iMage: Maatram

2009 මැයි 25 අමතක නොවන දවසක්. කොහොම අමතක කරන්නද, පුතා දැක්ක අන්තිම දවස, අන්තිමට කතා කරපු දවස. මට කොහොම හරි එක්කං එන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් එයා කිව්වා “හමුදාව ලඟට මම යන්නම් අම්මේ. අක්කවයි මල්ලිවයි බලාගන්න. මම එන්නම්. බය වෙන්න එපා අම්මේ…” කියලා ගිය පුතා තාම මාව බලන්න ආවෙ නෑ. පුතා කියපු ඒ වචන ටික තමයි මාව තාම ජීවත් කරවන්නේ. එදා කියපු හැම වචනයක්ම මගේ කන් වල දෝංකාර දෙනවා.

අවසන් සටන උග්‍ර වෙද්දී හමුදාව ඉදිරියට යද්දී කිලිනොච්චියෙන් අවතැන් වූ යෝගරාසා කනගරංජනී අවසානයේ සිය වැඩිමහල් දියණිය සහ බාල පුතා සමඟ මුල්ලිවයික්කාල් හරහා හමුදා බල ප්‍රදේශයට පැමිණියා. ”අපි බේරුණා කියලා සුසුම් හෙලන්න බැරි වුණා. පුතා කෝ ? හමුදා බල ප්‍රදේශයකට ආවද? හමුදාවට භාර වුණාද?” කියා සිදු වූ දේ කුමක්ද කියා නොදන්නා කනකරංජනී කලබලයෙන් තමන් දන්නා හඳුනන සියල්ලන් ලඟම හඬා වැලපෙයි. එවිට එක් අයකු ”අමලන් හමුදාවට භාර වවෙනවා දැක්කා” කියා පැවසුවා. පරීක්‍ෂණ අවසන් වූ පසු නැවත පැමිණෙන බව තම මවට පවසන ලෙස අමලන් පැවසූ බව එම පුද්ගලයා කනකරංජනීට පවසා තිබුණා.

“පුතා හමුදාවට භාරවෙනවා දැකපු අය ඉන්නවා, චැනල් 4 වීඩියෝ එකේත් පුතාව දැක්කා. ඊට අමතරව 2017 ජූලි වෙනකම් හමුදා බුද්ධි අංශය, පොලිසිය ඇවිත් පුතා ගැන පරීක්ෂණ කරා. ඔහු අතුරුදහන් වූ ආකාරය, ඔහු පිළිබඳ ලියකියවිලි, ඔහුගේ හැඳුනුම්පත ද ඉල්ලා සිටියා. එයා කොහේ හරි ඉන්න නිසා නෙවෙයි ද මේ විදිහට ඇවිත් ප්‍රශ්න කරන්නෙ?”
යනුවෙන් කනකරංජනී පවසුවාය.

ආනන්ද කුමාරස්වාමි රැඳවුම් කඳවුරේ සිටියදී ආරම්භ වූ කනගරංජනී සිය පුතා සෙවීම සඳහා වූ අරගලය, 2022 මැයි 30 වැනි දින මුලතිව්හි පැවති විරෝධතා රැළියකට සහභාගි වන තෙක් වසර 13කට වැඩි කාලයක් ඇය වෙහෙසිණි. මේ අවුරුදු 13 තුළ විවිධ පුද්ගලයන් හමු වී, සංවිධාන ගණනාවකට ආයාචනා කර, භාර වූ තම පුතාට සිදු වූයේ කුමක්ද? ඔහු දැන් සිටින්නේ කොහේදැයි සොයා බැලීමට – යුක්තිය ඉටු කර ගැනීමට කනගරංජනී බොහෝ දුර ගමන් කරමින් සිටී.

එය වසර 13 ක් තුළ සැතපුම් කීයක් ගමන් කර ඇත්දැයි තක්සේරු කිරීමට අප තීරණය කළෙමු. Google Maps සහ Free Map Tools ශ්‍රී ලංකාව තුළ සහ විදේශයන්හි ගමන් කළ දුර මැනීමට භාවිතා කරන ලද එක් ක්‍රමවේදයකි. පෙළපාලි, පොලිස් ස්ථාන, හමුදා කඳවුරු, සීඅයිඩී, මානව හිමිකම් කොමිසම, මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය සාකච්ඡා, ආගමික නායකයන්, දේශපාලනඥයන්, ආගමික ස්ථාන, විදේශ සංචාර ලෙස යෝගරාසා කනගරංජනී ගිය තැන් අතර ඇති දුර මෙහි ගණනය කර තිබෙනවා. එම ගණන් බැලීම අනුව කනගරංජනී යුක්තිය ලබා ගැනීමේ සටනෙහි මේ වන විට කිලෝමීටර් 128,033 ක දුරක් ගමන් කර ඇතැයි සැලකිය හැකිය. මෙය සාමාන්‍ය අගයකි. එම ගණනය කිරීම ඇය, අප සමඟ බෙදාගත් තොරතුරු ඇසුරෙන් පමණක් ගණනය කර ඇත.

කනකරංජනී ගමන්කළ කිලෝමීටර් 128,033 තොරතුරු ඉන්ෆෝග්‍රෆික්ස් භාවිතයෙන් සංසන්දනය කිරීමට උත්සාහ කර ඇත. පහත ඉන්ෆොග්‍රැෆික්ස් බලන්න.

© maatram.org/ Selvaraj Rajasegar

*Maatram වෙබ් අඩවියේ පළවූ (INFOGRAPHICS) யோகராசா கனகரஞ்சனியின் நீதிக்கான பயணம் සටහනේ සිංහල පරිවර්තනයයි