නොවැම්බර් 2දා ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ දණ්ඩමුක්තිය අවසන් කිරීම සඳහා වන ජාත්‍යන්තර දිනයයි. ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වන කමිටුවේ (CPJ) සංඛ්‍යාලේඛන අනුව, 2020 වසරේදී ජනමාධ්‍යවේදීන් 22දෙනෙක් ඔවුන් විසින් කරන ලද කාර්යයන් හේතුවෙන් ඝාතනයට ලක්වූහ. එම සංඛ්‍යාව 2019 වසරේදී සිදුවූ එවැනි ඝාතන සංඛ්‍යාව මෙන් දෙගුණයකි. ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වන කමිටුව විසින් 2021දී සිදුකර තිබෙන හඳුනාගැනීම් අනුව, එම වසරේදී ද සංඛ්‍යාව ඒ හා ආසන්න වේ. එහෙත්, ඇෆ්ඝනිස්ථානය හා එවැනි අනෙකුත් අධි අවදානම් රාජ්‍යයන්ගේ තිබෙන තත්වය හේතුවෙන් වසර අවසානයේදී ඇතිවිය හැකි තත්වය පිළිබඳ අනාවැකි කීම දුෂ්කර වී තිබේ. පසුගිය වසර දහය තුළදී ජනමාධ්‍යවේදී ඝාතන අතරින් 81%ක්ම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව නීති මගින් කටයුතු කර නොමැති බව ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වන කමිටුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

නොවැම්බර් 02දින, හේග්හි පිහිටි ස්ථාවර මහජන විනිශ්චය සභාව විසින් ජනමාධ්‍යවේදී ඝාතන සම්බන්ධයෙන් විභාගයන් ආරම්භ කරනු ලැබේ. ඒ සඳහා පදනම වන්නේ මාධ්‍ය නිදහස සඳහා වූ සංවිධාන අතර සන්ධානයක නඩු පැවරීමයි. එම සන්ධානයට, Free Press Unlimited, Committee to Protect Journalists සහ Reporters Without Borders යන සංවිධාන අයත් වේ. 02වන දින ආරම්භ වන විවෘත විභාගයට අදාළ විශේෂ සිදුවීම් සම්බන්ධ වෙන වෙනම විභාගයන් ලබන අවුරුද්ද මුලදී ආරම්භ වේ. සමාප්ති විභාගය 2021 මැයි 3 දින පුවත්පත් නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනයේදී පැවැත්වීමට නියමිතය. මිගෙල් ඒන්ජල් ලෝපේස් ඝාතනය සම්බන්ධයෙන් මෙක්සිකෝ රාජ්‍යයට එරෙහිව ද, නබිල් අල්-ශ්‍රබාජි ඝාතනය සම්බන්ධයෙන් සිරියා රාජ්‍යයට එරෙහිව ද, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව ද නඩු පැවරීම් සිදුකර තිබේ. ප්‍රවීන කර්තෘවරයෙක් වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ විභාගයන් 2021 ජනවාරි 12 හා 13 දිනවල පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා රජයට එරෙහි චෝදනා වන්නේ ජීවත්වීමේ අයිතිය හා අදහස් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීම සහ එම තත්වය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම ලබාගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමයි.

2009දී සිදුවූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය සෙවීමේ වෙනත් මුලපිරුම් ද මෙම විභාගයන්ගෙන් අනතුරුව ක්‍රියාත්මක කරනු ඇත. 2019 වසරේදී එක්සත් ජනපදයේ අධිකරණයක නඩුවක් පැවරීම හා 2021දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පැමිණිලි කිරීම එයට අයත් වේ. දශකයකට අධික කාලයක් තිස්සේ යුක්තිය ඉටු නොවුණ සංදර්භය තුළ මෙම ක්‍රියාමාර්ග සඳහා නායකත්වය ලබාදෙන්නේ ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසිනි.

1980 දශකයේ සිටම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් රැසක් පැහැරගෙන යාමට, ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක්ව තිබේ. 2005-2010 කාලසීමාව භයානකම අවධිය විය. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනමාධ්‍යවේදියෝ(JDS) සංවිධානය නිවේදනය කරන පරිදි මෙම කාල පරිච්ඡේදය තුළදී ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් 44ක් ඝාතනයට හෝ අතුරුදහන් කිරීමට ලක්වූහ. බොහෝදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. රඳවා තබන ලදී. තවත් බොහෝදෙනෙක් පහරකෑමට ලක්වූහ. තර්ජනයට ලක්වූහ. බලහත්කාරකම්වලට හා හිංසනයට ලක්වූහ. මාධ්‍ය ආයතන ප්‍රහාරවලට ලක්වී විනාශ විය. සන්ඩේ ලීඩර් පුවත්පතට එරෙහිව පීඩාකාරී ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදී. එම පුවත්පත ඝාතනයට ලක්වූ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග විසින් ආරම්භ කර ප්‍රධාන කර්තෘත්වය දරන ලද පුවත්පතකි. යුද සමයේ යාපනයේ ජනප්‍රිය පුවත්පතක් වූ උදයන් පුවත්පතට, එම ප්‍රකාශන ආයතනයට හා ජනමාධ්‍යවේදීන්ට දැඩි හානි සිදුවිය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සඳහා වන සංවිධාන, ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංගම් සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන්, ජාත්‍යන්තර හවුල්කරුවන් සමග එක්ව යුක්තිය වෙනුවෙන් අඛණ්ඩව උද්ඝෝෂණය කරති. එහෙත්, ජනමාධ්‍යවේදීන් ඝාතනය, අතුරුදහන් කිරීම හා ඔවුන්ට එරෙහි වෙනත් අපරාධ සම්බන්ධයෙන් විමර්ශන හා වගඋත්තරකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ සිදුවීම් සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශන සිදුවන්නේ නැත. පොලිස් හා මහේස්ත්‍රාත් මූලික පරීක්ෂණ බොහෝවිට කාලයත් සමග ස්වාභාවික මරණයකට පත්වේ.

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලින් අනුපාතිකව විශාල ප්‍රතිශතයක් යුද සමයේදී උතුරු නැගෙනහිර පළාත්වල ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ වන අතර ඒවා සම්බන්ධයෙන් පවතින අවධානය ද සාපේක්ෂ වශයෙන් අවමය. කොළඹ ජනමාධ්‍යවේදීන්ට එරෙහි දරුණු අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයන්ගේ අවම ප්‍රගතියක් පසුගිය ආණ්ඩුව බලයේ සිටි සමයේ දක්නට ලැබුණි. එහෙත්, දෙමළ ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ විමර්ශනවල එවැනි හෝ ප්‍රගතියක් දක්නට නොලැබේ. ජාත්‍යන්තර මහජන විනිශ්චය සභාව හමුවේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන චෝදනාවෙහි, එය සිවිල් යුද සමයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහි සැලසුම් සහගත අපරාධ අතරින් එක් සිද්ධියක් බව සඳහන් වේ.

අපරාධකරුවන්ට ලැබී තිබෙන මුක්තිය ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ හා ප්‍රචණ්ඩත්වයට ලබාදුන් බලපත්‍රයක් බවට පත්වී තිබේ. එම අපරාධ අතරට අත්අඩංගුවට ගැනීම්, රඳවාතබාගැනීම්, පහරදීම්, තර්ජන, බලහත්කාරකම් හා ප්‍රවේශය සීමාකිරීම් ඇතුළත් වේ. ජනමාධ්‍යවේදීන් රටින් පළායාම දැනටත් සිදුවන අතර, තවත් අය වෘත්තීය කටයුතුවලදී ස්වයං වාරණ පනවාගෙන සිටිති.

පසුගිය වසරේ ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ මුක්තිය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර දිනයේදී, ශ්‍රී ලාංකික වෙබ් අඩවියක් වන ‘විකල්ප‘ විසින් ඝාතනයට, අතුරුදහන් කිරීමට හා ප්‍රහාරයට ලක්වූ ජනමාධ්‍යවේදීන් අටදෙනෙකු පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලදී. ඒ වනවිට එම සිදුවීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටුනොවී ගතවී තිබුණු කාලය දින 3995 සිට දින 7319 දක්වා විය. දීර්ඝතම කාලයක් යුක්තිය ඉටුනොවී පවතින්නේ 2000 වසරේ ඔක්තෝබර් මාසයේදී සිදුවූ යාපනයේ ජනමාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය සම්බන්ධයෙනි. වසර 20කට වැඩි කාලයකට පසුව, මෙම වසරේ මාර්තු මාසයේදී ජනමාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු ඉදිරියට ගෙන නොයන ලෙස නීතිපතිවරයා විසින් අධිකරණයට උපදෙස් ලබාදී ඇති බවයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරන ආකාරයට, ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් එක් පුද්ගලයකුට හෝ එරෙහිව චෝදනා ඔප්පු කර නොමැත. අධි චෝදනා ගොනුකිරීමේ මට්ටම දක්වා පැමිණ තිබෙන්නේ නඩු දෙකක් පමණි. එයින් ද එකක් ස්ථාවරවම මෙන් නතර වී තිබේ.

අනෙක් නඩුව වන්නේ ජනමාධ්‍යවේදී හා කාටුන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම සම්බන්ධ නඩුවයි. මෙම අතුරුදහන් කිරීම සිදුවූයේ 2010 ජනවාරි මාසයේදීය. ජනමාධ්‍යවේදියකුට එරෙහි දරුණු අපරාධයක් සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් සොයා පවත්වන ලද විමර්ශනයක් වැඩිම දුරට විහිදුණු නඩුව එයයි. එහිදී ද වසර පහක පමණ කාලයක් කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබිණි. 2015දී ආණ්ඩු මාරුවත් සමග පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ විමර්ශනවල ප්‍රගතියක් දක්නට ලැබුණු අතර යුදහමුදාවේ බාධා සහ සහයෝගය ලබානොදීම් මධ්‍යයේ අධිකරණය වෙත කරුණු වාර්තා කිරීම සිදුවිය. 2019 නොවැම්බරයේදී, ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඓතිහාසික හා දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකිය හැකි ප්‍රගතියක් දක්නට ලැබිණි. එනම්, නීතිපතිවරයා විසින් යුදහමුදා නිලධාරීන් නවදෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමයි. මෙම නිලධාරීන් නවදෙනා මීට පෙර අත්අඩංගුවට ගෙන නිදහස් කර තිබිණි. කෙසේ වෙතත්, එම නඩුවේ පවා අනාගතය කුමක් වේද යන්න දැන් අපැහැදිලිය. එම නඩු පැවරීම් සිදුවීමත් සමගම, එම අතුරුදහන් කිරීම සිදුකළ සමයේ බලයේ සිටි පාර්ශ්වය නැවතත් බලයට පැමිණි අතර, ඔවුන් බලයට පැමිණියේ රණවිරුවන්ට එරෙහිව නඩු නොපවරන බවට පොරොන්දු වෙමිනි. එක් ප්‍රධාන විමර්ශන නිලධාරිවරයකු රටින් පළාගිය අතර, එම විමර්ශන අධීක්ෂණය කළ ප්‍රධානියකු අත්අඩංගුවට ගෙන රඳවා තබන ලදී. 2020-2021 සමයේ සැලසුම් කර තිබුණු බොහෝ නඩු විභාගයන් කොවිඩ්-19 හේතුව ලෙස දක්වමින් කල්දමා ඇත.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතන විමර්ශනය මෙතරම් දුරට රැගෙන ඒමට ඉවහල් වූයේ ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් 12 වසරක් මුළුල්ලේ මරණ තර්ජන, අපහාස, හිංසා මැද යුක්තිය උදෙසා කරන ලද අධිෂ්ඨාන සහගත, ධෛර්ය සම්පන්න අරගලයයි. ඇය එම අරගලය ඉදිරියට ගෙනගියේ පියා අහිමි වූ පුතුන් දෙදෙනා ද හදාවඩාගන්නා අතරය. ඇය පැමිණිලි ගණනාවක් කළාය. නඩු ගණනාවක විභාග සියගණනකට සහභාගී වූවාය. විරෝධතා, උද්ඝෝෂණ, පිකටිං, පෙළපාලි සිය දහස් ගණනකට නායකත්වය දුන්නාය. දේශපාලනඥයන් හට බලපෑම් කළාය. නීතිපතිවරයා, හමුදාපති, තානාපතිවරුන්, එක්සත් ජාතීන්ගේ නිලධාරීන්, ජනමාධ්‍යවේදීන් හා නීතීඥවරුන් සමග සාකච්ඡා පැවැත්වූවාය. දේශීය අධිකරණයෙන් යුක්තිය ඉල්ලා අරගල කරද්දී එක්තරා භික්ෂුවක් ඇයට අධිකරණ භූමියේදීම තර්ජනය කළේය. ඒ සම්බන්ධයෙන් සමථකරණය ප්‍රතික්ෂේප කළ ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළාය. අධිකරණයෙන් දඬුවම් ලද භික්ෂුව පසුව ජනාධිපති සමාවක් යටතේ නිදහස ලැබීය. යුක්තිය සොයා අරගල කිරීම සඳහා ඇය අඩු වශයෙන් කිලෝමීටර් 411,220ක් දුර ඇවිද තිබෙන බව එක් දේශීය ජනමාධ්‍යවේදියකු විසින් තක්සේරු කරන ලදී.

දශකයක අරගලයකින් පසු ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාගවන මට්ටමට ගෙන ඒමට සන්ධ්‍යා එක්නැලිගොඩ සමත්වීම මුක්තියට අභියෝග කරන්නට ඉදිරිපත්වන අයට ආදර්ශයකි. එක් එක් සිදුවීම සම්බන්ධයෙන් මෙන්ම, සමස්ත ප්‍රවණතාවේම ප්‍රගතිය හෝ ප්‍රගතියක් නොමැතිකම ගැන වාර්තාගත කිරීම අවශ්‍යය. අධිකරණ තුළ නීතිමය ක්‍රියාවලි සම්බන්ධයෙන් ක්‍රමානුකූල හා පරිපූර්ණ අධීක්ෂණයක් අවශ්‍යය. පීඩිත පාර්ශ්වවලට ගුණාත්මක හා ස්ථිරසාර නීතිමය නියෝජනයක් තහවුරු කළ යුතුය. වෙනත් ඍජු හා වක්‍ර නීතිමය මැදිහත්වීම් සිදුකළ යුතුය. පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව වැනි අදාළ ආයතන සමග මූලධර්මානුකූලව සම්බන්ධ විය යුතුය. සමාජ, සංස්කෘතික හා දේශපාලනික සංවර්ධනයන් අධීක්ෂණය හා ලේඛනගත කිරීම ද අවශ්‍යය. වගවීම දිරිමත් කිරීම සඳහා ප්‍රයෝජනවත් වේ නම්, ජාත්‍යන්තර සහයෝගය ලබාගත යුතුය. 2021 ජනවාරි මාසයේදී ජාත්‍යන්තර මහජන විනිශ්චය සභාවෙහි ලසන්ත වික්‍රමතුංග ඝාතනය විභාග කරන අවස්ථාවේදී මෙහි විශේෂ වැදගත්කමක් තිබේ. බේරුණු පුද්ගලයන්ට හා වින්දිතයන්ගේ පවුල්වලට සහයෝගය ලබාදීම සඳහා වැඩි අවධානයක් යොමුකළ යුතුය. විශේෂයෙන්ම, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මුක්තියට අභියෝග කරන සන්ධ්‍යා එක්නැලිගොඩ, අහිම්සා වික්‍රමතුංග වැනි අයට සහයෝගය ලබාදීම ඉතා වැදගත්ය.

ජනමාධ්‍යවේදීන්ට එරෙහි බරපතල අපරාධ සම්බන්ධයෙන් දණ්ඩමුක්තිය දිරිගන්වන එක් මෑතකාලීන සංවර්ධනයක් වන්නේ, 2015-2019 සමයේ පැවති රජය වෙතින් දේශපාලන පළිගැනීමට ලක්වූ බව කියන පුද්ගලයන් පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් 2020 ජනවාරි මාසයේදී පත්කිරීමයි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදුකරන ලද අධ්‍යයනයකට අනුව, කොමිෂන් සභාව විසින් සිදුකරන ලද මුල් කාර්යයන් අතරින් එකක් වන්නේ, කොමිෂන් සභාවේ අවධානය යොමුවී තිබුණු නඩු සම්බන්ධ විමර්ශන හා විභාගයන් නැවැත්වීමට කටයුතු කිරීමයි. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුව ද ඒ අතර විය.

එක්නැලිගොඩ නඩුවේ පැමිණිල්ලේ එක් සාක්ෂිකරුවකු කොමිෂන් සභාව ඉදිරියට පැමිණ පැවසූ කරුණක් වූයේ තමන් කලින් සාක්ෂි දුන්නේ බලපෑම් මත බවයි. 2020 දෙසැම්බර් මාසයේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදුව, 2021 මැයි මාසයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද කොමිෂන් සභා වාර්තාවේ අවසන් පිටපත අනුව, ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීවරයාට එරෙහිවත්, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් විභාග වෙමින් තිබෙන නඩුවේ චෝදනා ලැබ සිටින හමුදා නිලධාරීන්ටත් එරෙහිවත් තිබෙන චෝදනා ඉවත්කර ගැනීමට කොමිෂන් සභාව නිර්දේශ කර ඇති බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ වාර්තාවේ දැක්වේ. ජනමාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම හා වධහිංසනයට ලක්කිරීම සම්බන්ධ නඩුවේ සැකකරුවන් වී සිටින අය සම්බන්ධයෙන් ද ඒ හා සමාන නිර්දේශ කොමිෂන් සභාව විසින් සිදුකර තිබේ.

මහාධිකරණයේ පවරා තිබෙන එක්නැලිගොඩ අතුරුදහන්කිරීම සම්බන්ධ නඩුවේ පළමු විත්තිකරුට විදේශ සේවා තනතුරක් ලබාදෙන ලෙස ද කොමිෂන් සභාව විසින් නිර්දේශ කර තිබේ. ඉහත නඩු සියල්ලේදීම, විමර්ශන සිදුකර, පොලිස් හා හමුදා නිලධාරීන්ගේ සම්බන්ධය පිළිබඳ සාක්ෂි නිරාවරණය කරගත් පොලිස් නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග නිර්දේශ කර තිබේ. සමස්තයක් ලෙස, කොමිෂන් සභාවේ ප්‍රවේශය වන්නේ, ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකරන ලද අපරාධ ඇතුළු දේශපාලන හා හමුදා සම්බන්ධතා සහිත දරුණු අපරාධ සම්බන්ධ විමර්ශන දේශපාලන පළිගැනීම් ලෙස සැලකීමයි. 2021 අප්‍රේල් මස අගමැති මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව වෙත ගෙන එන ලද යෝජනා සම්මතයක් අනුව, කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන ලද බව ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙන්වාදෙයි. අධිකරණයේ විභාගවෙමින් තිබෙන නඩු කිහිපයක් නිෂ්ප්‍රභ කිරීමට යෝජනා කර තිබේ. එපමණක් නොව, කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නඩුවල, විමර්ශන නිලධාරීන්, නීතීඥවරුන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සාක්ෂිකරුවන් හා වෙනත් පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද යෝජිතය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, කීත් නොයාර් පැහැරගෙන යාම ආදිය මෙම නඩු අතර වේ. තවත් වැදගත් ප්‍රවණතාවක් වන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවේ විත්තිකරුවන් වූ හමුදා බුද්ධි නිලධාරීන් නිදහස් කිරීම සඳහා කොමිෂන් සභාව විසින් කර තිබෙන නිර්දේශය ඉවත දමන ලෙස ඉල්ලා එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමයි.

සමස්තයක් ලෙස ගත් කල, ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකරන ලද බරපතල අපරාධ සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීමට එකකට පසු එකක් බලයට පත්වූ ආණ්ඩු සමත් වී නැත. එම තත්වයේ වෙනසක් සිදුවන බවක් ද පෙනෙන්නට නැත. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නීතිපතිවරයා සහ ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත්කිරීමේ අභිමතානුසාරී බලය ජනාධිපතිවරයා වෙත පවරා තිබේ. එබැවින්, වගවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් ගැටලු නිර්මාණය විය හැකිය.

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් සමාජ ක්‍රමය තුළ ගැඹුරට කාවැදුණු දණ්ඩමුක්තියට අභියෝග කිරීමේ කාර්යයේදී, ජනමාධ්‍යවේදීන්ට, මාධ්‍ය නිදහස හා සම්බන්ධ සංවිධානවලට, ජනමාධ්‍යවේදීන්ගේ සංගම්වලට, මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් සේවය කරන මාධ්‍ය ආයතනවලට සහ කර්තෘවරුන්ගේ හා විකාශකවරුන්ගේ සංසදය වැනි සංවිධානවලට වඩ වඩාත් නිර්මාණශීලීව, අධිෂ්ඨාන සහගතව හා පරිපූර්ණ අන්දමින් කටයුතු කිරීමට සිදුවී තිබේ. මෙම කාරණය ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට පමණක් නොව, සියලු අපරාධවලට අදාළය.

(2021 නොවැම්බර් 2දා ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියෙහි, රුකී ප්‍රනාන්දු විසින් ලියා පළකරන ලද Challenging Impunity For Crimes Against Journalists ලිපියෙ හි සිංහල පරිවර්තනයයි)

රුකී ප්‍රනාන්දු | Ruki Fernando