අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කරද්දී ම පාර්ලිමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ පැහැදිලිව කිව්වා, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයට කිසිදු බලයක් නැති බව හා අදාළ අතුරුදහන් වූ අය, අතුරුදහන් වූවාද නැද්ද යන එක සොයා බලලා සහතික ඉදිරිපත් කිරීම විතරයි මෙකෙන් සිදුවෙන්නේ කියලා. එහෙම කියපු නිසා තමා අපි හැමෝම පොදුවේ මේක වන්දි කාර්යාලය විදිහට තීරණය කරලායි OMP එක ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් දැනට OMP එක කියනවා 15 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා, ඒකෙන් කෙනෙක් මිය ගිහින් කියලත්, තවත් 11 දෙනෙක් රෝගාතුරව ඉන්නවා කියලත්, සමහර අය රට ගිහින් කියලත් කියනවා. එහෙම නම් එයාලාගේ සම්පූර්ණ විස්තර OMP එක නිකුත් කරන්න ඕනේ. මේ පුද්ගලයා, මේ රටේ මේ වගේ රස්සාවක් කරමින් ඉන්නවා කියලා පැහැදිලි ප්‍රකාශයක් OMP එක කරන්න ඕනේ. එහෙම කරන්නේ නැතිව මේ වගේ කියන එක රැවටිලිකාර වැඩක් විදිහටයි අපි දකින්නේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය වන පසුගිය අගෝස්තු 31වන දින වීරකේසරී සහ එළනාඩු යන දෙමළ භාෂිත පුවත්පත් දෙක විසින් අතුරුදහන් වූවන් පිළිබද කාර්යාලය උපුටා දක්වමින් පළකරන ලද ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ හිටපු මංත්‍රීනී ආනන්දි සෂීධරන් මහත්මියගෙන් විමසු විට ඇය විසින් එසේ පැවසුවාය. එම පුවතේ දැක්වුනේ 15 දෙනෙක් සම්බන්ධයෙන් ඔවුන් විසින් විමර්ශනය කර ඇති බවත්, ඉන් එක් අයෙක් මිය ගොස් ඇති බවත්, තවත් 11 දෙනෙක් රෝගාතුරව සිටින බවත් සහ තවත් සමහර දෙනෙක් රට හැර ගොස් ඇති බවත්ය. (අතුරුදහන් කරල ලද සිය සැමියා සොයා යන දෙමළ මව්වරුන් අතර, හිටපු පළාත් සභා මංත්‍රීනී ආනන්දි සශීදරන් මහත්මිය ද, අතුරුදහන් කරන ලද සිය සැමියා ට යුක්තිය සොයා යන නොසිදෙන ධෛර්යයකින් යුත් දෙමළ මවකි)

ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ අනන්දි සශීදරන් මහත්මිය,

2009 දී අපි එක්කගෙන ගිහින් භාර දීලා, දැන් නඩුත් ගොනු කරලා එයාලාව හොයමින් ඉන්නවා. ඇතැම් අය කෙලින් ම ගිහින් අහලා තියෙනවා. මේ ගැන කිසිම විමර්ශනයක් කරලා නැහැ. දැන් අලුත් දෙයක් කරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාවල ඉන්න සංවර්ධන නිලධාරියා හරහා අතුරුදන් කළ අයව හොයමින් ඉන්න අයට අමතලා, ඉක්මනින් අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට එන්න. කිසිම ලියවිල්ලක් අවශ්‍ය නැහැ. ජේ.පි කට්ටිය අපේ තැන ඉන්නවා. අපි ම ලියවිලි ටික ලෑස්ති කරලා දෙන්නම් කියන තැන තමා එයාලාගේ විමර්ශන කටයුතු තියෙන්නේ. පළවෙනි අවුරුද්දේ දී අතුරුදන් වුණ කෙනෙක් කියලා කොළයක් දෙනවා. ඒක අවුරුදු තුනකට දීර්ඝ කරන්න පුළුවන්. අවුරුදු තුනකට පස්සේ ඒක මරණ සහතිකයක් බවට පත් වෙනවා කියලා කතාවකුත් තියෙනවා. අපිට මරණ සහතික අවශ්‍ය නැහැ. අපි භාර දුන්න අයට මොනවාද වුණේ කියලා කියන්න. ICRC එකේ 12,000ක් අතුරුදන් වෙලා කියලා 2011/12 දී කිව්වා. ජනාධිපති කොමිෂන් සභාවට 18,000ක් පැමිණිලි කරලා තියෙනවා. දැන් 3500 දෙනෙකුට අදාළව විමර්ශන කරනවා කියන එකත් ජාත්‍යන්තරය රවට්ටන වැඩක්. අපිව රවට්ටන්න බැහැ. නමුත් ජාත්‍යන්තරය රවට්ටමින් ඉන්නවා. පසුගිය කාලයේ දී සභාපතිවරයා ලෙස කටයුතු කළ ගරු සාලිය පීරිස් මේ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ඇති අඩුපාඩු විවේචනය කරමින් සහ මේක අවශ්‍ය යෝජනා ලබා දීලා ධුරයෙන් අයින් වුණා. නමුත් දැන් ඇවිත් ඉන්න කෙනා අතුරුදන් කළ අය විදේශ රටවල ඉන්නවා කියලා කියනවා. එහෙම නම් එයාලාගේ විස්තර ප්‍රකාශයට පත් කරන්න ඕනේ. හමුදා තොරතුරු දෙනවා වගේ ”15 දෙනෙක්ව හොයාගත්තා” කියලා කියන්නේ නැතිව විනිවිදභාවයක් අවශ්‍යයි. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට ජාත්‍යන්තරය රවට්ටන්න පුළුවන්. නමුත් අපිව රවට්ටන්න බැහැ.

වීරකේසරී සහ ඒළනාඩු පුවත්පත් දෙක විසින් පළ කරන ලද පුවත්

“අතුරුදන් වූවන් 15 දෙනෙකුව අපි හොයාගත්තා – ඕ.එම්.පී සභාපති දැනුම් දෙයි‌”

”අතුරුදන් වූ 15 දෙනෙකුට සිදු වූ දේ හෙළි වී තිබේ”