පසුගිය දින කිහිපය පුරාම අලි ඇත්තු මහනුවර ට රැගෙන ආවේය. ඒ සිය කකුල්වල දම්වැල් දමා, පසෙකින් උල් හෙන්ඩුකින් ද, පිහියක් ඉනේ ගසා ගත් ඇත් ගොව්වාත් සමගය. එම අලි ඇත්තු අතරේ ප්‍රමුඛ ඇතෙක් වන නැදුන්ගමුවේ ඇතා මහනුවර ට පැමිණියේ හමුදා ආරක්ෂාව යටතේ ය. ඒ අලි ඇත්තු මහනුවරට රැගෙන ආවේ ලංකාවේ බෞද්ධයන්ගේ උතුම් වූ සංස්කෘතික උත්සවයක් වන මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික දළදා පෙරහැර සදහා ය.

‍එසේ පැමිණි අලි ඇත්තු සමග ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර පසුගිය 13වනදා රාත්‍රීයේ වීථි සංචාරය කළේය. (පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පෙරහැර පැවැත්වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ජනතාවගේ සහභාගීත්වයකින් තොරව බවත් වාර්තා විය)

ඒ අගෝස්තු 13වනදා ය.

ඒ අගෝස්තුවේම 14වනදා උදා වූයේ සුපුරුදු ලෙසම නොවේ!

‘සියලු සත්ත්වයෝ සුවපත් වේවා’ යැයි දේශනා කල බුදුන් වහන්සේගේ ගේ ගුණ සිහිකරමින් සිදුකරන මහනුවර ඇසල පෙරහැර ට 14වනදා තවත් කුඹල් පෙරහැරක ආරම්භයකි. සියලු සත්ත්වයන්ට සුවය සහ යහපත ප්‍රාර්තනාවෙන් සිදුකරන මංගල්‍යයකි. පිංකමකි. නමුත්, 2006 අගෝස්තු 14 වනදා, උතුරේ සෙන්චෝලේ හි සමූහ ලෙස ඝාතනය ට ලක්වුනු සිසුවියන් ඇතුලු 61 දෙනාගේ සමීපතමයින්ට එසේ වූයේ නැත.

‘සියලු සත්වයෝ සුවපත් වේවා’ යැයි පතන්නට ආශිර්වාද කරමින් පහසුකම් සළසන ලංකාවේ ආණ්ඩුව, 2006 අගෝස්තුවේ දී සෙන්චෝලේ හී දි ගුවන් ප්‍රහාරවලින් ඝාතනයට ලක් වූ සිසුවියන් ඇතුලු 61 දෙනා සිහි කිරීම සදහා සූදානම් වූ ඔවුන්ගේ සමීපතමයින්ට බාධා කළේය.

සෙන්චෝලේ හී ඝාතනය ට ලක් වුනු සියලු දෙනා සිහි කිරීම සදහා එමින් සිටි ඇතැම් මහලු මව්පියන්ට පොලීසිය සහ හමුදාවෝ බාධා කළ අතර, තවත් තැන් හී තනි තනිව සිදුකල සිහිකිරීම් වලටද බාධා එල්ල විය.

ඝාතනයට ලක් වූ සියලු දෙනා සිහි කිරීමට සූදානම් වූ කිසිවෙක් අත මනුෂ්‍ය ඝාතක අවි තිබුණේ නැත. ඔවුන් අත තිබුණේ සිය දරුවන්ගේ ආදරය සිහිකරමින් දල්වන්නට සූදානම් කරගත් පහන් සහ වසර 15ක් පුරාවට ම ‘සෙන්චෝලේ ඝාතනයට’ යුක්තිය ඉල්ලා සිටින විඩාබර දෑස් ය. එසේ තිබිදී ‘සිහිකිරීම’, සිහිකිරීමේ අයිතිය මර්දනය කිරීමටත්, යුක්තිය ඉල්ලන ඒ කදුලු පිරි දෑස් වලට දම්වැල් දෑමීමටත් උත්සුක වූ පිරිස්, ඒ 14වනදා රාත්‍රියේ මහනුවර ඇසළ පෙරහැරේ, දෙවන කුඹල් පෙරහැරේදි ‘සියලු සත්ත්වයන් සුවපත් වේවා යි’ පැතුවෝ ය.

දැන් අපි, අලි ඇතුන්ගේ කකුල්වලට දම්වැල් දමා, සියලු සත්ත්වයෝ සුවපත්වේවා යැයි පතමින් සිටින අතර, උතුරේ සෙන්චෝලේ හි ඝාතනයට ලක් වූ සිය දරුවන් සිහිකරමින්, ඔවුන් වෙනුවෙන් පහණක් දැල්වීමටත් බාධා කරමින්, ‘යුක්තිය’ ඉල්ලන යුද වින්දිතයන් වූ ඔවුන්ගේ විඩාබර දෑස් වලට ද දම්වැල් දමමින් සිටිමු.

උග්‍ර වසංගතය තුළ අපි ගෙවමින් සිටින අගෝස්තුව එවන් මාසයකි.

වසන්ත බණ්ඩාර | Wasanta Bandara