“චෙම්මනී සමූහ මිනී වළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වුවහොත් සාක්ෂි දීමට තමන් සූදානම්” ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සෝමරත්න රාජපක්ෂ විසින් තම බිරිඳ හරහා ජනාධිපතිවරයාට යවන ලද ලිපියක් උපුටා දක්වමින් වීරකේසරී වෙබ් අඩවිය විශේෂ අන්තර්ගතයක් ප්‍රකාශයට පත් කර තිබේ.

*මේ එහි සිංහල අනුවාදයයි – මෙම සටහනේ තොරතුරුවල සම්පූර්ණ අයිතිය වීරකේසරී වෙබ් අඩවිය සතුය.

ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගේ බිරිඳ වන එස්.සී. විජේවික්‍රම විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ලිපියක් යවමින්, චෙම්මනී සමූහ මිනීවළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින අතර, එවැනි පරීක්ෂණයකට තම සැමියා සාක්ෂි දීමට සූදානම් බව සඳහන් කර ඇත. මෙම ලිපිය, අදාල සිද්ධිය පිළිබඳව මීට පෙර හෙළි නොවූ තොරතුරු රාශියක් හෙළිදරව් කරන බව වීරකේසරී වෙබ් අඩවිය බවසයි.

1. සෝමරත්න රාජපක්ෂගේ ප්‍රකාශය සහ ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා කැමැත්ත: ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ මරණ දණ්ඩනය නියම වූ ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ, චෙම්මනී සමූහ මිනීවළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වුවහොත් සාක්ෂි දීමට සූදානම් බව ඔහුගේ බිරිඳ හරහා ජනාධිපතිවරයාට දන්වා ඇත. “මගේ ස්වාමිපුරුෂයා වන සෝමරත්න රාජපක්ෂ නීතිවිරෝධී ලෙස දඬුවම් ලබා ඇත. එබැවින් චෙම්මනී සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඊට සාක්ෂි දීමට ඔහු සූදානම් බවත් මගේ ස්වාමිපුරුෂයා ප්‍රකාශ කර ඇත.”

2. සෝමරත්න රාජපක්ෂගේ භූමිකාව පිළිබඳ පැහැදිලි කිරීම: සෝමරත්න රාජපක්ෂගේ බිරිඳ සඳහන් කර ඇත්තේ, ක්‍රිෂාන්ති කුමාරස්වාමි සහ ඇගේ පවුලේ අයගේ මළ සිරුරු චෙම්මනී ට ගෙනැවිත් කපිතාන් ලලිත් හේවාගේගේ අණ පරිදි භූමදානය කිරීම හැර වෙනත් කිසිදු අපරාධයක් තම සැමියා විසින් සිදු කර නොමැති බවයි. ඇය පවසන්නේ, “ක්‍රිෂාන්ති කුමාරස්වාමි ලිංගික අපයෝජනයට ලක්වීම සහ ඇගේ පවුල ඝාතනය කිරීම සම්බන්ධයෙන් මගේ සැමියාට කිසිදු සම්බන්ධයක් නැත.” ඔහුට සහ අනෙකුත් සොල්දාදුවන්ට පවරා තිබුණේ උසස් නිලධාරීන් විසින් ගෙන එන ලද මළ සිරුරු භූමදානය කිරීමේ කාර්යය පමණක් බව ඇය අවධාරණය කරයි.

3. යුද අපරාධවලට සම්බන්ධ ඉහළ නිලධාරීන් ආරක්ෂා කිරීම: ලිපියේ දැක්වෙන්නේ, අතීත රජයන් යුද හමුදාවේ ඉහළ නිලධාරීන් ආරක්ෂා කරගෙන, පහළ පෙළේ සෙබළුන්ට දඬුවම් කිරීමෙන්, ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්වා දී ඇත්තේ තමන් යුද අපරාධවලට වගකිවයුත්තන්ට දඬුවම් කර ඇති බවයි. “අද වනතුරුත් බලයේ සිටි පාලකයන් හමුදාවේ ඉහළ නිලධාරීන් ආරක්ෂා කරගෙන, පහළ පෙළේ අයට දඬුවම් කර, අපරාධ කළ හමුදා සාමාජිකයන්ට තමන් දඬුවම් දී ඇති බව ජාත්‍යන්තර ප්‍රජාවට පවසා ඇත.”

4. චෙම්මනී සමූහ මිනීවළේ පරිමාණය සහ හෙළිදරව් නොවීම: මෙම සිද්ධියට අනුව චෙම්මනී සමූහ මිනී වළේ පුද්ගලයන් 300 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර වළ දමා ඇති බව සෝමරත්න රාජපක්ෂගේ බිරිඳ කියා සිටියි. ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය පමණක් හෙළි වූයේ ඇය හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සහෝදරිය වන සුනේත්‍රා බණ්ඩාරනායකගේ ස්වාමිපුරුෂයා වූ කුමාර් රූපසිංහගේ ඥාතියෙකු වූ නිසා බව ඇය පෙන්වා දෙයි.

5. වරදකරුවන් වූ ඉහළ නිලධාරීන් නිදහස් කිරීම:
කපිතාන් ලලිත් හේවාගේ, කපිතාන් පෙරේරා, ලුතිනන් උදය කුමාර, පොලිස් පරීක්ෂක සමරසිංහ, පොලිස් පරීක්ෂක අබ්දුල් හමීඩ් නසාර් සහ ලුතිනන් තුඩුගල යන ඉහළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන සිරගත කළ ද, මාස 6 කින් ඇප මත නිදහස් වූ පසු එම නඩුවට කුමක් සිදු වූවාදැයි කිසිවෙකු නොදන්නා බව ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

6. සෝමරත්න රාජපක්ෂට එරෙහිව පලිගැනීම් සහ කුමාර් පොන්නම්බලම්ගේ ඝාතනය: සෝමරත්න රාජපක්ෂ විසින් චෙම්මනී පිළිබඳ සියලු තොරතුරු උසාවියේදී හෙළිදරව් කිරීම හේතුවෙන් ඔහුට මරණ දඬුවම නියම කිරීමට එවකට සිටි ජනාධිපතිවරයා උසාවියට බලපෑම් කළ බව ඔහුගේ බිරිඳ චෝදනා කරයි. සෝමරත්න රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටීමට කැමැත්ත පළ කළ ජනාධිපති නීතිඥ කුමාර් පොන්නම්බලම්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ගොස් ඔහුව නිදහස් කිරීමට කටයුතු කරන බව පැවසීමෙන් පසු හදිසියේම වෙඩි තබා ඝාතනය කිරීමද මෙම සිදුවීමට සම්බන්ධ බව ඇය පෙන්වා දෙයි.

7. සාධාරණ පරීක්ෂණයක් සහ යුක්තිය ඉටු කිරීම සඳහා ඉල්ලීම: අදාල ලිපියෙන්, චෙම්මණි සමූහ මිනීවළ සහ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සැබෑ වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙසත්, සෝමරත්න රාජපක්ෂ ඇතුළු අහිංසක සොල්දාදුවන්ට යුක්තිය ඉටු කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. 1998 සිට මේ දක්වා චෙම්මනී ආසන්නයේ මිනිස් සමූහ මිනී වළවල් 5ක් සොයාගෙන ඇති බවද ඇය අවධාරණය කරයි.

8. ඉදිරි ක්‍රියාමාර්ග: සෝමරත්න රාජපක්ෂ විසින් යාපනයේ යුද සමයේ සිදු වූ සියලු ඝාතන සහ වධකාගාර පිළිබඳ තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කිරීමට සූදානම් වන බවද, අදාළ යුද අපරාධවලට සම්බන්ධ සියලුම ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ගේ නම් හෙළි කිරීමට සූදානම් බවද ලිපියේ සඳහන් වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පවසා ඇත.

මෙය 2025 අගෝස්තු 3දා වීරකේසරී වෙබ් අඩවියේ පළ වූ ලිපියේ සෘජු අනුවාදයක් වනබව සලකන්න.