BBC ය විසින් 2022 වසර සඳහා නම් කරන ලද ‘වසරේ කාන්තාවන් 100’ (#BBC100Women) අතරට ශ්‍රී ලංකාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණීයක වන සන්ධ්‍යා එක්නැලිගොඩ නම් කර ඇති බව පසුගිය දා BBC ට අයත් වෙබ් අඩවිය විසින් වාර්තා කළේය.

2022 වසර සදහා ලෝකයේ ප්‍රභලතම සහ වඩාත් බලපෑම්සහගත කාන්තාවන් 100 දෙනා අතරට සන්ධ්‍යා එක්නැලිගොඩ එක්කර ඇත්තේ විශේෂයෙන් පසුගිය වසර කිහිපය පුරාම මානව හිමිකම් ක්‍රියාකාරීණියක් ලෙස ලංකාව තුළත් ලංකාවෙන් පිටතත් සිදුකළ සාධණීය, බලපෑම්සහගත ක්‍රියාකාරීත්වයන් වෙනුවෙනි. විශේෂයෙන් උද්දේශන සහ සමාජ ක්‍රියාකාරීත්වය යන ක්ෂේත්‍රය යටතේ බීබීසීය විසින් සන්ධ්‍යා එක්නැලිගොඩ මෙසේ නම් කර තිබේ.

2010 ජනවාරි 24 වනදා, මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ අතුරුදහන් කරන ලද සිය සැමියා වන ප්‍රකට කාටූන් ශිල්පියෙක් සහ මාධ්‍යවේදියෙක් වූ ප්‍රගීත් එක්නැලිගොඩ ට යුක්තිය සොයා යන අඛණ්ඩ අරගලයක සන්ධ්‍යා එක්නැලිගොඩ තවමත් නිරතව සිටියි. මෘග ජාතිවාදීන්ගේ අවලාද මැද, තවමත් ප්‍රගීත් ට යුක්තිය උදෙසා ඇය වෙහෙස වන්නීය. ඒත් සමග දකුණේ මෙන්ම උතුරේ අම්මාවරුන්ගේ අරගලවලට ද හැකි සෑම විටම සිය ශක්තිය සපයන්නී ය.

‘මේ පිළිගැනීම මට විශාල ශක්තියක් සපයනවා’ BBC ය විසින් ඇයව ලොව බලපෑම්සහගතම කාන්තාවන් 100 දෙනා අතරට පත්වීම පිළිබද අද(19) කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් ඇය පැවසුවාය. ‘හෙට දවසේ උතුරේ අම්මලාගේ අරගලයට කොයි ආකාරයෙන් ද, කොයි විදිහටද ශක්තිය ලබා දෙන්න පුලුවන්, මම ඒක ඒ ආකාරයම කරනවා’ සන්ධ්‍යා තවදුරටත් පවසයි.

සන්ධ්‍යා එක්නැලිගොඩ මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණේ, සිය සැමියා වන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර හරියටම දින 4712ක් සැපිරෙන අද(19) දිනය. දින 4712ක් යනු ම යුක්තිය නැතිව දින 4712කි.

අහන්න… යුක්තිය වෙනුවෙන් ඇය යන ගමනක තවත් එක් පියවරක හඬ…