Cartoon by Wasantha Siriwardena

කවර හෝ රටක වාර්තා වූ ප්‍රථම කොවිඩ් රෝගියාට කැමරාකරුවන් ගෙන්වා උම්මා දුන් ලෝකයේ එකම සෙෘඛ්‍ය ඇමැතිවරිය ඇයයි. කැමරාකරුවන් ඉදිරියෙහි මහරජානන් දෙපාමුල වැටී බුහුමන් දැක්වූ ඇමැතිවරියද ඇයයි. අනතුරුව මෙරටින් කෝවිඩ් තුරන්කළ බවට ජයගෝෂා කරමින් පිකප් රථයක නැගී ජයග්‍රාහී විලාසයෙන් අත්වනමින් සංචාරයක යෙදුනේද ඇයයි.

ඇය නම් සසිරිබර මෙසිරිලක සෞඛ්‍යය ඇමැතිනිය වන්නවා වූ පවිත්‍රාදේවී වන්නි ආරච්චි නම් වන්නේය.

රටක සෞඛ්‍ය ඇමැතිවරිය/වරයා ගොලීය වසංගතයක් අභිමුව විද්‍යාව වෙනුවට අවිද්‍යාව සහ මිත්‍යාව විශ්වාස කරන්නට පටන්ගත් විට කුමන තරමක කරුමයක් ඒ රට මත පතිත විය හැකිද යන්නට වත්මන් ශ්‍රී ලංකාව කදිම නිදසුනකි.

මෙම ඇමැතිවරිය කොවිඩ් වසංගතය සළකන ලද්දේ පාලනය කළ යුතු ව්‍යසනයක්ට වඩා දේශපාලන ප්‍රචාරය පිනිස යොදා ගත හැකි මෙවළමක් ලෙසය. උම්මා දීමේ සිට කාඩ්බෝඩ් විහාරමහා දේවියක වීම දක්වාම “මගේ මේ රංගනය වසංගතය පාලනය උදෙසා නොව හුදෙක් දේශපාලන ප්‍රචාරකයක් පමණක්ම වේ” යැයි ඇයට බිය නැතුව කිව හැකිය.

මේ වනාහී දේවියගේ පමණක් නොව මෙරට දේශපාලනයේම අරටු බැසගත් ව්‍යාධියකි. එසේ නමුත් මුහුදට බිලිවීමේ පූච්චානම මගින් ඇය පසුගිය කාලයේ පොල් ගෙඩියක් තලයට දාන හැටි දන්නේ ලදුන් පමණක් යැයි කී දැන් දෙමුඛයම වැසී ඇති ගුණවර්ධනයෝද පරාජය කළහ. බොරු කීමේ හිටවන කවි තරඟයක දෙපැත්තට කියාපු බඩු දෙක ගුණවර්ධනයෝ සහ දේවීන් වහන්සේ ය.

වසංගතය පාලනය කිරීමට වීදුරුවක තරම් වතුර දැමූ මුට්ටියක් සුලං පොදක් සේ උස්සා ගගට දැමූ ඇය ඊට පෙර එම මුට්ටි සෙල්ලම වීඩියෝ ගත කර රටට පෙන්වනු පිනිස ගැති මාධ්‍යකරුවෝ පේලි ගස්වා ගත්හ. නිකමට හිතන්න, කළගෙඩි පුජාව කෙමක් වැනි දෙයක් බැවින් එය කළ යුත්තේ රටට අඩබෙර ගසාද කියා?

අත්භූත බලවේගයන්හි සහාය ඉල්ලා කරන ලද යාඥාවක් වූ කළගෙඩි පූජාව, එය පූජාවක් නම්, කළ යුතුවූයේ සුදු ඇදුමින් සැරසී පේවීමෙන් පසුය. එසේ තිබියදීත් දේවියගේ සහායට ඩැනී ඇමැතියකු කළගෙඩි පූජාව සඳහා පැමිණයේ යටින් තවත් මොකක්දෝ ඇදුමක්සේ පෙනෙන බැගී කොට කලිසමකිනි.

සමහර ඇමැත්තෝ මුට්ටිය වසා තිබූ පොලිතීන් ගලවා ගංගාවන්ට දැමූ අතර දේවී නම් ලාවට එය කලුගගට පහත් කලේ පොලිතීන් වැස්ම සමඟය. සමහර විට රාජකීය වෙදදුරුවන එලියන්ත වියිට් විසින් “කුන්ඩලීකරණය” කරන ලද ජලය තවමත් දේවියගේ කොහේ හරි දෙබලක රැදුණූ මුට්ටියේම රැදී තියෙනවා වෙන්නටත් පුලුවන.

උම්මා දීමේ සිට මුට්ටි නැටුම දක්වා සියල්ල මහාජනයා මුලා කිරීමේ දුෂ්ඨ කපටිකම්ය. වසංගතයේ ප්‍රථම රැල්ළෙන් පසු දෙවන රැල්ළක් එනු ඇති බවට මෙරට වෛද්‍ය ප්‍රජාව කල අනතුරු හැඟවීම් මෙම කපටි දේශපාලනඥයින් තඹ සතයකට මායිම් කළේ නැත.

දේවිය ඇතුලු පිරිස රාජකීය වෙදෙදුරාගේ විස්කර්ම ජලය ගංගාවන්ට පුජා කිරීමේ නාටකය රඟ දැක්වූයේ නොවැම්බර් 01දාය. එදින නව අසාදිතයින් 397 දෙනෙකු හමුවී තිබුණි. ඉන් දින හතරක් ගිය බදාදා රැය වන විට අද දින හමුව ඇති අසාදිතයින් ගණන 443කි. එම කළගෙඩි නැටුම කළ 01දා සිට මේවන දිට දිනකට එක් අයකු බැගින් අසාදියන් හතර දෙනෙකු හමුවී තිබේ. බ්‍රහස්පතින්දා අසාදිතයින් පස්දෙනෙකෙුම මිය ගිය අතර ඉන් තිදෙනෙක් මිය ගියේ නිවෙහිහිදීය. අසාදිත බව සොයා ගැනීමටත් පෙරය.

වයිට්ගේ ජලය වැඩ කරන්නට පටන් ගන්නේ කවදාදැයි දන්නා කෙනෙක් ඉන්නවාද? දැනට නම් වැඩ කරන්නට පටන්ගෙන තිබෙන්නේ ආපස්සටය. වඩ වඩා ආයතනද ගම්බිම්ද වසා දැමීම ඉහළ ගොස් ඇත. ජල පූජාවෙන් පසු දේවී මුකුත්ම කීවේ ද නැත.

මිථ්‍යා විශ්වාස ඇදහිළි අනුව නම් කළගෙඩි පූජාව දැන් පත්ව ඇත්තේ සාපයක් බවටය. කොවිඩ් අසාදිතයින් මුට්ටි පූජාවෙන් පසු ගෙවල්වලම මිය යති.

සමහර විට දේවී මුහුදට බිලිවීමට තීරණය කරන්නට ඇත්තේ ජල පූජාව හරි නොගිය නිසා වන්නට ඇත. තමා වසංගතය වැළැක්වීමට මුහුදට බිලිවිමට වුව සූදානම් යැයි ඇය කළ ගාම්භීර ප්‍රකාශය තවම ක්‍රියාවට දමා නොතිබීම වෙනම කතාවකි.

මෙරට ඉතිහාසයේ රටෙහි සහ ජනයාගේ යහපත පිනිස මුහුදට බිලිවූයේ විහාරමහා දේවිය පමණක් යැයි කියනු ලැබේ. ඇය ගොඩ ආ බව කියන කිරින්ද වෙරළට නොගිය වැඩිහිටි පාසල් දරුවන් සිටිය හැක්කේ දුරබැහැර පමණය.

ජනප්‍රවාදයට අනුව ඇයට මුහුදට බිලිවීමට සිදුවූයේ සිය පියා වූ කැළණිතිස්ස රජු විසින්, නිදොස් භික්ෂූවක කැකෑරෙන තෙල් කටාරමක් තුල බහා ජීවිතක්ෂයට පත් කරවීමෙන් පසු දෙවියන් කෝපයට පත්ව මහමුහුද කළම්බා ගොඩබිම වෙත එවූ නිසාය. සිය පියා විසින් සිදුකල පාපකාරී ක්‍රියාවට සහ ජන්ම භූමියෙහි සුරක්ෂාව වෙනුවෙන් ඇගේ ජීවිතය පුද දීමට ඉදිරිපත් වූ බවද කියැවේ.

දැන් පවිත්‍රාදේවී මුහුදට බිලිවන්නට යන්නේ කුමන රජු විසින් කුමන භික්ෂුවක හෝ දේශපාලන කටාරමක දමා පුලුස්සන ලද නිසාද? මුට්ටි සෙල්ලම මෙන්ම මුහුදුට බිලිවීමද කවරකු හෝ විසින් කරන ද පාපයක් නිසා ඇතිවූ සාපයක් මඟහැරවීම පිනිස කරනු ලබන යාතු කර්මයකි. දේවිය තවමත් කල්පනා කරමින් සිටිනු ඇත්තේ මේ කුමන රජුගේ පාපයක්ද කියාය.

රයිගමයාට සෙට් වෙන්නේ ගම්පලයාය. පවිත්‍රා දේවියට සෙටී වී ඇත්තේ දැන් තරහකරුවන් විසින් හොරාචාර්ය යැයි කියන ඇමැති වන්න ජයසුමනය. රජරට ගොවි ජනයාගේ වකුගඩු රෝගයට නාථ දෙවියන්ගෙන් සිහිනයෙන් අසාගත් බව කී ව්‍යාජ ඔෘෂධ නිර්දේශ කලේ මේ මහාචාර්‍යවරයාය. නමුත් අන්තිමේදී වකුගඩු රෝගයට ප්‍රතිකර්ම කිරීමට ගොඩ නංවන ලද්දේ බටහිර වෛද්‍ය ක්‍රම අනුගමනය කරන රෝහලකි. මේ මහාචාරියාගේ කෙරුවාව එතරම්ම හොඳය.

උම්මා දේවියගේ ජල ක්‍රීඩාවට පෙරම මහාචරියා පැනි කතාවක් දැම්මේය. එනම් සුදර්ශණ පැනිය මගින් වසංගතය පැරදවීමටය. සුදර්ශණ පැනිය සියලුම කොවිඩ් අසාදිතයන්ට දිය යුතු බව ඔහු නියෝග කළේය. රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවද කොවිඩ් වසංගතයට ශ්‍රී ලංකාවේ දේශීය ඖෂධයක් ලෙස සුදර්ශණ පැනියට ගොජ වැඩුවේය.

බටහර හෝ දේශිය හෝ වේවා වෙදකම විද්‍යාවක් ලෙස හදාරා උපාධිලබා ඇති මෙරට වෛද්‍ය ප්‍රජාව සුදර්ශණ පැනිය, හුදෙක් පැනි හැලීමක් බවම තහවුරු කර කියා සිටියෝය. සුදර්ශණ චූර්ණය නමින් දේශීය ඖෂධයක් මෙරට පවතින බව පෙන්වා දුන් එක් දේශීය වෛද්‍යවරයකු කියා සිටියේ එය හුදෙක් ඖෂධයක් නොව ජීවන රටාවක් බවය. එනම් එම ඖෂධය පාවිච්චි කළ යුත්තේ ඊට අදාළ ජිවන රටාවක් සමඟ බවය. එසේ නොමැතිව එම ඖෂධය පාව්ච්චිය භයානක ප්‍රතිපල ඇති කළ හැකි බවට ඔහු අනතුරු හඟවා තිබුණි.

මුට්ටි නැටුම් සහ මහාචාරිය පැනි කතා මැද්දේ හම්බන්තොට නිරෝධායනට උස්සාගෙන ගිය ධීවර ප්‍රජාවෙහි පිරිස් උදේටත් රැයටත් පාන්ද දවල්ට බත්, මුං ඇට සහ මාලුම කමින් සිටියහ. තවත් තැනෙක එළෙස නිරෝධායනය කරන ලද පිරිස් වීඩියෝවක් මගින් කියා සිටියේ තමන් බැලීමට කිසිදු වෛද්‍යවරයකු හෝ හෙද සේවකයකු නොපැණෙන බවයි. තමන් මරා දැමුවේනම් මීට වඩා හොදයැයි ඔවුහු එම විඩියෝවෙහි කීහ. තවත් වීඩියෝවකින් කියවුනේ මහරෑ 1.30ට පමණ හමුදා පිරිස් වෛද්‍යවරියක් බලයෙන් නිරෝධායනයට උස්සා ගෙන ගිය සැටිය.

මේ වනාහී මුලින් ඇඟළුම් සේවිකාවන් සොයා ආ ඔවුහු දෙවැනිව ධීවර කර්මාන්තයේ නියතු පිරිස් සොයා පැමිණිමකි.

නිරෝධායන කරන ලද, හමුදා පාලනය යටතේ සිටි හිටපු අගමැතිවරයකුගේ දොස්තර දියණිය සමඟ කරන ලද දුරකථන කතාබහක් නීති විරෝධි ලෙස පටිගත කළ උසස් හමුදා නිලධාරියකු එය මාධ්‍ය වෙත මුදා හැරියේය. බිය ගැන්වීම මිස එහි වෙනත් ගතයුතු දෙයක් තිබුණේ නැත.

මේ අතර වසංගතය පාලනය කිරීම සඳහා නියමානුකූල ලෙස සෞඛ්‍ය නීතිරීති ගැසට් කරන ලෙස නියෝග කරන්නැයි සමාජ ක්‍රියාකාරී කන්ඩායමක් විසින් ඉල්ලා සිටින ලද උසාවි නියෝගය පිළිබද නඩුව 2021 පෙබරවාරිය දක්වා අධිකරණය විසින් කල් දැමුවේය. හදිසියක් නැත.

ක්‍රියා විරහික වූ පීසීආර් යන්ත්‍රය අලුත් වැඩියාව පිනිස චීනයෙන් වඩම්මන ලද කාර්මිකයින් විසින් සොයා ගන්නා ලද වරද වූයේ මේසයේ ඇදයක් යැයි මාධ්‍ය වාර්තා කළෝය. නමුත් දැන් විසි තිස් පාරක් තරම් කැඩී ඇති චීනුන්ගේම නොරොච්චචෝලේ බලාගාරය සවි කර ඇත්තේත් එවැනිම මේසයක් උඩ වෙන්නට බැරිදැයි අහන්නට කව්රුත් එහි සිට තිබුණේ නැත.

හපන්න බැරි තරම් කටේ දාගත් හමුදාපති ශ්‍රවේන්ද්‍රට “දැන් ඉතිං ගෙවල් වලම නිරෝධායනය වෙන්න” යැයි කියන්නට සිදු වීය.

හාල් නැත. දවසින් දවස ගණන් යයි. හාල් මිලේ හතරවැනි ගැසට්ටුවද උත්සවාකාරයෙන් හෙළි දක්වා ඇත. දෙවියන්ගේ හාල් කැවිලායැයි කියන්නේ මෙවැනි හතර බීරී වැඩවලටය.

එළවලු නැත. දඹුල්ලේ එළවලු කුණුවෙයි. උඩරට එළවලු ගොවීන් අනාතය.

වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු අද්වානි සමාගමට දීමට හොරගල් ඇහිදිති.

රාජපක්ෂ බලකායක් වූ ත්‍රීරෝද රථ කොට උඩය. වෛරසය පැතිරෙයි.

දේවී මුට්ටි නැටුම නටයි. කාවන්තිස්ස රජු නැත. ජයසුමන පැනි හලයි. මී මැස්සෝ නැත. දේශපාලක බණ අසා සාදුකාර දෙන ජනයා රතන සූත්‍රය අසා නින්දට යති.

ඊළඟ පැනියත් දැන් දේශපාලන කටාරම්වල පැහෙනවා ඇත. ප්‍රවේසම් වෙන්න!

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya