“තව අවුරුදු කීයක් අපි ජිනීවා ආ යුතු ද?” – සන්ධ්‍යා එක්නැළිගොඩ, අතුරුදන් කිරීමට ලක් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ එසේ අසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් 2022 සැප්තැම්බර් 16 වැනි දින ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වුණු නිල නොවන සාකච්ඡාවක දී ය.

ජිනීවා හි පිහිටි ජාත්‍යන්තර ආයතන ගණනාවකින් එකක් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ස්ථාපිත කරන ලද්දේ, ශ්‍රී ලංකාව ද ඇතුළත්ව රටවල් 193ක සාමාජිකත්වයෙන් හෙබි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) තීරණයකට අනුකූලව 2006 වසරේ දී ය. ඉන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ප්‍රතිස්ථාපනය කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය හොබවන රටවල් 193 විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය අපේක්ෂා කරන රටවල් අතුරින් රටවල් 47ක් ඡන්‍දයෙන් තෝරා පත්කරගනු ලැබේ. ශ්‍රී ලංකාව ද 2006 සිට 2008 දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය හෙබවූ නමුත්, නිරන්තරයෙන් නැගුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා හමුවේ 2008 දී ඊට තේරී පත්වීම සඳහා වූ ශ්‍රී ලංකාවේ අපේක්ෂකත්වය පරාජයට පත්විය. එතැන් පටන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඡන්දයෙන් තේරී පත්වීම සඳහා වූ ඡන්දයකට ශ්‍රී ලංකාව කිසිදු විටෙක ඉදිරිපත් වූයේ නැත.

ජිනීවා හි පිහිටි මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ තවත් ප්‍රධාන ආයතනයක් වන්නේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) යි. එහි ප්‍රධානියා වන්නේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ය. මෙම ආයතනය ස්ථාපිත කරන ලද්දේ 1993 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාව අනුව ය.

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) යෝජනා සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ (OHCHR) වාර්තා

2009 වසරේ යුද්ධය අවසන්ව දින 9කින් පසුව, එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව, සමස්තයක් වශයෙන් ගත් කල ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ප්‍රශංසා කිරීම පිණිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් යෝජනාවක් සම්මත කරගන්නා ලදී. 2012 සහ 2013 වසරවල දී ශ්‍රී ලංකාව පිළිබඳ UNHRC යෝජනා මගින් එහි මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන තත්ත්වය පිළිබඳව තරමක විවේචන එල්ල කර තිබුණු අතර, එකී කරුණු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා ස්වදේශික පියවර ගන්නා ලෙසට ද ඇරයුම් කළේය. 2014 වසරේ UNHRC යෝජනාව මගින් තීන්දු කෙරුණේ ශ්‍රී ලංකාව පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකරන මෙන් OHCHR වෙතින් ඉල්ලීම් කිරීමට ය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මෙකී යෝජනාවලට සිය දැඩි විරෝධතාව දැක්වීය.

2015 දී ප්‍රතිසන්ධානය සම්බන්ධ බැඳීම් රාශියකට ශ්‍රී ලංකා ආණ්ඩුව සිය එකඟතාව පළකළ අතර, එය “සම්මුති යෝජනාවක්” ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහයෝගය සහිතව සම්මත වූයේ කිසිදු ඡන්දයකින් තොරව යි. 2021 වසරේ පත් වූ ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව තමන් 2015 සම්මුති යෝජනාව තවදුරටත් පිළිනොගන්නා බව ප්‍රකාශ කළ පසු, ඡන්දයක් හරහා නව යෝජනාවක් සම්මත වූ අතර, ඉන් සාක්ෂි එකතු කිරීමටත්, වගවීම ඉහළ නැංවීමටත් සඳහා යෝජනා විය.

2009 සිට 2021 දක්වා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා පහක් සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ වී ඇති ආකාරය සලකාබැලීමේ දී ඉන් පිළිබිඹු වන්නේ 2009 දී රටවල් 47කින් 29ක සහයෝගය ලැබුව ද, 2021 වන විට එම සහයෝගය රටවල් 11ක් පමණක් ලෙස UNHRC හි දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ලද සහයෝගය විශ්මයජනක ලෙස නැති වී ගොස් ඇති ආකාරය යි. එසේ සහයෝගය නොලද රටවල්වලින් බහුතරයක් ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ ආසියානු මහද්වීපවලට අයත් වූ අතර, ඔවුන් ගණනින් UNHRC සාමාජික රටවල් 47න් 34ක් විය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2012 වසරේ UNHRC විසින් සභාගත කළ යෝජනා සහ එහි ප්‍රතිඵල ලෙස ඉන්පසු ගෙන ආ යෝජනා මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය නිරීක්ෂණය කර UNHRC වෙත වාර්තා කරන මෙන් OHCHR වෙත ඉල්ලීම් සිදුකෙරුණි. දමිළ ප්‍රජාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් යුද්ධයෙන් පසු උතුරු-නැගෙනහිර පළාත්වල ‍යුද්ධයෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන් පිළිබඳව, වැලිකඩ බන්ධනාගාර සිරකරුවන් ඝාතනය වැනි ප්‍රසිද්ධ සංඛේතීය සිදුවීම්, මාධ්‍යවේදීන් සහ තරුණයන් ඝාතනය සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම, මිලිටරිකරණය, කොවිඩ්-19 සම්බන්ධ ගැටලු, ප්‍රකාශනයේ, එක්රැස් වීමේ, සහ ආගමික නිදහස, මානව හිමිකම් සුරකින්නන්ගේ සහ සිවිල් සමාජයේ තත්ත්වය, මෙන්ම ඉතාම මෑතකදී පාස්කු ඉරිදා දින ප්‍රහාර හා ආර්ථික අපරාධ පිළිබඳව ආදී වශයෙන් නොයෙක් ශ්‍රී ලාංකිකයන් සතු මානව හිමිකම් සම්බන්ධ ප්‍රධාන ගැටලු OHCHR වාර්තා මගින් ග්‍රහණය කර තිබුණි.

එකී වාර්තා මගින් ආයතනික, නෛතික සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ මුලපිරීම් ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම්වලට අදාළව ධනාත්මක සහ සෘණාත්මක ලෙස බලපාන්නේ කෙසේදැ’යි යන්න පිළිබඳව සියුම් අවධානය යොමුකරමින් ඉස්මතු කොට දක්වා ඇත. වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව අන්තර්ජාතික අපරාධ අධිකරණය වෙත යොමුකිරීම සහ විශ්ව අධිකරණ බලසීමාව භාවිතා කිරීම මෙන්ම, දේපළ අත්පත් කරගැනීම සහ විදේශ ගමන් තහනම් ආදී පියවර ද OHCHR නිර්දේශවලට අන්තර්ගත වේ.

නවතම යෝජනාව

මෙවර ශ්‍රී ලංකාව පිළිබඳ UNHRC සැසියේ ඉස්මතු වූ කරුණ වූයේ ශ්‍රී ලංකාව පිළිබඳව OHCHR නිකුත් කළ ආසන්නතම වාර්තාව යි. මේ පිළිබඳව මින් පෙර ලියා සහ කතා කර ඇති නිසා, ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට දැනටමත් භාර දී ඇති, සහ ඉන් අනතුරුව පළ කළ හා සාකච්ඡාවට විවෘත කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් මගේ අවධානය යොමු කරමි.

“නිළ නොවන සැසි” යනුවෙන් හැඳින්වෙන සාකච්ඡා මන්ත්‍රණ 2ක්, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන රටවල්වලින් සමන්විත “ප්‍රධාන කණ්ඩායම” ලෙස හැඳින්වෙන කණ්ඩායමකගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 16 වැනි දින ජිනීවා හි පැවැත්විණි. ශ්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිතයන් එහි කටයුතුවල දී සිය බලය විදහා දක්වමින් යෝජනා කෙටුම්පත ප්‍රතික්ෂේප කරන ලදී. නමුත්, සමහරවිට, UNHRC හි සාමාජිකත්වය හොබවන ආණ්ඩු බහුතරයක් අදාළ යෝජනා කෙටුම්පතට බොහෝ සේ සමාන යෝජනාවකට සහය පළකරනු ඇතැ’යි අවබෝධ කරගෙන, එකී යෝජනාවල අන්තර්ගතය දැඩි ලෙස දියාරු වන ආකාරයේ යෝජනා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් පිළියෙල කරන ලදී. වගවීම සහ ප්‍රතිසන්ධානය වැඩිදියුණු කෙරෙන ආකාරයේ මෙන්ම එවකට අගමැති සහ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ 2015 ආණ්ඩුව ඉටුකිරීමට කැප වූ බැඳීම් ද ඇතුළත්ව කිසිම ආකාරයක ජාත්‍යන්තර මැදිහත් වීමක් ඔවුන් ප්‍රතික්ෂේප කළ අතර, 2021 යෝජනාව UNHRC සතු බලය අතික්‍රමණය කරන බව ද බලකර කියා සිටියේය.

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ බලාධිකාරය ඉක්මවන බව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තවදුරටත් ප්‍රකාශ කළ ද, ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් ද ඇතුළත්ව මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යනුවෙන් UNHRC ස්ථාපිත කිරීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාව මගින් එහි බලාධිකාරිය නිශ්චිතව සඳහන් කර තිබේ.

කියුබාව, රුසියාව, චීනය, පාකිස්තානය, පිලිපීනය, වියට්නාම්, ඉරානය සහ එතියෝපියාව යන රටවල් ශ්‍රී ලංකාවේ ස්ථාවරයට පක්ෂව සිටියහ. අයර්ලන්තය, ෆින්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ප්‍රංශය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, ලිෂ්ටන්ස්ටයින්, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යෝජනා කෙටුම්පතට සහය පළකළ ද, එය ශක්තිමත් කිරීම සඳහා කිසිදු අදහසක් ඉදිරිපත් නොකළහ.

සම්පූර්ණ කාලය පැය 3කට අධික වූ මෙකී සාකච්ඡා මන්ත්‍රණ දෙකෙහි දී අදහස් දැක්වීම සඳහා ශ්‍රී ලංකාව ද ඇතුළු ආණ්ඩුවල නියෝජිතයන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලදී. ආණ්ඩුවේ නොවන නියෝජිතයන්ට වෙන්කළ මිනිත්තු 15කට ආසන්න කාලයේ අදහස් දැක්වූ හතරදෙනාගෙන් කෙනෙකි, සන්ධ්‍යා එක්නැළිගොඩ. වසර 10කට අධික කාලයක් යුක්තිය ඉල්ලා ජිනීවා බලා පැමිණි ගමන් පිළිබඳව ආවර්ජනය කරමින්, ඇය සහ ඇය වැනිම වූ වෙනත් අය ජිනීවා වෙත තවත් කොතරම් කාලයක් පැමිණිය යුතුයැ’යි ආණ්ඩු බලාපොරොත්තු වෙන්නේදැ’යි ඇය විමසා සිටියා ය.

යෝජනාවේ වගන්ති ශක්තිමත් කිරීම

ශ්‍රී ලංකාව පිළිබඳ UNHRC ක්‍රියාදාමය 2009 සිට ලබා ඇත්තේ සුළු ප්‍රගතියකි. 2014 OHCHR විසින් සිදුකළ පරීක්ෂණය, 2015 දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ඉටුකිරීමට කැප වූ බැඳීම් සහ සාක්ෂි එකතු කිරීමේ ක්‍රියාදාමය ඒ අතරවාරයේ ප්‍රමුඛස්ථානයක් ගනී. එබැවින්, මාස 18කට පෙර 2021 මාර්තු ඉදිරිපත් කළ යෝජනාවට සාපේක්ෂව, 2022 යෝජනා කෙටුම්පත කිසිදු ප්‍රගතියක් නොපෙන්වීම කලකිරවන සුළු තත්ත්වයකි.

වර්තමාන යෝජනා කෙටුම්පත ද ශ්‍රී ලංකාව පිළිබඳ 2021 යෝජනාවට බොහෝ සමාන වන අතර, ආර්ථික අර්බුදය, මහාපරිමාණ විරෝධතා සහ රැස්වීමේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීම් පිළිබඳ වගන්ති ඊට අලුතින් එකතු වී ඇත.

ඉහත කී ආකාරයටම, එකී යෝජනාව ශක්තිමත් කිරීමට තරම් වැදගත් කිසිදු අදහස් හෝ යෝජනා තවදුරටත් ඉදිරිපත් වූයේ නැත.

ශ්‍රී ලංකාවේ තත්ත්වය වඩාත් හොඳින් පිළිබිඹු කිරීමට නම් අදාළ යෝජනා කෙටුම්පත ශක්තිමත් කළ හැකි ආකාර කිහිපයක් පහත දැක්වේ:

– අඛණ්ඩව සිදුවන අයිතීන් උල්ලංඝනය කිරීම් පිළිබඳව සහ ශ්‍රී ලංකාව තුළ හා ඉන් පිටත වගවීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අවධානයෙන් පසුවීම හා/හෝ අධීක්ෂණය කිරීම සඳහා මෙන්ම, වසර දෙකක් සඳහා නිරන්තරයෙන් UNHRC හා UNGA වෙත වාර්තා කිරීම පිණිස, OHCHR වෙත පැවරී ඇති කටයුතු සඳහා උපකාරී වන පරිදි ස්වාධීන විශේෂඥ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම.

– මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා සහය දෙන මෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලකිරීම.(2014 යෝජනාවේ එවන් බලකිරීමක් ඇතුළත්ව තිබුණද, 2021 සහ වර්තමාන යෝජනාවල එවැන්නක් නොමැත.)

– මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන් සමග සහයෝගයෙන් කටයුතු කරන ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කරන මෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලකිරීම.

– යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා සහය දෙන පිරිස්වලට එල්ල විය හැකි බලපෑම්වලින් ආරක්ෂාව තහවුරු කිරීම හා සහය-මූලික යාන්ත්‍රණ ස්ථාපිත කරන මෙන් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් සහ එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට බල කිරීම. අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මෙය අතිශයින්ම වැදගත් වේ.

– OHCHR විසින් නිකුත් කළ නවතම වාර්තාවේ අන්තර්ගත අලුත් වදන්වලින් වැදගත්ම එකක් ලෙස සැලකිය හැකි “ආර්ථික අපරාධ” යන්න යෝජනාව තුළ භාවිතා කිරීම.

– වගවීම ඉහළ නැංවීම සඳහා සාක්ෂි ආරක්ෂා කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව සඳහන් කිරීමේදී, යුද සමයේ සාහසිකකම්, පාස්කු ඉරිදා ප්‍රහාර සහ ආර්ථික අපරාධ පිළිබඳව විශේෂයෙන් සඳහන් කිරීම. (ක්‍රියාකාරී ඡේදය [OP] 8)

– ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවේ සාධනීය බව විමසීමේ දී IMF කොන්දේසි හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට ඇති විය හැකි සෘණාත්මක බලපෑම් පිළිබඳව අනතුරු ඇඟවීම (පූර්විකා ඡේදය [PP] 8)

– ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ආණ්ඩුවේ කැපවීම පිළිගැනීමේ දී මහජන අදහස් සලකාබැලීමේ වැදගත්කම පිළිබඳව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පෙර දැරූ උත්සාහයන් පිළිබඳව ද දැක්වීම. (PP 13)

– එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියාමාර්ග හරහා ලබාදුන් නිර්දේශ සම්බන්ධයෙන් නිසි සැලකිල්ල යොමුකිරීමෙන් නොනැවතී, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවට බලකිරීම, සහ එකී නිර්දේශ එක්සත් ජාතීන්ගේ ගිවිසුම් / සන්ධාන පිළිබඳ ආයතන මගින් නිකුත් කළ නිර්දේශ ඇතුළත් කිරීම. (OP 2)

– සිවිල් සමාජ ක්‍රියාකාරීන් අවේක්ෂණය කිරීම(surveillance) පිළිබඳව හා ඔවුන්ට තර්ජනය කිරීම සහ හිරිහැර කිරීම පිළිබඳව කණස්සල්ල පළකිරිමේ දී සහ ඔවුන්ට ආරක්ෂාව සලසන මෙන් ඉල්ලීම් කරන විට, ශිෂ්‍ය ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයන්, ආගමික නායකයන්, නීතිඥයන් සහ අතුරුදන් වූවන්ගේ පවුල් සම්බන්ධයෙන් නිශ්චිතව සඳහන් කිරීම (OP 5 සහ OP 13)

– නඩු ප්‍රමාදය සහ ජනාධිපති සමාව අවභාවිතා කිරීමට අමතරව, විශේෂ සංඛේතීය නඩු සම්බන්ධයෙන් යුක්තිය ඉටුනොවීම පිළිබඳව සඳහන් කිරීමේ දී, නීතිපති හා අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් චෝදනා ඉවත් කරගැනීම පිළිබඳව ද සඳහන් කිරීම. (OP 7)

– විශේෂ සංඛේතීය නඩු සහ දූෂණය සම්බන්ධ චෝදනා ඉදිරිපත් කර නඩු කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව සඳහන් කරන විට, ඒ සියලුම නඩු සම්බන්ධයෙන් අභිචෝදනා නගා නඩු කටයුතු පවත්වාගෙන යා යුතු හෙයින්, අවශ්‍ය තැන් හි දී “if” (නම්/හොත්) යන වචනය ඉවත් කිරීම. (OP 10 සහ OP 11)

– 2023 ජූනි මස 5 වැනි සැසිය වෙනුවට, 2023 මාර්තු මාසයේ පැවැත්වෙන UNHRC 52 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීළඟ වාචික යාවත්කාලීන කිරීම ඉදිරිපත් කරන මෙන් OHCHR වෙතින් ඉල්ලීම. (OP 18)

ඉදිරි ගමන

UNHRC සම්බන්ධ කටයුතු කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශය වන්නේ තවදුරටත් කල් ඉල්ලා සිටීම සහ අලුත් පොරොන්දු ලබාදීම බව පෙනී යයි. නමුත් එකී පොරොන්දු බිම් මට්ටමේ යථාර්ථයක් කිරීම සඳහා වැදගත් පියවර ගන්නා බවක් ද පෙනී යන්නේ නැත. තම ජනතාවට සහ UNHRC වැනි අන්තර්ජාතික ආයතනවලට පොරොන්දු ලබා දී ඒවා කඩකිරීම ද ශ්‍රී ලංකාවේ පත් වූ ආණ්ඩුවල ප්‍රධාන ලක්ෂණයකි.

උදාහරණයක් වශයෙන්, මාස තුනකට පෙර ජූනි මාසයේ පැවති UNHRC අවසාන සැසියේ දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන අත්අඩංගුවට ගැනීම් තාවකාලිකව නවත්වන බවට එවකට විදේශ ඇමතිවරයා දන්වා සිටියද, විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය නායකයන් තිදෙනෙකු පසුගිය මාසයේ දී අත්අඩංගුවට පත්ව තවදුරටත් රඳවාගැනීමට ලක්ව සිටිති. 2015 වසරේ දී (වික්‍රමසිංහ අගමැති වශයෙන් සිටි) එවකට ආණ්ඩුව විදේශීය විනිසුරුවරු, විත්තියේ නීතිඥයන්, සහ බලයලත් අභිචෝදකයන් හා විමර්ශකයන් සහිත අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට එකඟ වුව ද, අදාළ පනත් කෙටුම්පතවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලදී.

UNHRC සහ OHCHR හි විවේචනයට සහ සියුම් විමර්ශනයට බඳුන් වීම නැවැත්වීමට හෝ අවම කිරීමට ඇති එකම මඟ වන්නේ වර්තමානයේ සිදුවන අයිතිවාසිකම්-සම්බන්ධ උල්ලංඝනය කිරීම් නැවැත්වීම හෝ අවම කිරීමත්, යුද්ධය කාලයේ සිදු වූ කෲරතර සාහසිකකම්, පාස්කු ඉරිදා ප්‍රහාරය, ආර්ථික අපරාධ, දූෂණය ඇතුළත්ව අතීතයේ සිදු වූ උල්ලංඝනය කිරීම් සහ විසම්මුතියට එරෙහිව ක්‍රියාත්මක කරන මර්දනය යනාදිය සම්බන්ධයෙන් සත්‍යය සහ යුක්තිය තහවුරු කිරීමත් ය.

රුකී ප්‍රනාන්දු | Ruki Fernando

(රුකී ප්‍රනාන්දු විසින් මුල්වරට 2022 සැප්තැම්බර් 20 වැනි දින https://www.themorning.lk/sri-lankas-past-and-future-with-geneva-resolutions/ හි පළකළ ලිපියේ සිංහල පරිවර්තනය යි)