iMage:aljazeera

මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනුණේ පසුගිය අලුත් අවුරුදු උත්සවය මැද අප්‍රෙල් 14දාය. කොවිඩ් 19 සම්බන්ධ ප්‍රශ්ණයක් උඩ ඔහු හමුවීමට අවශ්‍ය යැයි ඔහුට දුරකථන පණිවිඩයක් දුන්නේ සෞඛ්‍ය බලධාරීන් යැයි පෙනී සිටි පිරිසකි. නමුත් නිවසේ දොර හැරිය විට පැමිණ සිටියේ රහස් පොලිස් නිලධාරීන්ය.

එනයින් මුල් දුරකථන පණිවිඩයේ සිට අද දක්වාම ඔහුගේ මානව අයිතීන් පාගා දමමින් ආක්ෂක හේතූන් මත යැයි රඳවා ගෙන සිටින, හිජාස් හිස්බුල්ලා, මෙරට ක්‍රියාත්මක අවනීතියේ ජීවමාන සංකේතයකි.

ඔහු අත්අඩංගුවට ගැනීමට පැමිණි නිලධාරීහු, නීතියේ පාරිශුද්ධබව කෙළසමින් හිජාස් පෙනී සිටිමින් තිබූ නඩුවලට අදාළ ලිපිගොනු ද අත්අඩංගුවට ගත්හ. සිංහල බස නොදන්නා ඔහුගේ ඊජිප්තු ජාතික සහකාරියට සිංහලයෙන් ලියන ලද ප්‍රකාශයකට අත්සන් කරන්නටයැයි බල කෙරුණි.

දැන් මාස හතක් ගතවී තිබේ. එනම් දින දෙසියකට නොඅඩු කාලයකි. තවමත් ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් ගොනු කර නැත. ඔහු තවමත් රඳවා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපති රාජපක්ෂ විසින් දින 180න් 180ට නිකුත් කරන රඳවා තැබීමේ නියෝග යටතේය.

ඔහුට නිසි නීතිඥ සහාය ලබා ගැනීමට ඉඩක් නැත. ඔහු රඳවා සිටින්නේ හුදකලාවය. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු වරදකරුවකු ලෙස පින්තාරු කිරීමට පොලීසිය දරන ලද තැත දැන් දුර්වර්ණ වී ගොසිනි. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අධිකරණය හමුවෙහි ඉදිරිපත් කිරීම දිගින් දිගටම වලක්වා තිබේ. පොලීසිය මුලදී කියා සිටි පරිදි ඔහුට විරුද්ධව සාක්ෂි ඇත්නම් නඩු පවරන්නේ නැත්තේ මන්ද?

අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් නීතිය ඉදිරියෙහි වරදකරුවන් වීමට ප්‍රථම පොලීසිය සහ මාධ්‍ය විසින් වරදකරු කිරීමේ දුරාචාර සංස්කෘතියේ ගොදුරක් බවට ද හිජාස් පත්කර තිබේ. දරුණු මානව විරෝධී අපරාධයක් වූ පාස්කු ඉරිදා ඝාතනයන්ට කවරකු සම්බන්ධ යැයි මතයක් ගොඩ නැගූවිට එවැනි අයකු වෙනුවෙන් ඉදිරිපත්වීමට බොහෝ දෙනෙක් බිය වෙති. හිජාස්ට ද කර ඇත්තේ එයයි.

2017 වසරෙහි නොවැ 30 දා මඩකළපුවෙහි වව්නතිව් පොලිස් මුරපොළෙහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර ආයුධ පැහැර ගන්නා ලදී. ඒ පිළිබඳ සැකපිට කදිරගාමර්තම්බි රාජකුමාරන් නම් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු මහත් මාධ්‍ය ප්‍රචාරයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

එම අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ තහවුරුවූ සාක්ෂි මත ඔහු අත්අඩංගුවට ගත් බවයි. එසේ නමුත් 2018 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එම ඝාතන කරන ලද්දේ ද සහරාන් ප්‍රමුඛ අන්තවාදී කණ්ඩායම විසින් බව හෙළිදරව් විය. කදිරගාමර්තම්බි ඇප පිට නිදහස් කරන ලදී. එසේ නොවී නම් ඔහු තවමත් නඩු නැතිව දශක ගණනාවක් සිරගතව සිටින දෙමළ සිරකරුවන් ගොන්නට එක්වනු නොඅනුමානය.

මෙැවැනි පොලිස් කතා මෙරට අපමණය. හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් පොලීසියේ කතා ද දැනට පත්ව ඇත්තේ ඒ ගණයටය.

හිජාස් දිගින් දිගටම මානසික වධ බන්ධනයන්ට පත් කරමින් සිරගත කර තිබීම භයානක පණිවිඩයකි. එනම් මානව හිමිකම් සම්බන්ධයෙන් මැදිහත්වන නීතිවේදීන් සහ නීතිවේදිනියන් ප්‍රවේසම් විය යුතු බවයි.

කණගාටුවකට මෙන් ඔහට යුක්තිය ඉටු කළ යුතු බවට ප්‍රබලතම හඩ නැගෙන්නේ මෙරට ඔහුගේ වෘත්තීය ප්‍රජාව අතුරින් නොව අන්තර් ජාතික නීතිවේදී ප්‍රජාව වෙතිනි. පසුගිය දා එංගලන්තයේ සහ වේල්සයේ මානව හිමිකම් නීතිඥ කම්ටුව ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නඩු නොපවරා දීර්ඝ කාලයක් හිජාස් හිස්බුල්ලා රැඳවුම් බාරයේ තබාගෙන සිටීම මහත් කණස්සල්ලට කරුණක් බවයි. මෙම කමිටුවට එක්සත් රාජධානියේ ජේෂ්ඨ නීතිවේදීන් සහ නීතිවේදිනියන්ද ඇතුළත් වෙති.

“නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබාගැනීමෙන් නිදහස් කරන ලෙසත් ශ්‍රී ලංකාවේ නීතිවේදීනට පළිගැනීම් සහ හිරිහැර පැමිනවීම් පිළිබඳව බියක් සැකක් නැතිව සිය රාජකාරිය කළ හැකි පරිසරයක් “ ඇති කරන ලෙස ඔව්හු එමගින් ඉල්ලා සිටියහ.

අන්තර් ජාතික නීතිවේදී ප්‍රජාව නඩු නොපවරා හිජාස් දිගින් දිගටම රඳවා කබා ගැනීම හෙළා දකිමින් මෙවැනි ප්‍රකාශ ගණනාවක්ම ප්‍රසිද්ධ කර තිබේ.

එසේ නමුත් පිල්ලෙයාන්ට ඇප දී නිදහස් කිරීමට උපදෙස් දෙන නීතිපති දෙපාර්ථමේන්තුව මාස හතක් ගතවීමෙන් පසුුත් තවමත් මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා සිරගත කරගෙන සිටී.

මානව හිමිකම් විරෝධී දේශපාලන අධිකාරිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ජාතිවාදය යන භයානක දුශ්සංයෝගයේ ගොදුරක් බවට පත්ව ඇති ඔහු, වත්මන් ශ්‍රී ලංකාවේ අවනීතියේ කැපී පෙනෙන සංකේතයකි.

ඔහුගේ නිදහස වෙනුවෙන් කටයුතු කිරීම අප සැමගේ ප්‍රජාතන්ත්‍රවාදී යුතුකමය.

(ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සම්බන්ධයෙන් ද දැක්වෙන ආණ්ඩුවේ පිළිවෙත එවැනිම එකක් බව සමහර වි‌ට ඊටත් වඩා දුෂ්ඨ එකක් බව සටහන් නොකළ හොත් අඩුවක් වනු නොනුමානය.)

ප්‍රහාරය ඇරඹේ.

අපේක්ෂිත පරිදි 20වන සංශෝධනයේ ගිනියමින් මෙරට මාධ්‍ය නිදහසට කණ කොකා හැඩවීම ආරම්භ වී තිබේ.

පසුගිය දිනවල වාර්තා වූ මේ ප්‍රවෘත්ති දෙස බලන්න.

රාජ්‍ය නොව සංවිධාන විසින් පවත්වාගෙන යන මාධ්‍යන්ට නිල ජනමාධ්‍ය හැදුනුම්පත නිකුත් නොකිරීමට ආණ්ඩුව තීරණය කරන ලදී.

පාර්ලිමේන්තුවෙහි අයවැය ඉදිරිපත් කිරීම වාර්තා කිරීමට ජනමාධ්‍යට ඉඩ නොදෙන ලදී. එනමුත් විදේශ තානාපතිවරුන්ට එම අවස්ථාවට සහභාගිවීමට ඉඩ සළසා තිබුණි. අගමැති රාජපක්ෂ අයවැය ඉදිරිපත් කළේ ඉඳගෙනය. තවමත් පාර්ලිමේන්තුව ජනමාධ්‍යවේදින්ට තහනම්ය.

ඊටත් කලින්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව වාර්තා කිරීමට පසුගිය රජය සමයෙහි මාධ්‍යට දී තිබූ අවසරය ඉවත් කර ගන්නා ලදී.

දානයකට ගිය රාජපක්ෂ පවුලේ උදවිය මේසයක වාඩිවී දානය වළදන අන්දම පෙන්වන ඡායාරූපයක් ප්‍රසිද්ධ කළ විපක්ෂ ජනමාධ්‍යවේදියකු රහස් පොලීසියට කැඳවන ලදී. එම ඡායාරූපය විකෘති කර රාජපක්ෂ පවුල වෙනුවට භික්ෂුන් ආදේශ කරන ලද පුද්ගලයා ගැන පරීක්ෂනයක් නොපවත්වන ලදී.

මඩකළපුවෙහි ගව පට්ටියක් පවත්වාගෙන යන අයකුගේ ඉඩම යුද හමුදාව බලයෙන් අල්ලා ගන්නට යන්නේ යැයි වාර්තාවක් පළ කළ දෙමළ ජනමාධ්‍යවේදියකු එරාවුර් පොලීසියට ගෙන්වා ප්‍රශ්ණ කරන ලදී.

දෙසතියක් ඇතුළත මර්ධනකාරී සිංගප්පූරු මාදිලියේ “ ව්‍යාජ පුවත් පාලන” නියමන පනතක් ගෙන එන බව ඇමැතිවරු දෙපලක් විසින් ප්‍රකාශ කරන ලදී.

වෙබ් අඩවි 30ක් තහනම් කිරීමට රජය සළකා බලමින් සිටින බවට තවත් පුවතක් පළ විය.

විදෙස්ගතව සිටිමින් “ව්‍යාජ” පුවත් සමාජ ජාල මගින් බෙදාහැරියේ යැයි කියන දෙදෙනෙකු මෙරට පැමිණියහොත් අත් අඩංඟුවට ගන්නා බව ආණ්ඩුවේ ප්‍රකාශකයකු කියා තිබුණි.

එවැනි “ව්‍යාජ පුවත්” පළ කළේ යැයි අත්අඩංගුවට ගෙන සිටින පිරිස දුසිම් ගණනාවක් විය හැකි යැයි විපක්ෂ දේශපාලනඥයකු ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගත යුතු මාධ්‍යවේදීන් දෙසිය ගණනාවකගේ ලැයිස්තුවක් පොලීසියට දී ඇතැයි සජබ පා.ම. ඉම්ටියාස් බාකීර් මාකර් පාර්ලිමේන්තුවට කියා සිටියේය. ආණ්ඩුව එම පුවත ප්‍රතික්ෂේප කළේ නැත.

20වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමින් ප්‍රකාශයක් නිකුත් කළදාට පසුදා උදෑසනම ඒයට අත්සන් කළ අමරපුර රාමඤ්ඤ සාමාග්‍රී සංඝ සභාවේ නිලතල උසුලන අනුනායක මහාචාර්ය ආදී මහතෙරුන් හමුවීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් එම ප්‍රකාශය ගැන කරුණූ විමසූහ. එමගින් තර්ජනයට ලක් කැරුණේ විසංවාදයට ඇති අයිතියයි.

පොහොට්ටු පක්ෂය විසින් දේශපාලනිකව පාලනය කරන රාජ්‍ය ජනමාධ්‍ය සඳහා රජයේ සියලු ආයතනය පළ කරනු ලබන දැන්වීම් වලින් 25% ලබා දිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. එමගින් සමාන භූමියක තරඟයට තිබිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව රජයට අයත් නොවන මාධ්‍යන්ට ඇහිරේ.

සියළුම රාජ්‍ය ආයතනයන්ට නියෝගයක් යවමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර කියා සිටියේ සියළුම වෙළද දැන්වීම් සහ ප්‍රචාරකයුතු සදහා වෙන් කර ඇති අරමුදල් පාවිච්චිය නතර කරන සේ ජනාධිපතිවරයා තමාට දැනුම් දී ඇති බවය. මෙය ජනමාධ්‍යන්ට මරු පහරක් වනු ඇත.

තවද මේ තාක් මේ කිසිවක් ගැන ජනමාධ්‍ය සංවිධාන කිසිවක් විරෝධය ප්‍රකාශ කර නැත!

සෙස්ස පස්සටය!

මැඩිල්ලේ හිමිගේ වචන

මැඩිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවන්ගේ පන්සලට පොලීසිය පැන්නේ කිසිදු දැනුම්දීමකින් තොරවය. මැඩිල්ලේ එසේ මෙසේ භික්ෂුවක නොවේ. අන්ත ජාතිවාදය නැමැති සිය මතවාදී බලයෙන් රාජපක්ෂවරුන් රාජාසනය වෙත වැඩම්මවන ලද භික්ෂුවකි. පසුදාක එ හිමියන්ගේ පන්සලට කඩා වැදුණු රහස් පොලිස් නිලධාරීහු එවෙළෙහිම තමන් ප්‍රකාකාශයක් දිය යුතුයැයි බලකර කියා සිටියෝ ය. එයට පෙර, දැන් අධිකරණ ඇමැති වන අලි සබ්රි ගැන කතාකිරීම තහනම් කරමින් එහිමියන්ට එරෙහිව අධිකරණ නියෝගයක්ද ලැබී තිබුණේය. මෙවර මැඩිල්ලේ හිමි කියන්නේ තමන්ට එරෙහිව පොලීසිය උසි ගන්වන ලද්දේ ඇමැති ජොන්ස්ටන්ගේ අරක්කු ලැයිසමට විරුද්ධව තමා කතා කළ නිසා බවයි.

සිය පන්සලට පොලීසිය කඩා පැනීම ගැන මැඩිල්ලේ හිමි කියා තිබුනේ “ඔන්න සර්ගේ සෞභාග්‍යයේ තරම!” කියාය.

මේ සිදුවීම මතකයට නංවන්නේ ලොව පුරා යළි යළි පුනරුච්චාරණය කැරෙන මාර්ටින් නිමලොර්ගේ වචනය. “ඔවුහු අන්තිවේදී මා සොයා ආහ.”

රහස් පොලීසිය මෙළෙස නොදන්වා කඩා පැන බලහත්කාරයෙන් කටඋත්තර ගත් ප්‍රථම වතාව මැඩිල්ලේ හිමිගේ පන්සල නොවේ. මේ වනාහී විරුද්ධවාදීන් මැඩළීමේ දේශපාලන පොලීසියේ සුපුරුදු හැසිරීමය. එළෙස හැසිරීමට පොලීසියට බලය ලැබී ඇත්තේ දේශපාලන පිටුබලය නිසාය. පසුගිය කාලය පුරා මැඩිල්ලේ වැනි භික්ෂූන් කියමින් සිටියේත් තමන් විසින් විරුද්ධවාදීන් ලෙස සළකන විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් දේශපාලනඥයින්ට මෙවැනි විරුද්ධව පියවර ගත යුතු බවය.

දැන් බූමරංගය ආපසු කැරකී ඇවිත් තිබේ. සමහර විට තවම බූමරංග එන්නට පටන් ගත්තා විතරය. හොඳ හොඳ සෙල්ලම් කෙළින්නේ එළිවෙන ජාමෙට යැයි කියනු ලැබේ.

ඔහොම යං!

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya