iMage: Amnesty Internationlal

“පසුගිය වසර පුරා ශ්‍රී ලංකා රජය රටේ ප්‍රජා අවකාශය සම්පූර්ණ පරිවර්තනයකට ලක් කර​ ඇති අතර, දැන් එය විරුද්ධවාදී අදහස් හා මතවාද නොඉවසන හා ඒ කෙරෙහි එදිරි ප්‍රතිපත්තියක් අනුගමනය කරන වේදිකාවක් බවට පත්ව ඇත” යි ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ මහලේකම් කාර්‍යාලයේ අධ්‍යක්‍ෂ ඩේවිඩ් ග්‍රිෆිත්ස් ප්‍රකාශ කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, ජාත්‍යන්තර ක්ෂමා සංධානය වැඩි දුරටත් පවසන්නේ,

“හුදෙක් තම අදහස් ප්‍රකාශ කිරීම නිසා හෝ බලධාරීන්ගේ අප්‍රසාදය යොමු වන ආකාරයට රාජකාරි කිරීම නිසා සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයින් හට තර්ජනය කිරීම්, බිය ගැන්වීම්, හිරිහැර කිරීම් සහ සිරගත කිරීම් වලට මුහුණ දීමට සිදුව ඇත​. ශ්‍රී ලංකා රජය ගෙන යනු ලබන විසම්මුතියට එරෙහි මෙම ව්‍යාපාරය නැවැත්විය යුතු අතර, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමී ලෙස රැස්වීමේ සහ ඇසුරු කිරීමේ නිදහස, පුද්ගලික ආරක්‍ෂාවට ඇති අයිතිය සහ අත්තනෝමතික ලෙස රඳවා තබා නොගැනීමේ නිදහස ආරක්‍ෂා කිරීම සඳහා ජාත්‍යන්තර නීතිය යටතේ ඇති බැඳීම්වලට රජය ගරු කළ යුතුයි.”

යනුවෙනි.

ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

<

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව:

ශ්‍රී ලංකා රජය විසින් විරුද්ධ මතවාද යටපත් කොට, ඓතිහාසික අපරාධ සඳහා යුක්තිය පසිඳළීමට ඇති අවකාශ අවහිර කරන බවට ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධාන වාර්තාව සඳහන් කරයි

සිවිල් සමාජයේ නිදහස දැඩි ලෙස කප්පාදු කරමින්, ජාත්‍යන්තර නීතිය යටතේ යුධ සමයේ දී සිදු කරන ලද​ අපරාධ සඳහා යුක්තිය ඉටුකිරීමට ගන්නා උත්සාහයන්ට බාධා පමුණුවන ආකාරයෙන් විරුද්ධ මතවාදයන්ට එරෙහිව නව මර්දනයක් ශ්‍රී ලංකා රජය විසින් දියත් කර ඇති බව ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය අද දින​ ප්‍රකාශයට පත් කළ නව වාර්තාවේ සඳහන් වේ. ​

“නව ඇඳුමින් ​ සැරසි පැරණි අවතාර: ශ්‍රී ලංකාව භීතියේ මාවත කරා නැවත යොමුවීම (Old ghosts in new garb: Sri Lanka’s return to fear)” යන මාතෘකාවෙන් යුත් එකී වාර්තාව, ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය, නීතිඥයින්, දේශපාලන විරුද්ධවාදීන් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඉලක්ක කර ගනිමින්, විරුද්ධ මතවාද යටපත් කිරීමටත්, වසර 30ක සන්නද්ධ ගැටුම තුළ සිදු වූ අපරාධ සඳහා සංක්‍රාන්තික යුක්තිය පසිඳළීමේ ක්‍රියාවලියට බධා කිරීම පිණිසත් කටයුතු කරන ලද​ ආකාරය හෙළි කරයි.

“පසුගිය වසර පුරා ශ්‍රී ලංකා රජය රටේ ප්‍රජා අවකාශය සම්පූර්ණ පරිවර්තනයකට ලක් කර​ ඇති අතර, දැන් එය විරුද්ධවාදී අදහස් හා මතවාද නොඉවසන හා ඒ කෙරෙහි එදිරි ප්‍රතිපත්තියක් අනුගමනය කරන වේදිකාවක් බවට පත්ව ඇත” යි ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ මහලේකම් කාර්‍යාලයේ අධ්‍යක්‍ෂ ඩේවිඩ් ග්‍රිෆිත්ස් පවසන ලදී.

“හුදෙක් තම අදහස් ප්‍රකාශ කිරීම නිසා හෝ බලධාරීන්ගේ අප්‍රසාදය යොමු වන ආකාරයට රාජකාරි කිරීම නිසා සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයින් හට තර්ජනය කිරීම්, බිය ගැන්වීම්, හිරිහැර කිරීම් සහ සිරගත කිරීම් වලට මුහුණ දීමට සිදුව ඇත​. ශ්‍රී ලංකා රජය ගෙන යනු ලබන විසම්මුතියට එරෙහි මෙම ව්‍යාපාරය නැවැත්විය යුතු අතර, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමී ලෙස රැස්වීමේ සහ ඇසුරු කිරීමේ නිදහස, පුද්ගලික ආරක්‍ෂාවට ඇති අයිතිය සහ අත්තනෝමතික ලෙස රඳවා තබා නොගැනීමේ නිදහස ආරක්‍ෂා කිරීම සඳහා ජාත්‍යන්තර නීතිය යටතේ ඇති බැඳීම්වලට රජය ගරු කළ යුතුයි.”

2020 පෙබරවාරියේ දී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලිකත්වයෙන් යුත් යුධ සමයේ අපරාධ සඳහා යුක්තිය සහ සංහිඳියාව ලඟා කර ගැනීමේ ක්‍රියාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත්වීමෙන් පසුව බලධාරීන් විසින් යුක්තිය පසිඳලීම සඳහා කටයුතු කරන අයවළුන්ට එරෙහිව ක්‍රියා කර ඇති අතර, යුක්තිය සහ වගවීම සුරක්‍ෂිත කිරීම සඳහා වන අඛණ්ඩ උත්සාහයන්ට හිතාමතාම බාධා සිදු කරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි විවේචනාත්මක වාර්තාවෙහි නිර්දේශ එළඹෙන සැසිවාරයේ දී ක්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ වඩා පුළුල් අධීක්‍ෂණයන් සහ වාර්තා කිරීම් සිදු කිරීම මෙන්ම, අනාගත නඩු පැවරීම් සඳහා සාක්‍ෂි එකතු කිරීමට හා ඒවා​ සංරක්‍ෂණය කිරීමට කටයුතු කිරීම​ මෙම නිර්දේශවලට ඇතුළත්ය.

“යුක්තිය සහ වගවීම සම්බන්ධයෙන්​ රජය අනුගමනය කරන ප්‍රතිගාමී පියවරයන් හේතුවෙන් පිරිහෙමින් පවතින ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව අවධානය යොමු කළ යුතුයි. වගවීම සඳහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමටත්, ජාත්‍යන්තරව එකඟ වූ යුක්තිය පසිඳලීමේ නව ක්‍රියාවලියක් දියත් කිරීම හරහා දඬුවම් ලබා නොදීමේ අනිසි චක්‍රය අවසන් කිරීමටත් මානව හිමිකම් කවුන්සිලය පියවර ගත යුතුයි” යනුවෙන් ඩේවිඩ් ග්‍රිෆිත්ස් පැවසීය.

යුක්තිය සහ වගවීම

ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ සොයාගැනීම්වලට අනුව ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් පිළිබඳව විමර්ශනය කිරීම්, ලේඛනගත කිරීම්, නඩු පැවරීම් හෝ වාර්තා කිරීම් මෙන්ම වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටීම් සිදු කරනා ක්‍රියාකාරී අයවළුන් ඉලක්ක කර ගැනීමේ රටාවක් පවත්නා බව​ අනාවරණය වී ඇත​. ඊට අවම වශයෙන් නීතිඥයින් සම්බන්ධ සිදුවීම් හයක්වත් ඇතුළත්ව පවතී.

උදාහරණ වශයෙන් සුළුතර අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ප්‍රමුඛ පෙළේ නීතිඥයෙකු වූ හෙජාස් හිස්බුල්ලා, උසාවියකට සාක්‍ෂි ඉදිරිපත් කිරීමකින් තොරව මාස 10ක කාලයක් රඳවා තබාගෙන සිටීම සඳහා අනෙකුත් අණ පනත් වලට අමතරව, ඉතා අත්තනෝමතික පනතක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරන ලදී.

බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන් පිළිබඳ නඩුවක අතුරුදහන් වූවන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනෙවිරත්න හට සමාජ මාධ්‍යවලින් පමණක් නොව, එම නඩුවේ චූදිත නිලධාරීන් විසින් ද ප්‍රචණ්ඩකාරී සහ ලිංගික බලපෑම් සහිත තර්ජන සිදු කර තිබේ.

අපරාධ සඳහා ජාත්‍යන්තර නීතිය යටතේ යුක්තිය පසිඳලන ලද අපරාධ විමර්ශකයින් ද මේ වන විට දැඩි පරීක්‍ෂාවට ලක්ව ඇත. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂකවරයාව පළමුව තනතුරින් පහත දමන ලද අතර පසුව නඩුවක සාක්‍ෂි ගොතන ලදැයි යන චෝදනාව යටතේ අතඩංගුවට ගනු ලැබීය. ඔහු තවමත් අතඩංගුවේ පසුවන අතර ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරන ලදැයි පවසන අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ විමර්ශන සිදු කිරීමට පළිගැනීමක් ලෙස තමන්ව මෙසේ ඉලක්ක කර ඇති බව ඔහු විශ්වාස කරයි. ​

මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා පුළුල්ව එල්ල වී ඇති යුද්ධයේ අවසාන අදියරේදී අණ දෙන ලද හමුදා නායකත්වයේ සාමාජිකයින්ට නව පරිපාලනය යටතේ සිවිල් පරිපාලන තනතුරු ද ඇතුළුව උසස්වීම් සහ බලතල පිරිනමන ලදී. යුක්තිය ඉල්ලා සිටින වින්දිතයින් කෙරෙහි ඉතා බියකරු බලපෑමක් මේ හරහා එල්ල වී තිබේ.

රජය විසින් ගෙන එන ලද ව්‍යවස්ථා සංශෝධන මගින් යුක්තිය උදෙසා යොදා ගත හැකි විශ්වසනීය, දේශීය ප්‍රවේශ​ අහුරා ඇති ආකාරය පිළිබඳව මෙන්ම, ජනාධිපති විසින් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභා හරහා මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වල වැරදිකරුවන් වගවීම ආපසු හැරවීමට ගනු ලබන උත්සාහය පිළිබඳවත් එම වාර්තාව කරුණු දක්වයි.

ප්‍රජා අවකාශයට එල්ල වන ප්‍රහාර​

ශ්‍රී ලංකා රජය විසම්මුතිය තුරන් කිරීම සඳහා නව මෙවලම් හා ක්‍රමවේද හඳුන්වා දීමට කාලය නාස්ති කළේ නැත. රාජ්‍ය ක්‍රියාකාරීන් විසින් රාජ්‍ය නොවන සංවිධාන සහ මානව හිමිකම් සංවිධානවලට එරෙහිව මඩ ගැසීමේ ව්‍යාපාර මෙහෙයවන ලද අතර, මාධ්‍යවේදීන්ට මරණ තර්ජන එල්ල කිරීමත්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෙළි කරන ලද මාධ්‍යවේදීන් විවිධ​ විමර්ශන සහ ප්‍රශ්න කිරීම් සඳහා කැඳවනු ලැබීමත් සිදුව තිබේ.

මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානවල කාර්‍යාල වෙත රාජ්‍ය ආරක්‍ෂක නිලධාරීන්ගේ පැමිණීම පසුගිය මාස දහහතර තුළ වැඩි වී තිබේ. එම කාලය තුළ සිදු කරන ලද එවැනි සංචාර 18 ක් පිළිබඳව ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය වාර්තා කර ඇති අතර, එහිදී එම සංවිධානවල ලියාපදිංචි තොරතුරු, කාර්‍ය මණ්ඩල තොරතුරු සහ පරිත්‍යාගශීලීන්ගේ බැංකු තොරතුරු පිළිබඳව විමසීම් සිදු කොට ඇත. ඇතැම් කාර්‍ය මණ්ඩල සාමාජිකයන්ගේ පෞද්ගලික නිවාසවලට පවා එම ආරක්‍ෂක නිලධාරීන් පැමිණ තිබුණි.

එමෙන්, නිදහස් මත ප්‍රකාශ කිරීම මැඩපැවැත්වීම සඳහා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ඇතුළු අනෙකුත් නීති අනිසි ලෙස භාවිතා කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ඇත​. ඉහත සම්මුතිය භාවිතා කරමින් රම්සි රසීක් නැමැත්තා චෝදනාවකින් තොරව අත්ඩංගුවට ගෙන මාස පහකට වැඩි කාලයක් මුළුල්ලේ නීතිඥ ප්‍රවේශයක් පවා ලබා නොදී රඳවා තබා ගන්නා ලදී. ෆේස්බුක් සටහනක් හරහා කොවිඩ්-19 වින්දිතයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීම විවේචනය කළ ඔහු, පෑන සහ යතුරු පුවරුව ආයුධ ලෙස යොදා ගන්නා දෘෂ්ටිවාදාත්මක අරගලයක් ඉල්ලා සිටියේය.

පසුබිම

“නව ඇඳුමින් ​ සැරසි පැරණි අවතාර: ශ්‍රී ලංකාව භීතියේ මාවත කරා නැවත යොමුවීම” යන වාර්තාව මෙහි ඇත.

2021 ජනවාරි 27 වන දින ප්‍රකාශයට පත් කරන ලද OHCHR වාර්තාව මෙතැනින් බාගත හැකිය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිය 46 වන සැසිවාරය සඳහා පෙබරවාරි 22 සිට මාර්තු 23 දක්වා රැස්වන අතර, එම කාලය තුළ කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් රාජධානිය යන රටවලින් සැදුම් ලත් ශ්‍රී ලංකා Core Group විසින් OHCHR වාර්තාවට සමගාමී යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත​.

ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ තක්සේරුවක් 2021 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අතර, මානව හිමිකම් කවුන්සිලය විසින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි අපේක්‍ෂාවන් එහිදී ඉදිරිපත් කරන ලදී.

නිමි.

විමසීම්: [email protected]