්ත භාවිතය එලිපිටම ප්‍රකාශ කිරීම පිලිබද අප ඔහුට ස්තූතිවන්ත විය යුතුය.

ඒ කතාව අසා සිටි රාජපක්ෂලාගේ අනුගාමික පිංවතුන් අත්පොළසන් දුන්නේය. ඒ ගෝඨාබයගේ ‘අධිකරණය මම’ යන කතාවටය. ඒ අනුගාමික පිංවතුන්ට අධිකරණයේ ස්වාධිනත්වය අවශ්‍ය නැත. ජනාධිවරයෙක්ට තමන්ට අවශ්‍ය පරිදි අධිකරණයෙන් සැකකරුවෙක් ලෙස බන්ධනාගාර ගත කර ඇති පුද්ගලයෙක් නිදහස් කිරීම හෝ නිදහස් කිරීමට සිතීම පවා, නීතියේ ආධිපත්‍යට එල්ල කරන පහරක් ලෙස රාජපක්ෂලාගේ අනුගාමිකයන්ට අවශ්‍ය නැත. ඒ මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සිදු කරනු ලබන හානිය ඔවුන්ට අවශ්‍ය වන්නේ නැත.(නමුත්, අධිකරණයෙන් වරදකරුවෙක් වූ අයෙක් ජනාධිපති සමාව ලබා දිය හකිය)

එබැවින් තව දුරටත් එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී කතා කියමින් සිය ‘අනුගාමික ගැලරිය‘ විනෝදයට පත්කිරීම රාජපක්ෂලාගේ උපන්ගෙයි ගතියකි. එපමණක් ද නොවේ. වියත්මග ඇතුලු වෘත්තිකයන් කියා ගන්නා පිරිසත්, ගොඨාබයගේ එම ප්‍රකාශය අසාගෙන සිටියා මිස කිසිවක් කීවේ නැත. ඒ ‘වෘත්තිය අනුගාමිකයන්ගේ‘ මනෝබාවයේ දුප්පත්කමය. ‘නීතියට පිටින්, නීතිය ගැන කිසිවක් නොදන්නා වීරවංශලා වැනි අය ඉදිරියේ පරීක්ෂන කරමින් අනීතිකව, ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඉවත් කළ රාජපක්ෂලාට මේ වගේ දේවල් කජ්ජක්ද?‘ මිතුරෙක් කීවේ පසුගිය දාය. එපමණකින් නොනැවතුනු රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරුන් අගවිනිසුරුවරියගේ නිළ නිවස ඉදිරිපිට රතිඤ්ඤා දමා, කිරිබත් කමින් සාජ්ජ දැමූවේය. ඒ රාජපක්ෂළාගේ නීතියේ ආධිපත්‍ය පිහිටුවීමේ තරමය. එම නිසා ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ කිවූ දේ නිවැරදිය. ඔවුන් ක්‍රියාවෙන් එවන් දෑ සිදු කරන, බව ඔප්පු කර ඇත.

එබැවින් රාජපක්ෂ අනුගාමිකයිනි. පුරවැසියෙක් ලෙස සිතන්න. තවමත් ඔබ ප්‍රමාද නැත.