iMage: Vikalpa File

වතු කම්කරුවන් මෙරටට පැමිණ මේ වසරට අවුරුදු 200කි. වතු කම්කරුවෝ ලංකාවේ තේ කර්මාන්තය හා වෙනත් කර්මාන්ත දියුණුව වෙනුවෙන් මෙරටට ආනයනය කළ ශ්‍රමික පිරිසකි. පසුගිය මාර්තු 22 වෙනිදා ඔවුන් ශ්‍රම මෙහෙය සදහා මෙරටට ගෙන ඒමේ 200 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් පැවැත්විණි. ඒ උත්සව සංවිධායකයින් අපූරු තරගයක් සංවිධානය කර තිබුණි. ඒ විනාඩි කිහිපයක් තුළ වැඩිපුරම තේ දළු නෙලන කම්කරු කත සෙවීමයි. තෝරාගත් තැනැත්තියට රුපියල් ලක්ෂයක මුදලක් ද ප්‍රදානය කර තිබිණි. මේ තරගය හා අදාළ දිනය මෙම ලේඛකයාට පෙනෙන්නේ අටෝරාශියක ප්‍රශ්න ගණනාවකින් ශතවර්ශ දෙකක් පීඩාවිදින ජන කොටසක ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට පාර කපා ගැනීමට හැකිව තිබූ දිනයක් යළි වතාවක් සුපුරුදු වහල් මෙහෙය කල්පවත්වාගැනීමට යොදාගත් උත්ප්‍රාසාත්මක අංගයක් හා තවත් දිනයක් ලෙසය.

එමෙන්ම එහි සංඥාව වූයේ මීළග ශතවර්ශයේදීත් වතු ජනයාට ආවේණික වහල් මෙහෙය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට වතු හාම්පුතුන්ට වුවමනා අතර වතු ශ්‍රමිකයාගේ ගැටළු නොවිසදී ඒ ආකාරයෙන් ම පවතිනු ඇත යන්නයි. මේ ප්‍රශ්න අතර ශතවර්ශ දෙකක් ගෙවී ගියත් නොවිසදී ඇති විසදෙනු ඇතැයි සේයාවකදු නැති ප්‍රශ්න අතර දිවයින පුරා විසිර සිටින වතු ජනයාගෙන් බහුතර දෙනෙකුට ස්ථිර ලිපිනයක් නැතිවීම හදුනාගැනීමට හැකිය.

වතුකර ජනතා අපගේ වෙන්වුනු වෙනම ප්‍රජාවක් නොවේ. 1960දී මෙරට සිටි වතු කම්කරුවන් 40 කට පුරවැසිභාවය ද ඡන්ද අයිතිය ද ලැබිණි. ඉතිරි වූ පිරිසෙන් කොටසක් ඉන්දියාවට නැවත පිටත් කළ අතර 1990 වනවිට මෙරට සිටි සියලූ දෙනාට පුරවැසිභාවය ලැබිණි. එනම් අනෙකුත් පුරවැසියන් හා සමාන අයිතිවාසිකම් භුක්ති විදින්නෝය. ඉංග්‍රීසින් මෙරට පාලනය කළ කාලයේදී බදුල්ල, නාවලපිටිය, හැටන්, රත්නපුර, හපුතලේ, රක්වාන, හා මොනරාගල ප්‍රදේශවල වතු නිර්මාණය කළහ. වතු ජනතාව මෙරට සිංහල ජනයා සමග එකතු වෙනවාට අකමැති වූ සුදු පාලකයන් මෙරට තැපැල් සේවය වතු ජනයාට ලබා නොදුන්නේය. චෙන්නායි හරහා වතු ජනයාට තැපැල් සේවය සැපයිනි. 1948 වසරේදී ඉන්දීය සම්භවයක් ඇති වතුකම්කරුවන්ට පුරවැසිභාවය ලැබීමෙන් පසුද ලංකාවේ තැපැල් සේවයද වතු ජනතා සමග සම්බන්ධ නොවිණි. අදට ද එය එසේම ය. ලංකාවේ 4691 වන මුළු තැපැල් ස්ථානවලින් 10න් එකකටත් වඩා අඩු ප්‍රතිශතයක් වතු ආශ්‍රතව ස්ථානගත කර තිබීම විෂම සැලකීම ට තවත් එක් උදාහරණයකි.

ඇඩ්‍රස් නැත

කතුවරයා මේ ලිපියේ මාතෘකාවට යොදා ඇති ”ඇඩ්‍රස් නෑ” යන යෙදුම සාමාන්‍ය ජන සමාජයේ භාවිතවන්නේ ව්‍යංග්‍යාර්ථයක් දනවමිනි. එහි මතුපිට අර්ථය ”ස්ථිර ලිපිනයක් නැත” යන්නයි. යම් හේතු නිසා ”ජීවිතය අවුල් වීම” ඊට අදාළ ව්‍යංග්‍යාර්ථයයි. වතුකර ජනයාගෙන් බහුතරයකට අදටත් ස්ථිර ලිපිනයක් නැත. ඒ නිසාම ඒ අයගේ ජීවිත අවුලෙන් අවුලට පත්ව තිබේ. ස්ථිර ලිපිනයක් ඇති අපිට නොදැනෙන ජීවිතයේ විවිධ ඉස්ව්වලට මේ ප්‍රශ්නය බලපා තිබේ. ඒසේම එක් ප්‍රදේශයකට සීමා නොවුනු ලංකාව පුරා විසිරුණු වතු ආශ්‍රත මිනිසුන් මේ ප්‍රශ්නයෙන් දුක් විදින්නෝය.

පහතින් දක්වන්නේ උදාහරණ කිහිපයක් පමණි.

රාජෙන්ද්‍රන් රකීමා මාතර බොගකොට වතුයායේ ජීවත් වේ. ඔහුට ස්ථිර ලිපිනයක් නැත. ඔහුගේ රජයේ රැකියාව අහිමිවන්නේ සම්මුඛ පරීක්ෂණයට කැදවන ලද ලිපිය නිසි වේලාවට නොලැබීම නිසා ය.

මනිවනන් සගාන් පස්සර මදොව වතුයාය පහළ කොටසේ ජීවත් වේ. ස්ථිර ලිපිනයක් නොමැති නිසා ඔහුට ලැබිය යුතු ලිපි ප්‍රදේශයේ ඔහුගේම නම ඇති වෙනත් පුද්ගලයන් අතට පත් වේ. ඇතැම් ලිපි ලැබෙන්නේ පරක්කු වී අතර සමහර වැදගත් ලිපි ලේඛන ඔහුගේ අතට ලැබෙන්නේ ම නැත.

පෙරියසාමි පුෂ්පරාණි ගාල්ල පිටිගලවත්තු යායේ ජීවත් වන්නීය. තමන්ට හිමි ETF, EPT වරප්‍රසාදය ලබාගැනීමට ඇය නඩුවක් පවරා තිබේ. නඩුව මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ස්ථිර ලිපිනයක් නොමතිකම හා නඩු ලේඛන නියමිත දිනට ලබා ගෙන පිළිතුරු ලබාදීමට අපොහොසත් වීම නිසයි.

සෙල්වරාජා නිරෝෂා දිල්හානි
උඩුගම ඔමදොල්ළුව වත්තේ ජීවත් වන්නීය. ඇය උකසට තැබූ ආභරණ සියල්ල සින්න වී තිබෙන්නේ උකස බෙරාගැනීම දන්වන ලිපි ඇයට නොලැබුණු නිසාය.

ගාල්ල ඉන්දෙණිය වත්තේ වෙසෙන සුබ්‍රමනියම් සිරී ට ගුරු පුහුණුවට අදාළ සම්මුඛ පරීක්ෂණය මගහැරෙන්නේත් ඒ හේතුවෙන් ම බලාපොරොත්තු තබාගෙන සිටි රැකියා අවස්ථාව මගහැරෙන්නේත් නිශ්චිත ලිපිනයක් නොමැතිකම නිසයි.

අප සියල්ලන්ම ගත කිරීමට උත්සහ කරන්නේ ගෞරවාන්විත හා සුවපහසු ජීවිතයක් ය. මෙම ජීවිතය ගත කිරීමට සිවිල් සේවය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සම්න්ධ වීම අවශ්‍ය ය. මේ සදහා අවම වශයෙන් පාසල් අධ්‍යාපනය ලැබීම, නිදහස් සෞඛ්‍ය සේවයල ජල-විදුලිය, ඡන්ද අයිතිය, ජාතික හැදුනුම්පත (කෙනෙකුගේ අනන්‍යතාවය), යම් සහනාධාර යන මේ සියල්ල ස්ථිර ලිපිනය හා සම්බන්ධ වේ. ඒ අරුතින් ස්ථිර ලිපිනය යනු අප ජීවත් වන නිශ්චිත ස්ථානය රජයට තහවුරු කිරීමයි. එමගින් පුද්ගලික ජීවිතයට අදාළ රජයේ ලිඛිත ලේඛන (ඡන්ද පත්‍රිකා, වරිපනම් වැනි) අප අතට ලබාගැනීමයි. ඒ තුළින් අප රජයේ සේවය පුද්ගලික ජීවිතවලට ලබාගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සහභාගී වේ. එහෙත් ස්ථිර ලිපිනයක් නැති නම්?

සුරේෂ් කුමාර්ගේ උත්සහය

ජීවරත්නම් සුරේෂ් කුමාර් මාවතගම, මුවන්කන්ද වතුයායේ ජීවත් වන තරුණයෙකි. ස්ථිර පදිංචි ලිපිනයක් නැත්තෙකි. සුරේෂ් ද ඇතුළුව මේ වතුයාගේ පවුල් 300ක් පමණ ජීවත් වේ. මේ කිසිකෙනෙකුට නිශ්චිත ලිපිනයක් නැති අතර කිසිදු ලිපියක් පෞද්ගලික නොලැබේ. ලිපි ලැබෙන්නේ ”මුවන්කන්ද වත්ත” යන පොදු ලිපිනයටය. ස්ථිර ලිපිනයක් නොමැතිකම නිසා ම ඉහතින් දැක්වූ ප්‍රශ්න රාශියකට මැදිව සුරේෂ්ද ඇතුළු මුවන්කන්ද වතුවාසීන් ජීවත ගෙවයි. මුවන්කන්ද ගම්මානය ලිපි ලබාගන්නේ අසීරු මාර්ගයක් පසුකිරීමෙන් පසුවයි. තමන්ගේ වතුයායට අයත් ලිපි සියල්ල මාවතගම තැපැල් ස්ථානයට ලැබෙන බවත් ඉන්පසුව ඒ ලිපි සියල්ල මුවන්කන්ද උප තැපැල් කාර්යාලයට ලැබෙන බවත් ඉන්පසුව වතු අධිකාරීවරයා විසින් විවිධ පුද්ගලයන් මගින් ලිපි මේ වැසියන්ට ලැබෙන්නට සළස්වන බවත් සුරේෂ් කියා සිටියේය. මේ අතරවාරයේ වැදගත් ලිපි නොලැබීම් හා ලිපි ලැබීම ප්‍රමාද වීම සුලභ බව ඔහු පෙන්වා දුන්නේය.

තමන්ට හා ස්ව වතුයායේ මිනිසුන්ට ස්ථිර ලිපිනයක් ලබාගැනීමේ අරමුණින් පසුගිය මාර්තු 7වැනිදා සුරේෂ් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 2017 ජූනි 17 දින මේ කරුණ සම්බන්ධව සුරේෂ් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනුකර තිබේ. 2019 මාර්තු 25 එහි මූලික විමර්ශනය සිදු කළ අතර එහි විමර්ශන කටයුතු තවමත් සිදුවෙමින් පවතී. 2019 අප්‍රේල් 3 වැනි දින අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයෙන් මුවන්කන්ද වතුයායට ස්ථිර ලියාපදිංචි ලිපින ලබාගැනීමට ඇති හැකියාව ගැන තොරතුරු ඉල්ලා සිටියේය. ඒ අනුව මේ වනතෙක් කිසිදු ප්‍රායෝගික වැඩසටහනක් නැති බව සුරේෂ් ලද තොරතුරයි.

මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් හා දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් කළ කරුණු විමසීමේදී එම නිළධාරීන් ස්ථිර ලියාපදිංචිය ලබාදීම තම විෂය පථයට අයත් නොවන බව දන්වා සිටියේය. ඊට අමතරව සුරේෂ් කුමාර් සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් මතු කර තිබෙන මූලික කාරණයක් වන්නේ තම වතුයායට ආසන්න මීතැන්වල, කැටවල, ගොන්ගාල්දෙණිය හා පරාපේ ආශ්‍රිත වතු වාසීන්ට ස්ථිර ලිපින ලබාදෙමින් තමන්ගේ සමානාත්මතාවයේ අයිතිවාසිකම රාජ්‍ය නිළධාරීන් විසින් කඩ කර තිබීමයි.

සුරේෂ්ගේ පෞද්ගලිකව උත්සහ කරන්නේ තමන්ට, මුවන්කද වතුයායට පමණක් නොව ලංකාව පුරාම විසිරී තිබෙන වතුගම්මාන ආශ්‍රිත පොදු ප්‍රශ්නයක් සාර්ථක අවසානයක් කරා රැගෙන යාමටය. මෙම උත්සහය තීරණාත්මක අවසානයක් කර ගෙනයාමෙන් ‘ඇඩ්‍රස් නැති’ ජන කොටසක් සිය ජීවිත අවුලෙන් අවුලට පත්වීම නවතිනු ඇත. ඒ සදහා වතු ජනයා පොදුවේ පෙළගැසීම අනෙක් වැදගත් ම කරුණයි.

ධනුෂ්ක සිල්වා | Dhanushka Silva