තන්තිරිමලේ ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙන පහල මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවගේ ‘ගොවි සංවිධාන එකමුතුව’ 2021/08/05 දින මාධ්‍ය සකච්ජාවක් පවත්වමින් එහි කැදවුම්කරු වන අමරසිංහ මහතා කියා සිටියේ, 2021 අප්‍රේල් මස බහු කාර්‍ය ජල ව්‍යාපෘතිය මුල්ගල් තබමින් ආරම්භ කලත් මේ වනවිට කිසිදු හේතුවක් නිසා ගොවින් ට සිදුවන හානිය පිලිබදව හෝ ඒ හේතුවෙන් අවතැන් වන පවුල් සංඛ්‍යාව පිලිබද පැහැදිලි අදහසක් තවමත් පවසා නැති බවයි.

පළමුවෙන් ම පවුල් 360ක් අවතැන් වනබව පැවසුවත් දැන් මේ වනවිට පවසා සිටින්නේ වාසස්ථාන අහිමි වන පිරිස 204 ක් බවයි. නමුත් ජනාධිපති ලේකම් විසින් එවන ලද ලිපියේ දැනුම් දී ඇත්‍ තේ පවුල් 2002 බලපෑමට ලක්වන බවයි. නමුත් මේ වනවිටත් ඒ පිලිබදව කිසිදු සදහනක් ගොවින් ට දන්වා නැත. මෙම ව්‍යාපෘතිය සදහා දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොටඨාශ 4ක ගම්මාන 22ක්, වැව් 22ක් ගොඩ-මඩ ඉඩම් අක්කර 7000ක් පමණ මේ නිසා විනාශවන බවයි. එමෙන්ම මේ වනවිට ඔවුන් පවසා සිටින්නේ ව්‍යාපෘතිය හේතුවෙන් අක්කර 6568ක භූමි ප්‍රදේශයක් විනාශවන බවයි. නමුත් පසුගිය රජය පවසා සිටියේ පහල මල්වතුඔය ජලාශය ඉදිකිරිමට පෙර අවතැන් ජනතාවට සාධාරණ වන්දි මුදලක්ද, පදිංචියට සුදුසු ප්‍රදේශ ද ඉදිකල නිවාස ද ලබාදීමටත්, එම පවුල් සදහා යල-මහ වගා කලහැකි කුඹුරු ඉඩම් ලබාදෙන බවත් ය. නමුත් දෙවන වතාවට ව්‍යාපෘතිය ආරම්භ කිරිමේදී ඒ කිසිදු සොයා බැලීමක් නොකරමින් සිටින බව ගොවීන් පවසයි.

රස්මික වැව ආර්.සිරිපාල මහතා කියා සිටියේ,

”2015 දී ඔවුන් මෙම ව්‍යාපෘතිය පිලිබදව දැනුවත් වූ බවත්, ඒ සදහා තන්තිරිමලේ රජ මහා විහාරයේ ස්වාමින් වහන්සේගේ මුලිකත්වයෙන් සෑම ගමකම අවතැන් වන්නගේ සමිති ආරම්භ කල බවත් එහිදී මඩින් අක්කරයක් හා ගොඩ ඉඩම් වලින් අක්කර 1 1/2 ක් ලබා දෙනවා කියලා කිව්වා. නමුත් දැන් කියනවා අක්කර 1/2 දෙනවා කියලා. නමුත් අපි ගොවියෝ. අපි දන්නේ ගොවිතැන් කරන්න. අපිට ඔය කියන නගර සැලසුම් වලින් වැඩක් නැහැ. මේ ගම් වල 80% ක් ඉන්නේ ගොවියෝ. ඒ වගේම 50% කට වඩා ඉන්නේ කිරි ගොවියෝ. ඉතින් අපිට ඔය කියන ඉඩම් ප්‍රමාණය කොහොමවත් ප්‍රමාණවත් නැහැ. අපි මෙහෙට ආවේ 1982-83 කාලයේ සාගිනි නිවිමේ ව්‍යාපාරය යටතේ ඉඩම් ලැබිලා. අපි හොදට ගොඩ මඩ වවනවා. අපේ ගමේ සමෘද්ධි පවුල් ඉන්නෙත් කිහිපයයි. ඒක නිසා ආණ්ඩු අපිට කල දේවල්වලට ණය නැහැ.”

”අපි වසර 30ක් පැවති යුද්ධය නිසා පීඩා වින්දා. නමුත් දැන් අපි හොදට හොවිතැන් කරගෙන ඉන්නවා. අපි දාඩිය මහන්සියෙන් ජීවත් වෙන මිනිස්සු. දැන් ඩෑම් එක හදන්න පටන් අරන් තියෙන්නේ අලි මාරු වන බිම් ප්‍රදේශයක. දැනටම ඔවුන්ගේ ගමන් මාර්ග වෙනස් වෙලා නිසා අලි ගම් වැදිලා. සදමල්එලිය ගමේ ගෙවල් කීපයක් අලි කඩා දලා. දැන් මහ දවල්ටත් අලි මහ පාරේ. මෙහෙම ගියොත් වන සත්තු ගම් වදිනවා. ඒක සිදුවෙන්නෙත් මේ ව්‍යාපෘතිය නිසා නම් අපිත් මෙහි අවතැන් වන ජනතාවක් වෙනවා. අපිට වන සත්තු එක්ක ඔට්ටු වෙවි ගොවිතැන් කරන්නවත් ජීවත් වෙන්නවත් බැහැ. කොහොම වුනත් අපි කියන්නේ මේ ප්‍රදේශයේ පවුල් 12500 ක් විතර මේ ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත්වෙයි කියලා..”

පීඩාවට පත් ජනතාව වෙනුවෙන්, අනුලාවතී මහත්මිය අදහස් දක්වමින් කියා සිටියා ය.

මධ්‍යම නුවර ගම් පලාත ප්‍රදේශිය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සුමිත් මහතා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය තුල විශාල අක්‍රමිකතා ප්‍රමාණක් සිදුවන බවත්, ජනතාව ට සහන සලසන ක්‍රමවේදයක් පිලිබදව තවමත් පැහැදිලි අදහදක් නොමැති අතර ප්‍රදේශයේ ජනතාව විසින් නැවත් ඉඩම් ලබා දීම පිලිබදව විකල්පයන් ඉදිරිපත් කර ඇති අතර, ඒ සදහාද කිසිදු සැලකිල්ලක් නොමැති බවයි. 2015 සිට ප්‍රදේශවාසින් මෙම ව්‍යාපෘතිය නැවත්වීමට උත්සහයන් බොහෝමයක් ගෙන තිබුනත් මේ වනවිට ව්‍යාපෘතිය ආරම්භ කර ඇති නිසා ත් උමා ඔය, යාන් ඔය ව්‍යාපෘතින් හේතුවෙන් අවතැන් වූ ජනතාවට තවමත් නිසි ලෙස වන්දි හෝ ඉඩම් ලබා ගෙන නොමැති නිසාත් ඔවුන් ඒ සදහා ඔවුන්ගේ අරගලය ගෙන යන බවයි.

එමෙන්ම ව්‍යාපෘතිය ආරම්භක යෝජනාවෙදී කියා සිටියේ අවතැන් ජනතාට එහි රැකියා අවස්ථා සදහා ප්‍රමුඛ තාවයක් ලබාදෙන බවයි. නමුත් මේවන විට ඒ සදහා ඉතා අධික මුදලක් වියදම් කරමින් අම්පාර ප්‍රදේශයේ පුද්ගලයන් මෙහි කම්කරුවන් ලෙස බදවා ගෙන ඇත. එමෙන්ම මෙහි පස් ප්‍රවාහනය කරන ටිපර් පවා අම්පාර ආදම්බවා නම් කොන්ට්‍රාත්කරුවකු විසින් ඒ සියල්ල ලබා ගෙන ඇති බවත්ය. මෙවැනි අක්‍රමිකතා සිදුකරමින් ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මංකොල්ල කන බවත් ඔහු සදහන් කළේය.

විමුක්ති ද සිල්වා | Vimukthi de Silva