නව පරපුරේ ගායිකාවක් වන යොහානි දිලෝකා ද සිල්වා(යොහානි) මේ වන විට ජනප්‍රිය ගායිකාවකි. ඇයගේ එක් ගීතයක් ලංකාවේ මෙන්ම ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකම ජනප්‍රිය විය. විශේෂයෙන් YouTube ඇතුලු සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක් ලෙස ඇය ඉහළට එසවිනි. ඉන්දියාවේ සජීවි ප්‍රසංග සදහා ද ඇයට ආරාධනා ලැබිණි. ඉන්දියාවේ සිනමා තරු සමග සජීවි වැඩසටහන් සදහා ද යොහානිට අවස්ථාව හිමි විය. එක් පැත්තකින් නූතන සමාජ මාධ්‍ය හි ප්‍රභලත්වය විසින් ඔසවා තැබූ චරිතයක් ලෙසත් ඇයව වර්ගීකරණය කළ හැකිය. නමුත් මේ සටහන ඇයගේ ගීත හෝ ඇයගේ කුසලතාවයන් පිළිබද ව විචාරය සදහා ලියවෙන්නක් නොවේ.

යොහානි ගේ මේ ජනප්‍රියත්වය නිසා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඇයට කොළඹින් ඉඩමක් ලබා දීමට පසුගිය දා තීන්දු කළේය. ඒ අනුව ඇයට බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවත ප්‍රදේශයෙන් පර්චස් 9.68ක බිම් කොටසක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කළ යෝජනාවක ට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව මාධ්‍ය හමුවකට එක්වූ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පැවසීය.

යොහානිට ඉඩමක් දීම වරදක් නැත. යොහානිට පමණක් නොව ලංකාවේ ඕනෑම පුරවැසියෙක්ට ඉඩමක් ලබා දීමේ වැරැද්දක් ඇත්තේ නැත. විශේෂයෙන් හිසට සෙවනක් ලෙසත්, සිය ජීවිතය ගැටගසා ගැනීම සදහා යම් කිසි ඉඩමක් කාට හෝ ලබා දීමේ කිසිදු වැරැද්දක් නැත. නමුත්, යොහානිගේ ‘ජනප්‍රියත්වය’ නිසා මෙසේ රාජ්‍යට අයිති ඉඩමක් ආණ්ඩුව විසින් ‘සංතෝසමක්’ ලෙස ලබා දීම පිළිබද අප විමසිය යුතු කරුණු කිහිපයක් තිබේ. එකක් නම්, කිසියම් ‘ජනප්‍රිය’ අයෙක්ට හෝ ‘සුවිශේෂි අයෙක්ට’ කිසියම් ආණ්ඩුවක් විසින්, තෑගි ලබා දීමේ දී ලබා දෙන්නන්ගේ අපේක්ෂාවන් කුමක්ද යන්නයි. බොහෝ විට ලංකාවේ පසුගිය කාලය පුරාම සිදු වූයේ ජනප්‍රිය, ප්‍රසිද්ධ, විශේෂ චරිත සදහා රාජ්‍යට අයත් වත්කම් තෑගි, සංතෝසම්(තනතුරු,නම්බුනාම,දේපල,කොන්තරාත් ආදී) ලෙස ලබා දුන්නේ ඇය හෝ ඔහු තමන්ගේ ඔඩොක්කුවට දමා ගැනීමේ චේතනාවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මහින්ද රාජපක්ෂ චරිතය වෙනුවෙන්, ‘මහරජානෝ’ ගීතය ගායනා කළ ගායිකාව නමින් පාරක් නම් කළේය. ඒ තවත් එකකි. එසේම මේ වන වන විට විවාද සම්පන්න චරිතයක් බවට පත් ව ඇති කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති තනතුරහි සිටින මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ගේ පත් කිරීම ගැන ජනාධිපතිවරයා කී කතාව බලන්න- ‘අපි ට වැඩකල අයට අපි තනතුරු දෙනවා’ වැනි අදහස් ඔහු ප්‍රකාශ කළේය. මේ සියලු දේවල් තමන්ගේ පක්ෂයේ, ආණ්ඩුවේ දේශපාලනය සුජාත කර ගැනීම වෙනුවෙන් වන තුටු පඩුරුය. එවැනි තුටු පඩුරක ගොදුරක් බවට පත් වීම ඇතැම් කලාකරුවන් යැයි කියා ගන්නා අයට වගේ වගක් නැති බව අපි දුටුවෙමු. නමුත් යොහානි නම් සමාජ මාධ්‍ය විසින් ඔසවා තැබූ ශිල්පිණියට එසේ නොවේවායි ප්‍රාර්තනා කිරීම හැර අපට කළ හැකි දෙයක් නැත.

කේප්පාපිලව් හී සිය ඉඩම් අයිතිය ඉල්ලා සාමකාමී විරෝධතාවයක යෙදෙන ස්ත්‍රීන්(2019 ජනවාරි 26 රාත්‍රී/image; vikalpa.org)

ඉඩම් තෑග්ගක් ලෙස ලබා දෙන රටේ තවත් ප්‍රධාන කරුණක් ඇත. වසර ගණනාවක් පුරා සිය සාම්ප්‍රදායක් ඉඩම් වෙත ළගාවීමට නොහැකිව, ඈත සිට සිය ඉඩම් දෙස දුක්මුසු හැගීමෙන් බලා සිටින ප්‍රජාවක් තවමත් ලංකාවේ සිටිති. විශේෂයෙන් උතුරු නැගෙණහිර ඇතුලු යුද්ධයේ සෘජු ගොදුරු බවට පත් වූ ප්‍රදේශ ඉන් විශේෂිතයි. යුදමය අවශ්‍යතාවයන් යැයි කියමින් උතුරු නැගෙණහිර මිනිසුන්ගේ ඉඩම් මිලිටරිය විසින් ලබා ගත්තේ ‘මානුෂීය මෙහෙයුම’ යැයි නම් කරමිනි. බොහෝ මිනිසුන් තමන්ගේ ඒ සාම්ප්‍රදායික ඉඩම්, කිසිවක් කරකියා ගත නොහැකිව මිලිටරියේ ඒ අවශ්‍යතාවය වෙනුවෙන් ලබා දී නිහඩවම සිය ආරක්ෂාව පතා වෙනත් ප්‍රදේශවලට ගමන් ගත්තේය. තවත් සමහරෙක්, යුද්ධයේ බිහිසුනු බව හමුවේ සිය ආරක්ෂාව පතා, පරම්පරා ගණනාවක සිය ජීවිතය ට හුස්මක් වූ ඒ සියලු ඉඩම් අතහැර අරක්ෂාව පතා පළා ගියේ ය.

යුද්ධය අවසානයේ ඒ බොහෝ මිනිසුන් නැවතත් සිය සාම්ප්‍රදායික ඉඩම් වලට පැමිණෙමින් සිටියේ ය. නමුත් ඔවුන් බොහෝ දෙනෙක්ට දක්නට ලැබුණේ සිය ඉඩම්වල සුවිසල් ලෙස ඉදි කරන ලද මිලිටර් ගොඩනැගිලිය. සිය නිවෙස් වල හමුදාවෝ ලැගුම්ගෙන සිටින අයුරුය. හැකි පමණ ඉල්ලීම් කළත් සිය දේපල ඔවුන්ට ලැබුණේ නැත. එබැවින් සිය ඉඩම් ඉල්ලා ඇතැම් තැන් හී සාමකාමී සත්‍යග්‍රහ ආරම්භ කළේය. විරොධතා කළේය. විවිද අයුරින් ඉල්ලීම් කළේය. එවායේ ප්‍රතිඵලයක් ලෙස කිසියම් ප්‍රමාණයක ඉඩම් ඔවුන්ට නැවත හිමි විය. නමුත්, යුද්ධය අවසන් වී වසර 12කට වඩා ගෙවී ඇතත්, මිලිටරිය විසින් එසේ ලබා ගත්, ජනතාවට අයිති ඒ සියලු ඉඩම් නැවත ලබා ගැනීමට නොහැකි වී ඇත. උතුරේ මුල්ලිකුලම්, කේප්පාපිලව් උදාහරණ දෙකකි. තවමත් ඔවුන් ඒ සදහා සාමකාමී අරගලවල යෙදී සිටිති. ඉල්ලීම් කරති. උපවාස කරති. ඔවුන්ට අයිති එම ඉඩම් ලබා ගැනීම සදහා කළ හැකි උපරිමය කරමින් සිටිති. නමුත් ඒ මිනිසුන්ගේ ඉඩම් මත ගොඩනැගුනු මිලිටරි අධිපත්‍ය තවමත් මිනිසුන්ගේ ඒ සාමකාමී යුක්තිගරුක හඩට සවන් දෙන සේයාවත් වත් නැත. වත්මන් ආණ්ඩුව ඒ මිනිසුන්ගේ ඉඩම් අයිතිය ‘යළි ලබා නොදීම’ ප්‍රතිපත්තියක් ලෙස පවත්වාගෙන යන බවක් පෙනෙන්නට තිබේ. ඒ පිළිබද විස්සෝප වී වැඩක් වන්නේ නැත. එය ගෝඨාබය රාජපක්ෂ ආණ්ඩුවේ ජානමය ලක්ෂණයකි. ජානමය ලක්ෂණකයක් ඉවත් කිරීම පහසු නැත. එබැවින්, උතුරු නැගෙණහිර සිය සාම්ප්‍රදායික ඉඩම් ඉල්ලා තවමත් අරගල මිනිසුන් සහ ගැහැණුන් ගේ හඩ ලෝකයටම ඇසුනත්, දකුණේ බොහෝ කන්වලට එය ඇසේන්නේ නැත. යෝධ සංවර්ධන ව්‍යාපෘති නිසා සිය සාම්ප්‍රදායික වාස භූමි අහිමිව දුක් විදින දකුණේ මිනිසුන්ගේ වේදනාව ද ආණ්ඩුවට ඇසෙන්නේ නැත. 2021 යොහානිට කොළඹින් ඉඩමක් දෙන්න අමාත්‍ය මණ්ඩලය තීරණය කරන විට, පානම මිනිසුන්ගේ ඉඩම් අයිතිය ලබා දී ම සදහා, 2015 අගෝස්තුවේ කැබිනට් මණ්ඩලය ගත් තීරණය තවමත් කුණු මුල්ලේය.

එවැනි බිහිරිමය තත්ත්වයක් තුළ ගීතයකින් ජනප්‍රියත්වයකට පත් වූ යොහානිට රාජ්‍ය සතු ඉඩමක් සංතෝසමක් ලෙස ලබා දීමට වත්මන් ආණ්ඩුවට ඇති වූ වුවමනාව අප කියවා ගත යුත්තේ ඉහත දැක්වූ ලංකාවේ ඉඩම් අයිතිය පිළිබද පවතින යතාර්තය තුළය. තෑග්ගක් ලෙස කවර කෙනෙක් ට හෝ ඉඩමක් ලබා දීමට හැකියාව ඇත්නම්, මිලිටරි අවශ්‍යතා යැයි කියමින් මෙන්ම ඇතැම් විට කිසිවක් නොපවසා ලබා ගත් ලංකාවේ මිනිසුන්ට අයිති සාම්ප්‍රදායික ඉඩම්වල අයිතිය නැවත ලබා දීමට ආණ්ඩුවලට නොහැක්කේ ඇයි? ජනප්‍රියත්ය නිසා උණු වූ පඩුපුල් ආසනය, වසර ගණනාවක් උතුරු-නැගෙණහිර ඇතුලු ප්‍රදේශවල සිය ජීවිතය වූ ඉඩම්වල අයිතිය යළි ඉල්ලා සිටින පීඩිත මිනිසුන් සහ ගැහැණුන් වෙනුවෙන් උණු නොවන්නේ ඇයි? ශිෂ්ට සමාජයක් නම් අප ප්‍රශ්ණ කළ යුත්තේ එයයි. නමුත් සමස්ත සමාජයක් ලෙස ප්‍රශ්ණ නොකරන්නේ ද එයයි. නමුත්, එවැනි අසාධාරණයට පත් මිනිසුන්ගේ ජීවිතයට සාධාරණය සහ යුක්තිය ඉටු වන තෙක් ‘මැණිකේ මගේ හිතේ….’ නම් පැළවෙන්නේ නැත.

එහෙයින් යොහානි, මේ මිනිසුන්ගේ කතාව අහහන්න! හැකි නම් මේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්න.

මේ කේප්පාපිලව් හි හමුදාව අත්පත්කරගෙන සිටින සිය ඉඩම් අහිමි වූ මවක් කියූ කතාවක්!!! අහන්න….

‘මේ තියෙන්නේ අපේ ඉඩමට යන පාර, අඹ ගස් විතරක් 22ක් තියනවා, අනිත් ඒවා පොල්, දැන් මෙතනින් යන්න බැහැ පාර වහලා, අර පෙන්නේ අඹ ගස් විතරයි’

සිය ඉඩම ට අත දිගු කරමින් සිය සාම්ප්‍රදායික භුමියේ සාරවත් බව වචන වලට පෙරළන්නට ඇයට ගත වූයේ සුලු වේලාවකි.

ඒ ඔවුන්ගේ බිමයි.

ඔවුන්ගේ සියලු මතකයන් රැදි, සුවද රැදි, වේදනා රැදි ඔවුන්ගේ බිමයි.

එහි අයිතිය ඇත්තේ ඔවුන්ට මිසක් වෙන කිසිවෙකුටවත් නොවෙයි.

ශිෂ්ට මිනිසුන් තේරුම් ගත යුත්තේ එයයි.

Read here