iMage: wsws

මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් 11 දෙනෙකු ඝාතනය කර 2024.11.29 දිනට(අදට) වසර හතරක් ගත වී තිබේ. ඝාතන 11ක් සිදුව ඇතත් ඝාතකයන් හදුනා ගැනීමක් සිදුව නැති අතර, ඝාතකයන් හදුනාගැනීමට ඇති නෛතික ප්‍රවේශය ද සීමාසහිත වෙමින් පවතී. මෙම ඝාතනය සාධාරණීකරණය කිරීමට එවක රජය, රජයේ අමාත්‍යවරුන්, ඉහළ පෙළ බන්ධනාගාර නිළධාරීන් හා ආණ්ඩු පාක්ෂික ජනමාධ්‍ය විශාල උත්සහයක් ගත් අතර ඔවුන් පොදුවේ ජනගත කළ මතය වූයේ ”අපරාධකරුවන් වන බන්ධනාගාර රැදවියන් මරා දැමීම යුක්තිසහගත වේ.” යන අගතිදායක අදහසයි. විශේෂයෙන්ම මෙම සිදුවීමේ කරුණුමය සත්‍ය යටපත් කර සිදු වූ අපරාධය සාධාරණීයකරණය කිරීමට මුද්‍රිත මාධ්‍ය ආචාරශීලීභාවයෙන් තොරව හා වගකීම් රහිතව මාධ්‍ය ආවරණ සකස් කළ ආකාරය මෙම ලියුම්කරු විසින් මීට ඉහතදී අධ්‍යනය කර හා වාර්තා කර තිබේ. (එම ලිපියේ LINK මෙහි දැක්වේ)

ඝාතකයන් නොමැති ඝාතන

බන්ධනාගාර රැදෙවියන් විවිධ හේතු මත බන්ධනාගාර තුළ දී ම මරා දැමීම සම්බන්ධයෙන් වෙන් වූ ඉතිහාසයේ වෙනම පරිච්ඡේදයක් අපට තිබේ. 1983 ජූලි 25 වැනිදා වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සෙල්වරාජා යෝගරාජන් ඇතුළු සිරකරුවන් 35 දෙනෙක් අධිකරණය විසින් රාජ්‍ය ආරක්ෂාව භාරයට පත්කර සිටියදී ඝාතනය කිරීම මුල් ම සිදුවීමයි. ඉන්පසු අවශේෂ අවස්ථා කිහිපයක් හැර ප්‍රධාන අවස්ථා 6කදී රාජ්‍ය මිලිටරිය යොදවා බන්ධනාගාරවල හෝ පුනරුත්තාපන කදවුරුවල සිටි රැදවියන් 88 දෙනෙකු ඝාතනය කර ඇත.

මෙම ඝාතන සිදුවීම් සියල්ලේම ස්වභාවය හදුනාගත හැකි පොදු ලක්ෂණ කිහිපයක් දක්නට ලැබේ. එම ලක්ෂණ නම් රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටින සිරකරුවන් ඝාතනය කිරීම, ඔවුන් මරා දැමීම යහපත් ක්‍රියාවක් ය යන මතය සමාජගත කිරීම, ඝාතකයන් නිශ්චිතව හදුනානොගැනීම, අධිකරණ ක්‍රියාවලිය තුළ ඝාතකයන් වරදකරුවන් නොවීම, පොදුවේ චෝදනා ගොනු කිරීම හා සැකකරුවන් ලෙස මුල් අවස්ථාවේදී හදුනාගත් අය අධිකරණ මාර්ගයෙන් නිදහස් වීම/නිදොස් කොට නිදහස් කිරීමයි. අවසන් විග්‍රහයේදී සිදුවන්නේ බන්ධනාගර තුළ සිදුවන මරණ සඳහා වගකීමට ලක් කළ හැකි කිසිවෙකුත් නොමැතිවීමෙන් “ඝාතකයන් නොමැති ඝාතන” ගිණුමට මෙම සිදුවීම් බැරවීමයි.

ඝාතනවලට හේතු

රැදවියන් අතර කෝවිඞ් වෛරසය පැතිරීයාම 2020.11.29 දින මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් අතර නොසන්සුන්කාරී තත්වයක් ඇතිවීමට හේතු විය. වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් 2020.11.28 දින මහර බන්ධනාගාර රෝහල වෙත පී.සී.ආර් පරීක්ෂණ නොකර සැකකරුවන් 112 දෙනෙක් යොමුකිරීම හා 2020.11.12 දින බෝගම්බර බන්ධනාගාරයෙන් මහර බන්ධනාගාරයට රැදවියන් 69ක් යොමුකිරීම හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්වය හටගෙන තිබිණ. සිදුවීම වන විට බන්ධනාගාරය තුළ රදවා සිටි මුළු රැදවියන් ගණන 2788කි. මෙම නොසන්සුන්තාවයෙන් බන්ධනාගාර නිළධාරීන් දෙදෙනෙක් ද සිරකරුවන් 153 දෙනෙක් තුවාල ලැබූ අතර රැදෙවියන් 11 දෙනෙකු මරණයට පත්විය. සියලූම මරණකරුවන් වෙඩි තැබීම්වලින් මියගොස් තිබෙන බව මරණ පරීක්ෂණ කටයුතු සඳහා පත්කළ විශේෂඥයින්ගෙන් සමන්විත බහුවිධ විශේෂඥ මණ්ඩලය තීරණය කරන ලදී. කොවිඞ් ආසාදිතව තිබූ මෘත ශරීර අටක් ආදාහනය කළ අතර මෘත ශරීර තුනක් භූමදානය කරන ලදී. පොලිස්පතිතුමාගේ අණ පරිදි 2020.11.30 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සිදුකිරීමට භාර කරන ලදුව මේ දක්වා බන්ධනාගාර නිළධාරීන් 224 දෙනෙකුගෙන් තුවාල ලැබූ රැදවියන් 44 දෙනෙකුගෙන්, අනෙකුත් රැදවියන් 624 දෙනෙකුගෙන් රෝහල් වෛද්‍යවරු 10 දෙනෙකුගෙන් හෙද නිළධාරීන් පස් දෙනෙක් හා ඖෂධවේදීන් 04 දෙනෙකුගෙන් ප්‍රකාශ 937ක් ලබාගෙන තිබේ.

මෙම සිදුවීම සාධාරණීකරණය කිරීමට අවශ්‍ය ජන මනස නිර්මාණ කිරීමට 2020.11.30 දින අමාත්‍ය විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ යම් පෙති වර්ගයක් (ඔහු එය හැදින්වූයේ “රිවර්ස” නමිනි) පානය කිරීමෙන් ලේ දැකීමට ආශා වූ රැදවියන් පිරිසක් මහර බන්ධනාගාරය තුළ ප්‍රහාරයක් සැළසුම් කර ඇති බවයි.

කෙසේවෙතත්, මහර ඝාතනවල හේතු සෙවීමට පත්කළ මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා විජෙසිංහ ඇතුළු වෛද්‍ය මණ්ඩලයේ මතය වූයේ බන්ධනාගාරය තුළ තිබූ බෙහෙත් පානය කිරීමෙන් රැදවියන් ක්‍රියාකාරී හෝ අවේගශීලී වී ඇති බවට වන මතය සම්පූර්ණයෙන්ම වැරදි බවත්, එසේ පානය කර තිබේ නම් ක්‍රියාකාරී තත්වය හීන වන බවත් ය.

නෛතික ක්‍රියාමාර්ග

මහර බන්ධනාගාරයේ ඝාතන 11 සිදුවීමෙන් වසර දෙකහමාරකට පසු 2023.04.26 දින වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උඩුවිධාන මහතා මෙම සිදුවීමේදී බැලූ බැල්මට අපරාධයක් අනාවරණය වී ඇති බැවින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී. කෙසේවෙතත්, මහේස්ත්‍රාවරයා ලබාදුන් මෙම නියෝගයට අනුව කිසිඳු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා නොකිරීම හේතුවෙන් අද වනතුරු මෙම සිදුවීමට අදාළව නිශ්චිතව සැකකරුවන් (ඝාතනයන්) හදුනාගැනීමට නොහැකි වී තිබේ. මහේස්ත්‍රාත්වරයා නියෝගය ලබා දී අවුරුද්දකුත් මාස දෙකකුත් ගත වන තැන මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව බලාත්මක කරවාගැනීමටත් ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් ආඥාවක් ලබාගැනීමට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නීතීඥ සේනක පෙරේරාගේ උපදෙස් මත, ඝාතනය කළ රැදවියන් 11දෙනාගෙන් එක් අයෙක් වූ සම්පත් පුෂ්පකුමාර යන අයගේ බිරිද ලසන්ති මහත්මිය විසින් CA/WRT/325/23 දරන රීට් පෙත්සම අභියාචනාධිකරණයේ ගොනුකරන ලදී.

මෙම පෙත්සමට අදාළව 2024.01.22 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා ගරු අභියාචනාධිකරණයට දන්වා සිටියේ මාස තුනක් ඇතුළත සැකකාර බන්ධනාගාර නිළධාරින්ට විරුද්ධව අධිචෝදනාපත්‍ර ගොනු කරන බවයි. ඉන්පසු 2024.05.08, 2024.07.31 හා 2024.10.15 දිනවලදී නියෝජ්‍ය සොලිසිටර්වරයා ගරු අභියාචනාධිකරණයට දන්වා සිටියේ අධිචෝදනාපත‍්‍ර ගොනු කිරීමට අදාළ සැකකරුවන් හදුනාගැනීමට පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති බවත් එම පරීක්ෂණය තවමත් අවසන් කර නොමැති බවත් ය.

කරුණු මෙසේ තිබියදී 2024.08.30 දින අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර වැලිසර මහේස්ත්‍රාත්වරයාට ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ මහර බන්ධනාගාරය තුළ ඇතිවූ කැරලිකාරී තත්වය මැඩපැවැත්වීම සඳහා බන්ධනාගාර නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් නීත්‍යනුකූලව කටයුතු කර ඇති අතර නිළධාරීන්ගේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා ක්‍රියාකර නොමැති බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම ඝාතනවලට අදාළ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ ක්‍රියාත්මක වන ඊ3118/20 නඩුව සම්බන්ධයෙන් තවදුරටත් පියවර ගැනීම අවශ්‍ය නොවන බවයි. (එම ලිපියට ආදාළ LINK මෙහි දැක්වේ)

එහි අනෙක් අදහස වන්නේ මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් 11 දෙනෙකු ඝාතනය වීම ඝාතකයන් නොමැති ඝාතන ලැයිස්තුවට එකතු වීමට නියමිත බවත්, නිශ්චිත වශයෙන් මෙම මරණ සිදුකළ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට නොහැකිවන බවත්ය.

ධනුෂ්ක සිල්වා | Dhanushka Silva