බලහත්කාරය යන්න සමග බැඳී ඇත්තේ අපරාධයක් සිදුවනවා යන අර්ථයයි. උදාහරණයක් ලෙස ලිංගික බලහත්කාරකමක් යනු ලිංගික අපරාධයකි. රාජ්‍ය බලහත්කාරය යනු රාජ්‍ය විසින් කරන අපරාධයකි.

රනිල් වික්‍රමසිංහ අද රටේ ජනාධිපති බවට පත් වන්නේ බලහත්කාරයෙන් අගමැතිකම ඔහුට පැවරීම සහ පවරා ගැනීම යන හේතු නිසාවෙනි. ඔහු අගමැති කමට පත්කරන්නේ අඩුම තරමින් ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ජනවරමක්වත් නැති පුද්ගලයකුව සිටියදීය.

පාර්ලිමේන්තුවේ සිටි සියලුම පක්ෂ (පොහොට්ටුවේ සමහර මන්ත්‍රීවරු හැරුණු විට) සියළුම මන්ත්‍රීවරු මෙන්ම රටේ ජනතාවගේ අති බහුතරයක් රනිල් අගමැති කිරීමට එරෙහිව විරෝධය ප්‍රකාශ කළෝය. දිගින් දිගටම ඔහුට ඉල්ලා අස්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රටේ ජනතාව, රට තුළ විශාල උද්ඝෝෂණ කරමින් සිටින අරගලකරුවන් එක හඬින් කියා සිටිනු ලැබූ මුත් රාජපක්ෂලාගේ උවමනාවන් අනුව ඔවුන්ගේ ආරක්ෂාව සකසමින් රනිල් බලහත්කාරයෙන් අගමැති බවට පත් කරන ලදී.

ඔහුව පත් කරනු ලැබූවේ බලහත්කාරයෙන් නොව ජනාධිපතිවරයා විසින් බව කෙනෙකුට කිව හැකිය. පැනයාමට බලකරන ලද ජනාධිපතිවරයකු විසින් රටේ ජනතාවගේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැති කෙනෙකු අගමැති වශයෙන් පත් කිරීම යනු බලාහත්කාරයකි. බලහත්කාරය යනු අපරාධයකි. එසේනම් රනිල් වික්‍රමසිංහ අගමැති කම දරන්නේ බලාත්කාරයෙනි. එනිසා ඔහුගේ ජනාධිපතිකම යනු මුළු රටම ඔහුගේ බලහත්කාරයට යට කර ගනු ලැබීමකි.

ඒ වගේම ඔහු ජනාධිපතිකමේ වැඩබැලීම යන්න තම අතට ගත් අවස්ථාවේ දී මුලින්ම කළේ හමුදාවට රටෙහි ජනතාවට වෙඩිතැබිමට අණදීමයි. මේ පිළිබඳව ලෝකය පුරා මානව හිමිකම් සංවිධාන සහ ජාත්යන්තර ප්‍රජාව තම අප්‍රසාදය පළ කළෝය. එමෙන්ම එම සියලු සංවිධානය සහ පුද්ගලයෝ පොලිසිය විසන් කළයුතු කාර්යයකට හමුදා යෙදවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් පැහැදිලිව ප්‍රකාශ කළෝය. රටෙහි ජනතාවගේ මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂ වලත්, රාජපක්ෂලාගේ හෙන්චයියලා ටික දෙනෙක් ඇරුණු විට, අනික් සියලු දෙනාගේම ඉල්ලීම සහ පැතුම වන්නේ රනිල් වික්‍රමසිංහ වහාම ඉල්ලා අස්විය යුතු බවයි.

නමුත් රාජපක්ෂලාගේ කූඨ සැලසුම් වලට අනුව ගෝඨාභය රාජපක්ෂ රටෙන් පලා යන විට රනිල් වික්‍රමසිංහට ව්‍යවස්ථාවට අනුව සිටින අගමැතිවරයා ලෙස ජනාධිපති බලතල ලැබෙන ආකාරයෙහි නීත්‍යානුකූල බවක් ගැන කතා කරයි. ඔවුන් නීත්‍යානුකූල ව්‍යවස්ථානුකූල කාරණය ගැන කතා කරන්නේ රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම පැහැර ගැනීම සඳහා මිස ඊට ප්‍රථම ඔහු නීති විරෝධී ආකාරයෙන් අගමැති වන විට එය නීත්‍යානුකූල ද යන්න ප්‍රශ්න නොකරයි.

සමාජ අරගලයකදී නීතිය පමණක් නොව දේශපාලන බලවේගයන්හි පෙළ ගැස්ම විසින් ඉල්ලා සිටින කාරණාවනද සුජාත බවක් ලබා ගනී. ගෝඨාභය ධුරයෙන් එළවා දමන ලද්දේ ව්‍යවස්ථාවට අනුව දෝශාභියෝගයකින් නොවේ. මහජන ඉල්ලීම මගිනි. අද ‘රනිල් ගෙදර පල’ යනු ඉල්ලීම ද එම සුජාත බවම දරයි.

මෙහිදී මගේ සමහර මිතුරන් මෙන්ම මා දන්නා සමාජ ක්‍රියාධරයන් පවා අද මහලොකු නීති තර්කයක් ඉදිරිපත් කරන්නේ ජනාධිපති නැති තැන ව්‍යවස්ථානුකූලව අගමැති ජනාධිපති කමෙහි වැඩ බැලීම ව්‍යවස්ථානුකූල කාර්යයක් බවත්, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට මෙය අත්‍යාවශ්‍ය කාරණය බවත්ය. මෙසේ කතා කරන මගේ සමහර මිතුරන් දුටුවිට මට ඇත්තෙන්ම මතක් වන්නේ රාජපක්ෂලා සහ රනිල්ලා අපට කලක් තිස්සේ පෙන්නන්නට කැස කවන බබා උක්කුංය. නුඹලාත් අප ගැන හිතන්නේ බබා උක්කුං මට්ටමෙන් ද කියායි.

රනිල් වික්‍රමසිංහ නීති විරෝධී ආකාරයකින් රටේ අගමැති බවට පත්කරන විට එය ව්‍යවස්ථානුකූල නොවන බව ඔවුන් දකින්නේ නැත. ඔවුන්ගේ තර්කයට අනුව නම් මොනයම් උප්පරවැට්ටියකින් හෝ බලයට ආ කෙනා ඊළඟට කරන සියලුම දේවල් ව්‍යවස්ථානුකූලවයි. ඇත්තෙන්ම රටෙහි ජනතාවගේ විශ්වාසයක් නැති අගමැතිවරයෙක් ලෙස පත් කරනු ලැබූ පුද්ගලයෙක් මුළු රටකම ආධිපත්‍ය තමා අතටගෙන රටේ මෙතෙක් පැවති සාමකාමී අරගලවලට වෙඩිතැබීමේ අවසර දෙමින් හමුදා කැඳවීම නීති විරෝධී ක්‍රියාවක් බවත් සමහර අප මිතුරන්ට අමතක වී ඇත.

සමාජ දේශපාලන විශ්ලේෂනය වෙනුවට දේශපාලන සහ පුද්ගල ලැදියාවන් ආදේශ කිරීම මහත් වරදකි.

මෙහිදී රනිල්වාදී අප මිතුරන් සමහරවිට මට මෙසේ කියාවි. “රංජිත් උඹට මතක නැද්ද රාජ්‍ය කියන්නේ කුමක්ද කියා”. රාජ්‍ය කියන්නේ කුමක් ද යන්න අපි හොඳින් දන්නෙමු. රාජ්‍ය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම යන්නත් කුමක් ද යන්න අප දන්නෙමු. මගේ එම පිරිස්වලට මතක් කරන්නේ ජනතා පරමාධිපත්‍ය යන්න ගැන නැවත ගැඹුරින් සිතා බලන ලෙසයි. ජනතාවගේ කැමැත්ත නොමැතිව රාජ්‍යය තම ග්‍රහණයට ගෙන රාජ්‍ය යන්ත්‍රය තුලින් ජනතාව මර්දනය කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන කිසිවකු එය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ නොවන බව මම මතක් කරමි. එසේ කළ හැක්කේ ඒකාධිපති හෝ ෆැසිස්ට්වාදී මිනිසුන්ට පමණි.

මෙම නීති විරෝධී පත්වීම තුළින් ජනතාව තම අඩස්සියට ගෙන ඇති රනිල් වික්‍රමසිංහ රටෙහි ලක්ෂ ගණනින් තරුණ තරුණියන් සහ රටේ ජනතාව තමන්ගේ වුවමනාවන් තමන්ගේ බඩගින්න තමන්ගේ වේදනාවන් වලට විසඳුම් සෙවීම වෙනුවෙන් උද්ඝෝෂණ කරන විට මෙම උද්ඝෝෂණකරුවන් ෆැසිස්ට්වාදීන් යයි හඳුන්වයි.

මෙය ඇත්තටම විසිඑක් වෙනි සියවසේ හොඳම විහිළුවයි. රනිල් වික්‍රමසිංහ ෆැසිස්ට්වාදයට අලුත් අර්ථකථනයක් සපයයි. ඔහු නීති විරෝධී ආකාරයෙන් රාජ්‍ය බලය තම අතට ගෙන රටෙහි ජනතාවට වෙඩි තැබීමට අවසර දෙමින් ක්‍රියාත්මක වෙන්නේ ඒකාධිපතියකු ලෙස ද ෆැසිස්ට්වාදියකු ලෙස ද යන්න ගැන ඔහුම සිතා බැලිය යුතුය. සාමකාමී අරගලයක යෙදෙන ජනතාව ෆැසිස්ට්වාදීන් හැඳින් වීම තුල ඔහුගේ දේශපාලන වංචනික බවම යළි ප්‍රකාශ වෙයි.

අරගලකරුවන් වෙත චෝදනාවක් ලෙස රනිල් වික්‍රමසිංහගේ ගෙට ගිනි තැබීම පිළිබඳව ඔහු කරුණු ඉදිරිපත් කරයි. ඇත්තෙන්ම ඔහුගේ ගෙට කව්රුන් විසින් ගිනි තැබුවාද නැද්ද අප නොදනිමු. මොනයම්ම කෙනෙකුගේ හෝ ගෙයකට ගිනි දැමීමට අප විරුද්ධ ය. නමුත් රනිල් වික්‍රමසිංහගේ ගෙට ගිනි දැමූ මිනිසුන් තාප්පෙන් පහළට බහින විට පොලිසිය ඔවුන්ව ආදරයෙන් පිළිගෙන රැගෙන යන හැටි වීඩියෝ පටවලින් දැකීමට පුළුවන. එනිසා එම ගිනි තැබීම පිළිබඳව සාධාරණ සැකයක් මතුවේ.

නීතිවිරෝධි ලෙස බලය අල්ලා ගැනීමට කූඨ දේශපාලනඥයින් විසින් කරන ලද මෙවැනි ප්‍රචන්ඩත්වයන්ගෙන් ඉතිහාසය පිරී තිබේ.

කෙනෙකු මෙම ගිනි තැබීම පිළිබඳව මගේ ස්ථාවරය ගැන චෝදනා කළ හැක. නමුත් මම මෙහිදී යමක් මතක් කරමි. දැනට වසර 50 කට උඩදී 71 අප්‍රේල් කැරැල්ල අවස්ථාවේ මගේ දෙමව්පියන් ජීවත් වූ ගෙවල් ගිනිබත්කර ඩයිනමයිට් දමා බිත්ති පෙරළා දමා, මගේ සහෝදරයාගේ කුකුල් ගොවිපල විනාශකර කුකුළන් දාහක් පමණ මරා ද දැමුවේ, ලංකා හමුදාව සහ පොලිසිය එකතුවය. අප ජීවත් වූ ගෙදර තිබූ කිසිවක් ඇඳිවත ඇරුණුකොට මගේ දෙමව්පියන්ට නොලැබුණි. ඒ නිසාම අප කුඩාකල තිබූ සියලු ඡායාරූපය පවා අපට මතකයන් ලෙස නැත්තටම නැති විය. අද මෙන් නොව එදා ඡායාරූපයක් යනු ඉතා කලාතුරකින් ලබා ගන්නා දෙයකි. මෙම ඉරණම අපේ පවුලට පමණක් නොව දහස් ගණන් පවුල්වලට උරුමකර දෙන ලද බව මා සඳහන් කළ යුතුය. එය දකුණේ ද උතුරේ ද 71 දී ද 88-90 සමයේදී ද, යුද සමයේදී ද සිදුවිය.

ඉතිහාසයේ ලංකාවේ මේ ගෙවල් ගිනි තැබීමේ සංස්කෘතිය ඇති කරන්නේ ලංකා රාජ්‍යය විසින් බව මතක් කර දීම අපේ යුතුකමකි. මොනයම් තත්ත්වය තුළ හෝ කිසියම් කෙනෙකුගේ දේපල විනාශ කිරීමට මා සම්පූර්ණයෙන් විරුද්ධ ය.

රනිල් වික්‍රමසිංහගේ ගෙය ගිනි තිබ්බාය කියා ඔහුට රටෙහි රාජ්‍ය බලය තම අතට ගෙන රටෙහි ජනතාව ඔහුගේ අඩස්සියට ගැනීමේ අයිතියක් නොමැත.

මා මීට පෙරත් ලියා ඇති අයුරින් රනිල් වික්‍රමසිංහ කරණුයේ රට අරාජිකකත්වයට යෑමට අවශ්‍ය මූලික කාරණා සැපයීමයි. රටෙහි ලේ ගංගා ඇතිවීමට මිනිසුන් දහස් ගණනින් මිය යාමට අවශ්‍ය කටයුතු සකස් කිරීමයි. ඇත්තෙන්ම ගෝඨාභය මෙන්ම රනිල් ද ඉල්ලා අස්වීම රටෙහි ජනතාවගේ මෙන්ම සියලුම පක්ෂ වල ඉල්ලීමය. පැතුමය. මැයි 09 වැනි දින ට පසු රනිල් රටෙහි බලහත්කාරයෙන් බලයට පත් අගමැතිවරයා ලෙස පත් නොවුණා නම් මේ වන විට රට පවතින්නේ ඉතා සාමකාමී තත්ත්වයකයි. එසේ වූවානම් මේවන විට රටෙහි ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට මාර්ග සෙවීමටත් අවස්ථාවක් උදාවීමට ඉඩ තිබුණි. නමුත් ඒ සියලු දේවල් අහිමි කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිකම බාර ගැනීම තුළිනි. ඔහු විසින් කරනු ලැබුවේ තවදුරටත් රට අර්බුදයෙන් අර්බුදයට ඇද ගෙන යාමයි.

රනිල් ප්‍රශ්න විසඳනු ඇතැයි කියන මගේ සමහර බුද්ධිමත් මිතුරන්ට මම නැවත මතක් කරමි. මීට ප්‍රථම ඔහු පස් වතාවක් අගමැතිවරයා ලෙස ක්‍රියාත්මක වී තිබේ. ඔහු ක්‍රියාත්මක වූ කාලයන්හි රටෙහි විශාල අර්බුද ඇතිවන මට්ටමක් ඇති වූ අතර රටෙහි ආර්ථිකය අර්බුදයෙන් අර්බුදයට ගමන් කිරීම කිසිම දිනක ඔහුගේ කාලය තුළ අඩුවීමක් නොතිබිණි. ඒ වාගේම අද ගෝඨාභය සහ රාජපක්ෂ කල්ලිය විසින් රට අර්බුදයෙන් අර්බුදයට ගෙන ගියා වුවත් මෙම අර්බුදය ඊයේ පටන් ගත් එකක් නොව දීර්ඝකාලීන අර්බුදයක උච්චස්ථානයයි.

මෙය සිදුවන්නේ ප්‍රමාණාත්මකව 1948 සිට පටන් ගත් අර්බුදයක දීර්ඝකාලීන ගමනක ගුණාත්මක වෙනස ලෙසයි. ගෝඨාභය රාජපක්ෂ වැනි දේශපාලනයේ ළදරුවකු එහි උච්චතම අවස්ථාවට මුහුණ දීමට සිදුවීම නිසාවෙන් එය විශාල අර්බුදයක් ලෙස මතුව අද පුපුරා ගියා වුවත් මෙම අර්බුදයන්ට වගකිව යුතු දේශපාලනඥයින් අතරින් එක් ප්‍රධානියකු වන්නේ රනිල් වික්‍රමසිංහයි.

එනිසා මා මගේ බුද්ධිමත් මිතුරන්ට නැවත මතක් කරන්නේ රනිල් වික්‍රමසිංහ ට කළ හැකි කිසිවක් මේ රටේ ජනතාව වෙනුවෙන් ඉතුරු වී නොමැති බවයි. එමෙන්ම ඔහුට කළ හැකි කජ්ජක් ද නැත. ඔහුට කළ හැක්කේ මේ රට තව තවත් අර්බුදයට යවමින් ජනතාව තව තවත් දුක් වේදනාවන් වලට යන තැනකට තල්ලු කර දැමීම සහ ඔහුගේ හිතවතුන් ටික දෙනෙකුට (නැවතත් මහේන්ද්‍ර ලා වැනි කණ්ඩායමකට) රටෙහි ධනය කඩා වඩා ගැනීමට මග සැලසීමත්, රටේ දේපළ කොල්ල කෑ අපරාධකරුවන් වන රාජපක්ෂලා ඇතුළු විශාල ප්‍රමාණයක් රටෙහි ධනය අවභාවිතා කළ මිනිසුන්ට ආරක්ෂාව සැපයීමත් පමණි.

දැන් කළ යුතු වන්නේ රනිල් වික්‍රමසිංහට සම්පූර්ණයෙන් රටේ දේශපාලනයෙන් ඉවත්ව යෑමට බල කිරීමයි. ඔහු යම් ආකාරයකින් දේශපාලන බලයේ සිටී නම් රට තව තවත් අර්බුදයෙන් අර්බුදයට යනවා මිස ප්‍රශ්න වලට විසඳුම් නොලැබෙන බව පැහැදිලිය. නීති විරෝධීව මෙන්ම සදාචාරයට පටහැනිය අගමැති ලෙස පත් වූ රනිල්ට එම අගමැතිකමේ හෝ අද වන විට එනිසාම වැ. බ. ජනාධිපති බවට පත්වීම සදාචාරාත්මක හෝ නීතිමය නොවන බව මගේ මතයයි.

රංජිත් හේනායක ආරච්චි | Ranjith Henayaka Arachchi