වසර ගණනාවක් පැවති යුද්ධාවසානයේ, මුල්ලිවෛක්කාල් හී 2009 වසරේ මැයි මස සිදු කළ අපරාධයන් එම ප්‍රදේශයේ පමණක් නොව, මුළු රටේම ඉතිහාසයේ ලේ තැවරුණු අඳුරු පිටුවකි. එම කාලය තුළ දහස් ගණනින් ජනතාව මරණයට පත් කළ අතර, එය ශ්‍රී ලංකා ආණ්ඩුව එක් ලෙසකින් එය නාමකරණය කරන ලද්දේ ‘මාණුෂික මෙහෙයුම’ යන නමිනි. එම ඊනියා මාණුෂික මෙහෙයුම නමින් හදුන්වන ‘යුද්ධය’ සහ එහි දී දෙමළ ජනයාට එරෙහිව ඓතිහාසිකව සිදුකළ සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් ඇතුලු බිහිසුණු අපරාධ ජන සංහාරයක් ලෙස හඳුන්වති. එහිදී ‘මුල්ලිවෛක්කාල් සිහිකිරීමේ උත්සවයන්’, දෙමළ මිනිසුන්ට යුක්තිය ඉටු කිරීමට, ඔවුන්ගේ ජීවිත හා ගෞරවය ඉහළින් තබා ගැනීමට, එසේම ජාතිවාදයේ විනාශකාරී බලපෑම්වලින් ආරක්ෂා කිරීමට ඇති අවශ්‍යතාව අවධාරණය කරන ඉතාමත් වැදගත් අවස්ථාවකි. සෑම වසරකම මැයි 18 වන දා මුල්ලිවෛක්කාල් හී දි පවත්වන සිහිකිරීමේ වැඩසටහනට සමගාමීව මීගමුවේදී, ඊයේ(24) පැවති මුල්ලිවෛක්කාල් සිහිකිරීමේ වැඩසටහන, ‘සිංහ ල රාවය’ ඇතුලු ජාතිවාදීන්ගේ බාධා මධ්‍යයේ වුවද සාර්ථකව අවසන් කිරීමට හැකිවීම, ශ්‍රී ලංකාවේ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ නොසැලෙන ධෛර්යයේ සංකේතයකි.

මුල්ලිවෛක්කාල් සිහිකිරීමේ වටිනාකම

මුල්ලිවෛක්කාල් සිහිකිරීමේ වැඩසටහන්වල එක් අරමුණක් වන්නේ මරා දැමුණු දෙමළ ජනතාවට ගෞරව කිරීම, ඔවුන්ගේ ජීවිත හා අනන්‍යතාව, වේදනාබර අත්දැකීම් යළි යළිත් සිහිපත් කිරීමත්ය. එසේම සිදුකළ අපරාධයන් පිළිබද සත්‍ය හෙළි කිරීමට බලකිරීමත්, යුක්තිය වෙනුවෙන් වන අරගලයට ශක්තියක් වීමය. දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාශය නැවත නැවත් පෙන්නුම් කිරීමය. තවත් බොහේ දේවල් එහිදී සාකච්ඡා කරන යුක්තියේ ප්‍රභල වේදිකාවකි, මුල්ලිවෛක්කාල්! මෙම වැඩසටහන් හුදු සිහිකිරීම් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ සිදු කළ අසාධාරණයන්ට, අයුක්තීන්ට එරෙහිව යුක්තිය ඉල්ලා සිටීමේ බලවත් වේදිකාවකි. මෙම සිදුවීම් තුළින්, ජනතාවට එකිනෙකා සමඟ එක්වී, ඔවුන්ගේ වේදනාව හා හඬ බෙදා ගැනීමත්, මෙන්ම, එය ජාතිවාදී බෙදීම්වලින් තොරව, මිනිස් ජීවිතවල ගෞරවය ඉහළින් තබා ගැනීමට ඇති අවශ්‍යතාව දැඩිව අවධාරණය කරන්නකි.

ක්‍රිස්තියානි සහයෝගීති ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ, මීගමුවේදී පැවති එම වැඩසටහන තුළ, ක්‍රිස්තියානි පියතුමන්ලා, පැවැදි සොහොයුරියන්, සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන් එක්ව ජන සංහාරයට එරෙහිව හඬක් නැඟූහ. ඔවුන්ගේ ධෛර්යය, ශ්‍රී ලංකාවේ ජාතිවාදයට එරෙහිව සටන් කිරීමට ඇති ශක්තිය පිළිබිඹු කිරීමකි. එමෙන්ම, මෙම වැඩසටහන තුළ සාකච්ඡා වූ ස්වයං නීර්ණය අයිතිය පිළිගන්නා නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව, සමානාත්මතාවයෙන් හා යුක්තිය මත ගොඩනගන සමාජයක දැඩි අවශ්‍යතාවයද, බලාපොරොත්තුව ද පිළිබිඹු කරයි.


නැවත නැගී එන ජාතිවාදයට එරෙහිව සටන් කිරීම

මීගමුවේදී ‘සිංහල රාවය’ වැනි සිංහල ජාතිවාදී සංවිධානවලින් එල්ල වූ බාධා, ශ්‍රී ලංකාව තුළ තවමත් පවතින ජාතිවාදී ගිණිදැල් තවමත් නිවී නොමැති බව පෙන්නුම් කරයි. මෙවැනි බාධා, ජනතාවගේ යුක්තිය ඉල්ලා සිටීමේ හඬ මර්දනය කිරීමට උත්සාහ කරන බව පැහැදිලිය. එහෙත්, මෙම බාධා මධ්‍යයේ වුවද, සිහිකිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කිරීමට හැකිවීම, ජාතිවාදයට එරෙහිව ජනතාවගේ ඒකාබද්ධ ශක්තියේ සාක්ෂියකි.

ජාතිවාදය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරාවටම බෙදීම්, ගැටුම්, සහ විනාශයන් ඇති කළ නරුම බලවේගයකි. එය සාධාරණ – යුක්තිසහගත සමාජයක් ගොඩනැගීමේ බලාපොරොත්තුවට බාධා කරයි. මුල්ලිවෛක්කාල් සිහිකිරීම වැනිවැඩසටහන්, ජාතිවාදයේ විනාශකාරී බලපෑම්වලින් මුදවා ගැනීමට ඇති අවශ්‍යතාව යළි යළිත් අවධාරණය කරන්නේ ඒ නිසාය. එබැවින් නැවතත් නැගී එන ජාතිවාදී මැරයින් බැද තැබීමේ ප්‍රමුඛ වගකීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුලු ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට තිබිය යුතු යැයි අමුතුවෙන් ලියා තැබිය යුතු නොවේ.