iMage: VIKALPA.ORG

ශ්‍රී ලංකා රාජ්‍ය විසින් දකුණේ දී අතුරුදහන් කරන ලද අයගේ පවුල් පසුගිය (ඔක්තෝබර් 27) දා, අතුරුදහන්වූවන් සිහිකිරීම සදහා නිර්මාණය කර ඇති ලංකාවේ එක්ම ස්ථානය වන රද්දෝලුව ස්මාරකය වෙත රැස්වුනේ 33වන වතාවටය. වසර 33ක් ඒ අම්මාවරුන්, පියවරුන්, බිරින්දෑවරුන් ඇතුලු සමිපතමයින්, අතුරුදහන්කළ සිය ආදරණීයයන් සොයා තවමත් සැරිසරන්නේය. නමුත්, එම අතුරුදහන් කිරීම්වලට වගකිව යුතු කිසිවෙක් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍යයට තවමත් නොහැකි වී තිබීමෙන් කියැවෙන කරුණු බොහෝමයක් අතර වැදගත් කරුණක් තිබේ. එනම් ශ්‍රී ලංකා සමාජය තුළ ‘දණ්ඩමුක්තිය’ යහමින් පෝෂණය වී වැඩෙන්නට තත්ත්වයන් නිර්මාණය කර තිබීමයි. එසේම දණ්ඩමුක්තිය අවසන් කිරීමට මෙතෙක් බලයට පැමිණි කිසිදු පාලනයකට නොහැකි වූයේද, ඒ සියු දෙනාම ‘දණඩමුක්තිය’ අවසන් කිරීමට කිසිදු දේශපාලන වුවමනාවක් නොමැති පුද්ගලයින් වීමය. නොඑසේ නම් අපරාධකරුවන් ආරක්ෂා කිරීමට සෘජුව හේ වක්‍රම සහය දෙන පුද්ගලයින් හෝ දේශපාලන ව්‍යාපාර වීමය.

අදත් ඔවුන් සොයන්නේ ඔවුන්ගේ ආදරය යි

1971, 1988-89 ලංකාවේ දකුණේ දී අතුරුදහන් කරන ලද බොහෝ අයගේ සමීපතමයින්, තමන්ට ඇති සියලු දුෂ්කරතාවයන්, වයෝවෘද්ධ තත්ත්වයන් නිසාවන සියලු පීඩාවන් අමතක කරමින් සෑම වසරකම රද්දොලුව අතුරුදහන් වූවන් සිහිකිරීම සදහා ඇති ස්මාරකය වෙත පැමිණෙන්නේ කවදා හෝ සත්‍ය සහ යුක්තිය ඉටු වෙතැයි යන බලාපොරොත්තුව තුරුළු කරන්ය. නමුත් වසර 33ක් ඒ බලාපොරොත්තුව ඉටු කිරීමට කිසිදු පාලකයෙක් නොහැකි වූවා සේම, එම නරුම පාලකයින් පත්කරන ලද ඡන්දදායකයනුත් ඒ අම්මාවරුන්ගේ, පියවරුන්ගේ සහ බිරින්දෑවරුන්ගේ වේදනාව සමනය කිරීමට නොහැකි වීම ගැන වගකිව යුතු නොවන්නේ ද? අතුරුදහන් කරන ලද ඔවුන්ගේ ආදරය පිළිබද කිසිදු තොරතුරක් තවමත් සොයාදීමට නොහැකි වූ පාලකයන් වෙනුවෙන් පාවඩ හෙළු සියලු ඡන්දදායකයන් මේ මිනිස් වේදනාව ට වගකිව යුතු නොවන්නේද?


33ක්…

අතුරුදහන් වූවන් සිහිකිරීමේ 33වන වසරේ දී එය සංවිධානය කළ ‘අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව’ විසින් අතුරුදහන්වූවන්ගේ සමීපතමයින් 33 දෙනෙක් සදහා, තමන්ගේ අතුරුදහන් වූ ආදරණීයයාගේ රුව ඇතුලත් ගෙළපලදනාවක් පිරිණැමීය. එහිදී එම ගෙළ පළදනාව පළදවා ගනිමින් ඔවුන් මෙසේ ප්‍රතිඥ්ඥා දුන්නේ ය.

”ජීවත් වීම යනු මිනිසාගේ පරම අයිතියයි. කවුරුන් හෝ විසින්, කවර හේතුවක් මත, කොතැනකදී වූව, කෙනෙකුගේ ජීවිතය උදුරා ගැනීම මනුෂ්‍යත්වයට එරෙහි බරපතලම අපරාදය යි. 1971දී, 1980 දශකයේ දී හා යුද්ධයත්, ඉන් පසුවත් රජය සහ ඝාතන කල්ලි විසින් මේ රට පුරා බලහත්කාරයෙන් අතුරුදහන් කළ ආදරණීයයන්ට සිදු වූයේ කුමක්ද? ඔහු/ඇය කොහිද? ජීවතුන් අතර සිටීද? ජීවිතය අහිමි කළාද? තවමත් පිළිතුරක් නැති මේ ප්‍රශ්ණ හමුවේ අතුරුදහන්වුවන්ගේ පවුල්වල සියලු දෙනා වේදනාවටත්, පීඩිතභාවයටත් පත්ව සිටී.

කිසිදු රජයක් අතුරුදහන් කළ ආදරණීයයන් සම්බන්ධයෙන් වගකීම භාරගෙන නැත. නීතියෙන් හෝ සමාජයෙන් අපට සාධාරණය ඉටු වූයේද නැත. විසදුමක් නොලැබුණු, අතුරුදහන් වූවන්ගේ පවුල්වල අපට අපගේ ආදරණීයයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීමටත්, අප මෙන් අපගේ මතු පරපුරට මේ ඉරණමට මුහුණ නොදෙන්නටත්, බලයේ සිටින, බලය ලබා ගැනීමට උත්සාහ කරන කිසිම පුද්ගලයෙකුට, කණ්ඩායමකට ඉඩ නොතබන බවට මෙහි සිටින මා 2023 ඔක්තෝබර් 27වන දින අතුරුදහන්වූන්ගේ ස්මාරකය පාමුල සිට අධිෂ්ටානයෙන් යුතුව ප්‍රතිඥා කරමි.”


යුක්තිය වෙනුවෙන් කල්මැරීමේ ක්‍රීඩාව

දකුණේදී අතුරුදහන් කරන ලද සිය ආදරණීයන්ට සිදුවූයේ කුමක්ද යන්න සොයා යන 33වසරේදී, ‘සත්‍ය සහ යුක්තිය සදහා වන ජත්‍යන්තර ව්‍යාපෘතිය’ ඒ පිළිබද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, ශ්‍රී ලංකාව යනු ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරැල්ල ආශ්‍රිතව ද දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි සිවිල් යුද්ධයෙන් ද සිදු වූ පැහැරගැනීම් විශාල සංඛ්‍යාවක් ඓතිහාසික වශයෙන් නොවිසදී පැවතුනු රටවල්වලින් එකක් යනුවෙනි.

“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් සත්‍ය හෙළි කරගැනීම යනු ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කිරීම සදහා ප්‍රශ්ණයට විසදුම් සොයන බවට ආණ්ඩුව අගවන නරුම අභ්‍යාසයක් පමණක් නොව සත්‍ය වශයෙන්ම සිදුවන්නේ අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් මියගොස් ප්‍රශ්නය ඉවත්ව යනතුරු බලා හිදීමකි” යැයි ‘සත්‍ය සහ යුක්තිය සදහා වන ජත්‍යන්තර ව්‍යාපෘතිය(International Truth and Justice Project) ‘ හි විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සුකා එම මාධ්‍ය නිවේදනයෙන් පවසයි.

යුද්ධයෙන් අතුරුදහන්වූවන්ගේ දෙමළ දෙමාපියන් 188 දෙනකු සත්‍ය දැනගැනීමට පෙරම මියගොස් ඇති බවට වාර්තාවන බවට ද ‘සත්‍ය සහ යුක්තිය සදහා වන ජත්‍යන්තර ව්‍යාපෘතිය’ විසින් නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ.

ජනතා විමුක්ති පෙරමුණ සමයේ අතුරුදහන් කිරීම් ගැන වගවීම සම්බන්ධයෙන් බැරෑරුම් යලස සලකන්නේ නම්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පහත දැක්වෙන ලෙස කඩිනම් පියවර ගත යුතු බවට ද එම වාර්තාව වැඩිදුටත් පවසයි.

– බලහත්කාරයෙන් හා නොකැමැත්තෙන් සිදුකරන ලද අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්යේ ක්‍රියාකාරී කණ්ඩායම සහ අත්තනෝමතික රඳවා තබාගැනීම් පිළිබඳ එක්සත් ජාතීන්යේ ක්‍රියාකාරී කණ්ඩායම විසින් 2022 නොවැම්බර් මාසයේ අසන ලද ප්‍රශ්නවලට මෙන්ම, 1989 මාතලේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකාරකගේ භූමිකාව ගැන, සෘජු හෝ අත්තනෝමතික ඝාතන පිළිබඳ විශේෂ වාර්තාකරු සහ සත්‍ය, යුක්තිය, හානිපුර්ණය සහ පුනරුච්චාරණය නොවීම සහතික වීම පිළිබඳ වියශ්ෂ වාර්තාකරු විසින් එවන ලද ලිපියට වහාම ප්‍රතිචාර දක්වන්න. (https://itjpsl.com/assets/DownLoadPublicCommunicationFile.pdf)

– 1987 සිට 1989 දක්වා සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකාරකයන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කරන්න.

– මේ කාල පරිච්ඡේදය තුල බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ අපරාධයට වගකිවයුතු බවට චෝදනා ලබන පොලීසියේ, යුද හමුදාවේ සහ දේශපාලන පක්ෂවල විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නිර්දේශ කර ඇති නඩු පැවරීම් සහ අපරාධ චෝදනාවල ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කරන්න.

– 2030 වනතුරු ජනාධිපති මුද්‍රාව යටතේ තබා ඇති ජවිපෙ සමයේ අතුරුදහන් කිරීම් පිළිබඳ ජනාධිපති කොමිසන් වාර්තාවල ඇති සාක්ෂි වාචක ප්‍රසිද්ධියට පත් කරන්න.

සිවිල් යුද සමයේ සහ ඉන් පසු කාලයේ අතුරුදහන්වීම්වල වගඋත්තරදායකත්වය පිළිබදව බැරෑරුම් ලෙස සලකන්නේ නම්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පහත දැක්වෙන පියවර ගත යුතු බව ද ‘සත්‍ය සහ යුක්තිය සදහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය’ පවසයි.

– 2009 මැයි 18 භාරවූවන්ගේ ලැයිස්තුව ඊට අදාල හබයාස් කෝපස් නඩුවේ නීතිඥයන් විසින් ඉල්ලා ඇති පරිදි ඉදිරිපත් කරන ලෙස 58 සේනාංකයට නියෝග කරන්න.

– වට්ටුවාක්කල් පාලමේ දී 2009 මැයි 18 දා යුද හමුදාවට බාර වූ දරුවන් ඇතුලු සිය ගණනකට සිදුවූයේ කුමක්දැයි දැනගැනීම පිණිස වින්දිතයන්ගේ ඥාතීන් විසින් ඉල්ලා ඇති පරිදි, ශ්‍රී ලංකා යුද හමුදාවේ 58, 59 හා 53 සේනාංකවල, විශේෂ බලකායේ හා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ආඥාපතිවරුන්ගෙන් සහ නියෝජ්‍ය ආඥාපතිවරුන්ගෙන් ද, අතුරුදහන් තැනැත්තන් පිළිබද කාර්යාලය විසින් ප්‍රශ්ණ කරනු ලැබීම සහතික කරන්න.

– වීඩියෝ පටවල(ඝාතන දැක්වෙන චැනල් 4 ඇතුලුව) සොල්දාදුවන්ගේ මුහුණු පැහැදිලිවම දැකගත හැකිය. මේ දර්ශන හමුදාවේ පුද්ගලික දත්ත ගබඩා තුළින් පරීක්ෂා කරන ලද බවටත්, එමගින් අනාවරණය වූ දේ පිළිබදවත් ඔප්පු කළ හැකි සාක්ෂි ඉදිරිපත් කරන්න. (https://itjpsl.com/assets/SINHALA-27-October-2023-press-release.pdf)

තවත් කොමිසමක්

වසර ගණනාවක් පුරා සිදුකරන ලද බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබදව ‘සෙවීම සදහා’ ශ්‍රී ලංකාවේ බලයට පත් වූ විවිධ ආණ්ඩු විසින් ජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරමින් ජනාධිපති කොමිෂන් සභා ඇතුලු යාන්ත්‍රණ විශාල ප්‍රමාණයක් මේවන විට ක්‍රියාත්මක කර තිබේ. එම යාන්ත්‍රණවල එක් යාන්ත්‍රණයක් වන්නේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයයි. 14 of 2016 (OMP Act) දරණ පනතින්, යහපාලන ආණ්ඩුව සමයේ පිහිටුවනු ලැබූ එම කාර්යාලයට එවකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන විසින්, 2018 පෙබරවාරි 28 වනදා කොමසාරිස්වරු 7දෙනෙක් පත් කරමින් ස්ථීර කාර්යාලයටක් ලෙස ස්ථාපිත කළේය. මේවන විට එම කාර්යාලයට වසර 5ක් ඉක්මා ඇති නමුත්, අතුරුදහන්කරන ලද පුද්ගලයින් පිළිබද ඔවුන්ගේ සොයාගැනීම් මොනවාද? පරීක්ෂණ? සහ පරීක්ෂණවල ප්‍රගතිය කවරේද? බලහත්කරයෙන් අතුරුදහන්කරන ලද එක් පුද්ගලයෙක් පිළිබදව හෝ ඔහුට/ ඇයට එම අපරාධය සිදුකලේ කවුරුන්ද යන්න පිළිබදවවත් සිදුකළ පරීක්ෂනයක සාධනීය ප්‍රතිඵල තිබේද? ආදී, සත්‍ය සහ යුක්තියට අදාළ සොයාගැනීම් මොනවාද? වැනි ප්‍රශ්ණ වැලක් සමාජයෙක් මතුවෙමින් පවතී. නමුත් එම කිසිදු ප්‍රශ්නයකට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය පිළිතුරු දීමට සමත්ව නැත.

වසර ගණනාවක් පුරා සිදුකරන ලද බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට සත්‍ය සහ යුක්තිය ලගා කර දීමට ශ්‍රී ලංකා රාජ්‍ය අසමත් වී ඇති තරම එතෙක් මෙතෙක් ඇතිකළ කොමිෂන් සභා සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය වැනි යාන්ත්‍රණ මේ සමාජයට අත්කර දී ඇත්තේ මොනවාදැයි යන්න පමණක් විමසීමෙන් පහසුවෙන් සොයාගත හැකිය.

තත්ත්වය එසේ තිබිය දී වත්මන් අනුප්‍රාප්තික ජනාධිපති වන රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් සත්‍ය සෙවීමට සදහා යැයි කියමින් ‘සත්‍ය කොමිසමක්’ ඇති කිරීමට සූදානම් වෙති. පසුගිය කාලය පුරා ධනය සහ ශ්‍රමය වැයකරමින් පිහිටුවනු ලැබූ කිසිදු යාන්ත්‍රණයකින් කිසිදු ආකාරයක ‘සත්‍ය හෝ යුක්තිය’ක් ඉටු නොවුනු තත්ත්වයක් තිබිය දී නැවතත් අලුත් කොමිසමකින් සිදුකිරීමට යන ආශ්චර්ය කුමක්ද? අනෙක් කරුණ නම් නැවතත් අලුත් කොමිසමකින් ‘සත්‍ය’ සෙවීමට ශ්‍රී ලංකා ආණ්ඩුව දරණවායැයි කියන උත්සාහයෙන් කියැවෙන ප්‍රධාන කරුණක් වෙයි. එය නම් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබද සත්‍ය සෙවීම සදහා පසුගිය කාලය පුරාම ගනු ලැබූ සෑම උත්සහයක්ම අසාර්ථක බව නොවේද? එසේම මෙම තත්ත්වයට ප්‍රධාන තවත් හේතුවක් වන්නේ අදාළ යාන්ත්‍රණවල ආසාර්ථකත්වයන් සේම මෙම කරුණ සම්බන්ධයෙන් සෑම පාලනයකම නොතිබුණු දේශපාලන උනන්දුවයි. සත්‍ය සහ යුක්තිය සොයා ගැනීමට අදාළව, පවතින පාලනයේ ‘දේශපාලන උනන්දුවක්’ තිබිය යුතුය. පසුගිය කාලය පුරාම අපගේ සියලු පාලනයන් ඉතාමත් ලැජ්ජා සහගත ලෙස පෙන්වන ලද්දේ ද, පෙන්වමින් සිටින්නේ ද මේ අපරාධය සම්බන්ධව සහ තවත් එවැනි අපරාධයන් සම්බන්ධයෙන්, ඒවා ට යුක්තිය ඉටු කිරීම සදහා තමන්ගේ ‘දේශපාලන උනන්දුව’ නොමැතිකමේ තරම ය.

එසේම තවත් ප්‍රධාන කරුණක් වන්නේ බලහත්කාරයෙන් අතුරුදහන් කීරීම් සම්බන්ධයෙන් සත්‍ය සොයාගැනීමේදී, ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කිරීම සදහා කාලයෙන් කාලයට විවිද අන්දමේ ක්‍රියාකාරීත්වයන් යෝජනා කරමින් කල් මැරීමේ නරුම අභ්‍යාසයන් සියලු ආණ්ඩු විසින් ක්‍රියාත්මක කළේ ය. ක්‍රියාත්මක කරමින් සිටින්නේ ය. මෙම නරුම භාවය ද මෙවැනි අපරාධවලට යුක්තිය සොයාගැනීමේදී ප්‍රභල ලෙස බාධකයක්ව පවතින බවත්, මේවාට විසදුම් සොයාගන්නේ නැතිව සෞඛමත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් මෙන්ම යහපත් ආර්ථික සංවර්ධනයක් අත්පත්කර ගැනීමට ‘ශ්‍රී ලංකාවට’ නොහැකි වනු ඇත.

*ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත ක්ලික් කරන්න