මෑත කාලීනව සාකච්ජාවට භාජනය වන ජනප්‍රිය මාතෘකාවක් ලෙස පහන්තුඩාව සිදුවීම හා ගොඩනැගී තිබෙන කතිකාව දැකගත හැකිය. සිදුවීමේ සාධාරණීකරණය හෝ ඒ සම්බන්ධව විග්‍රහ කිරීමක් මේ සටහන තුළින් සිදු නොවන අතර මේ මොහොතේ සමාජයේ පවතින සැබෑ ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීම වඩාත් කාලෝචිතය.

දර්ශනතලය, දර්ශනයේ නියුතුවූවන් හා ඔවුන් සමාජය හමුවේ අනාවරණය කිරීමට ගෙන ගිය ‘අතිබිහිසුණු රහස් පරීක්ෂක ක්‍රියාදාමය’ අගය කරන පිරිසක් මෙන්ම නොකරන පිරිසක්ද මේ වන විට පොදු අවකාශයේ හඳුනාගත හැකිය. එහි සම්භාවිතාවය කෙසේ වුවත් එසේ විවාදයට සම්බන්ධ වන පිරිසෙන් බොහෝ දෙනෙකු 1954 තිරගත වූ ”වරද කාගේද’’ හෝ ”සුබ සරණ’ ”සැප සිතේ’’’ හෝ එයිනුත් ඔබ්බට ගොස් දඩයම, අයෝමා වැනි සිනමා නිර්මාණ රාශියක් ප්‍රසිද්ධියේ හෝ හොර රහසේ නරඹා තිබෙන බව හෘදයසාක්ෂියට අනුව සත්‍යයකි. නමුත් ගැටලුව වන්නේ පොදු අවකාශය තුළ එසේ හැසිරීම නම්, සංස්කෘතියට අභියෝග කිරීම නම් හෝ නෛතික කාරණාවන්ට පටහැනි තත්ත්වයක් නම්, 2021 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ‘sex’ Google කළ රටවල් අතර ඉතියෝපියාවද අතික්‍රමණය කරමින් පළමු තැනට පත්වීම සම්බන්ධයෙන් ද විමසා බැලිය යුතුය.

මෙහි ආරම්භයේ සඳහන් කළ ළමා ගීතය ඇමරිකාවේ කුඩා දරුවන්ට ශ්‍රවණය කරන්නට සලසන ගීතයකි. එහි සැබෑ තේරුම හා ඒ තුළින් පොදු අවකාශය තුළ ස්ත්‍රිය හා පුරුෂයා අතර ගොඩ නගන්නට උත්සාහ කරන එකමුතුබව, සුහදතාවය තේරුම් ගත හැකිය. “Jack & Jill Nursery Song” ලෙස අන්තර්ජාලය තුළින් එම ගීතය පරිශීලනය කිරීමට ඔබට හැකිනම් එයට කිහිප වතාවක් හොඳින් අවධානය යොමු කරන්න. කුඩා කාලයේ සිටම පවුල තුළින් හා පාසල තුළින් ලිංගිකත්වය, ප්‍රතික්ෂේප කරන ලද මාතෘකාවක් වීම හේතූවෙන් මෙවැනි තත්ත්වයක් ඇති නොවේ යැයි තක්සේරු කිරීමට කිසිවෙකුට නොහැකිය. සිංගප්පූරුව, ඇමරිකාව වැනි රටවල ස්ත්‍රී-පුරුෂභාවය, පොදු අවකාශය තුළ නිරන්තරයෙන් ආමන්ත්‍රණය වන අතර එහි අද්භූත යමක් නොවන බව කුඩා කාලයේ සිටම දරුවාගේ මනෝභාවය තුළද ගොඩ නැගෙන්නට අවශ්‍ය නිර්ණායක එම සමාජය තුළින් හඳුනාගත හැකිය.

නමුදු ලාංකික සමාජය තුළ අදවන විට කොරෝනා ව්‍යසනය හමුවේ ඔන්ලයින් අධ්‍යාපනයට දරුවා යොමු වීමත් සමග සමාජයේ පාසල් දරුවන් අසභ්‍ය යැයි සැලකෙන දර්ශන නැරඹීම සහ ඒවාට ඇබ්බැහි වීම ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ. මෑත කාලයේ කතාබහට පැමිණි ‘Online Video Game’ ද එහි තවත් පැතිකඩකි. අධ්‍යාපනය සම්බන්ධ රූසෝගෝ ප්‍රසිද්ධ සාකච්ජාවෙහි එන පිරිමි ළමයා (එවිල්) සඳහා සුදුසු වන්නේ පීඩාකාරි ව්‍යුහයන්ගෙන් මිදීමට අවශ්‍ය අධ්‍යාපනයක් වන අතර, ගැහැණු ළමයා (සොපි) සඳහා සුදුසු වන්නේ පිරිමියාට කීකරුවීම මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමයකි. වර්තමාන සමාජ ක්‍රමයද දිගින් දිගටම ආමන්ත්‍රණය කරන්නේ එවැනි තත්ත්වයක් නම්, ඉදිරි අනාගතය සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමේ බරපතළ අභියෝගයට මුහුණ දීමට ශ්‍රි ලාංකික සමාජයට සිදු වේ.

කුඩා දියණියකට සිදු වූ වද හිංසා සම්බන්ධව මාධ්‍ය තුළින් දිගින් දිගටම අනාවරණය කළ ද මේ වන තෙක් එහි සමාලෝචනය පිළිබඳව තවමත් ප්‍රශ්නාර්ථයක් පවතී. අනෙක් පසින් දෛනිකව වාර්තාවන කොවිඞ් රෝගීන් සංඛ්‍යාව සම්බන්ධයෙන්ද ගැටලු පවතින මොහොතක මේ සම්බන්ධව දැක්වූ ක්ෂණික ප්‍රතිචාරය සම්බන්ධයෙන් තර්ක විතර්ක මතු කිරීම ඔබට අයත් කාර්යයකි. සිංගප්පූරුවේ පමණක් නොව තායිලන්තයේ ද තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙන් වූ අවකාශ පවතින අතර ඉල්ලුමට අනුව සැපයුම ලබා දීම එවැනි අවකාශයන් තුළින් සිදු වේ.

ලිංගිකත්වය යනු සැබෑ වශයෙන්ම අවශ්‍යතාවයකි. එකී අවශ්‍යතාවය තුළ පුද්ගලයාට තෝරා ගැනීම් සිදු කිරීමටද හැකියාව ඇත. ශ්‍රී ලාංකික සමාජ ක්‍රමය හැඩ ගැසී තිබෙන සංස්කෘතික වටිනාකම් පද්ධතියක්ද පවතී. එයට නිගා කිරීම හෝ කෙලෙසීම සමග අවශ්‍යතාවයන් පටලවා ගැනීම සම්බන්ධයෙන් නැවත වරක් සිතා බැලිය යුතුය. පාසලේ සිටම කතා බහ කරන්නට අකමැති සමාජය තුළ ආමතන්ත්‍රණය නොවන භයානක තේමාවක් ලෙස අර්ථගැන්වීම තුළින් සිදුවන්නේ ලිංගික හිරිහැර මෙන්ම ළමා ගැබ්ගැනීමේ ප්‍රතිශතයන් දෛනිකව ඉහළ යාමයි. සෞඛ්‍ය සමීක්ෂණ වාර්තා අනුවල 2018 හා 2019 වර්ෂවලදී ළමා ගැබ් ගැනීමේ ප්‍රතිශතය 4.4% ක් ලෙස වාර්තා වන පසුබිමක එලෙස අනාවරණය නොවන සිදුවීම් ද සමාජය තුළ පවතින බව සඳහන් කළ යුතුය. ඔබේ දරුවා ඔන්ලයින් අධ්‍යාපනයට සම්බන්ධ වී ඇති මේ මොහොතේ දරුවාගේ හැසිරීමේ වෙනස්වීම් (තනිව සිටීමට උත්සාහ කිරීමල සමාජ ආශ්‍ර වෙනස් වීම) වැනි සරල වෙනස්වීම් සිදුවන්නේනම්, දෙමාපියන් වශයෙන් ඔබ ඒ සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලිය යුතුය. සමාජය තුළ කෙසේ වුවත් ඔබේ දරුවා සමග විවෘත මනසකින් සාකච්ජා කිරීමේ හැකියාව සහ සංවාද ගොඩ නගා ගැනීමේ පසුබිම ඔබ විසින් සකසා ගත යුතුය.

ඇරිස්ටෝටල් සඳහන් කළ ආකාරයට මිනිසාට උපතින්ම හිමි වන ආශාවක් ලෙස සැලකෙන ලිංගිකත්වය සහ එහි සමාජ අවකාශය සම්බන්ධයෙන් පිළිකුල් සහ අද්භූතජනක විපර්යාසයක් ලෙස නොව, විවෘත මනසකින් ඒ පිළිබඳව සංවාද ගොඩ නැගීම ඉදිරියටත් සිදු නොවන්නේනම්, එළඹෙන වසරේදීත් ජාත්‍යන්තරය තුළින් ලබා ගත් ජයග්‍රහණය තහවුරු කර ගැනීමේ හැකියාව හිමිවනු නොඅනුමානය.

iMage; fineartamerica

සචිනි උමේෂා ගිතාංජලි | Sachini Umasha Geethanjalee.

* මෙම ලිපියේ සියලු අර්තකතනයන්, අදහස් ඇතුලු සියලු දේ ලිපියේ රචිකාවගේ පෞද්ගලික අදහස් බව කරුණාවෙන් සලකන්න. Editor; vikalpa.org