ආණ්ඩුවක යුතුකම: ‘නරක වැඩ’ වලින් වැළකීම
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ආණ්ඩුවක මූලික වගකීම වන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. ශ්‍රී ලංකාවේ පසුගිය දශකවල ඉතිහාසය බලන විට, ආණ්ඩු බලය අයුතු ලෙස භාවිත කිරීම, දූෂණය, මර්දනකාරී නීති පැනවීම, හා ජනතාවගේ නිදහස සීමා කිරීම වැනි ‘නරක වැඩ’ ජනතාවට බරපතල පීඩා ගෙනදුන් බව පැහැදිලිය. උදාහරණයක් ලෙස, 1970-80 දශකවල ආර්ථික හා දේශපාලන අර්බුද, වසර ගණනාවක් ‘සාමය’/ ‘මාණුෂීය මෙහෙයුම්’ ආදී නම්වලින් ගෙන ගිය සංහාරික යුද්ධය, 2014 දක්වා බලයේ සිටි ආණ්ඩුවල ඒකාධිපති වියරුගති ජනතාවට අයුතු ලෙස බලපෑවේය.(2019-2022 ගොඨාබයගේ පාලනය) එහි වියරු තත්ත්වයන්ගේ උදාහරණ දෙකක් මේ සමග ලියමි. එකක් බොහෝ මර්දනකාරී/ අපරාධමය තත්ත්වයන්ට බලපෑ ‘විධායක ජනාධිපති ක්‍රමය’ එකකි. අනෙක වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නම් මර්දනකාරී පනතයි. මේ දෙකම ගැන වත්මන් දිසානායක ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර දැරූ ස්ථාවරයට වඩා හාත්පසින්ම වෙනස් ස්ථාවරයක් දරමින් සිටී. මෙවැනි ක්‍රියාවන් ජනතාවගේ විශ්වාසය හා රාජ්‍යයේ නීත්‍යානුකූලභාවය ඛාදනය නොකරන්නේ යැයි සිතිය හැකිද? එය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් එය යහපත් තත්ත්වයක් බව කිව හැකිද? නැත!
දැන් මූලික තර්කය දෙසට නැවතත් හැරෙමු. ‘නරක වැඩ’ නොකිරීම යන්නෙන් අදහස් වන්නේ ජනතාවගේ මූලික නිදහස්—අදහස් ප්‍රකාශ කිරීම, එක්රැස්වීම, ආරක්ෂිත-නිදහස් ජීවිතයක් ආදී අතිශය වැදගත් කලාපයන්—උල්ලංඝනය නොකිරීමයි. ආණ්ඩුවක් මෙම යුතුකම ඉටු කරන්නේ නම්, එය ජනතාවට තම ජීවිත ගොඩනඟා ගැනීමට හා තමන්ගේ ඉලක්ක කරා යාමට ඉඩ සලසයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ඉලක්කයකි. (කන, බොන, ආදරේ, රමණය ඇතුලු මිනිස් ජීවතයට අත්‍යවශම දේවල් කරනවද? නැද්ද? කියලා රාජ්‍යට තීරණය කරන්න ඉඩ නොදිය යුතුයි. එය තීරණය කල යුත්තේ මිනිසුන්ය. මෙයත් මේ මොහොතේ අදාළ තර්කයට අතිශයන් වැදගත්ය)
‘හොඳ වැඩ’ කිරීම
‘හොඳ වැඩ’ කිරීමට ආණ්ඩු උත්සාහ කිරීම ඇතැම් විට ගැටලුකාරී තත්ත්වයන් මතු කරයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ බලයේ සිටි ආණ්ඩු ‘හොඳ වැඩ’ යැයි යෝජනා ඉදිරිපත් කරමින්, යටිතල පහසුකම් ව්‍යාපෘති, ආර්ථික ප්‍රතිසංස්කරණ, හෝ සමාජ සුබසාධන වැඩසටහන් ආරම්භ කළ ද, බොහෝ විට ඒවා දූෂණය, බලය අයුතු ලෙස භාවිතය හෝ ජනතාවගේ එකඟත්වයකින් තොරව ක්‍රියාත්මක වී ඇත. මෙවැනි ‘හොඳ වැඩ’ ජනතාවට ප්‍රතිලාභ ගෙනදුන්නත්, ඒවා බලහත්කාරයෙන් ක්‍රියාත්මක වූ විට හෝ ජනතාවගේ අවශ්‍යතාවලින් බැහැරව ගිය විට, එය ප්‍රජාතන්ත්‍රවිරෝධී බවට පත්වේ. උදාහරණයක් ලෙස, මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති රටේ ණය බර වැඩි කරමින් ජනතාවට බරපතල බලපෑමක් එල්ල කළේය. 30වසරකට අධික යුද්ධය දකුණේ බහුතර ජනතාවට ‘කිරිබත්’ ගෙන දුන්නද එය දෙමළ ජනතාවට අත්කර දුන්නේ දැවැන්ත විනාශයකි. එහි වේදනාබර හඩ තවමත් ඇසෙමින් තිබේ. ඒ හඩේ එක් ගැඹුරුම හඩක් වන්නේ චෙම්මනියයි. ඒ වේදනාබර ගැඹුරු හඩ දෙස නොබලාම දිසානායක ජනාධිපතිවරයා යාපනයේ, කයිට්ස් ගොස් නැවත කොළඹට පැමිණියේය. මෙහි සංඛේතමය අර්ථය දෙමළ හදවත් කෙසේ අර්ථගන්වා ගනු ඇතිද?
දේශපාලනික බලය හා වගකීම
දේශපාලනිකව බලන විට, ආණ්ඩුවකට ‘නරක වැඩ’ නොකිරීමට ප්‍රමුඛත්වය දීම යනු බලයේ සීමාවන් පිළිබඳ හැඟීමක් තිබීමයි. ජෝන් ලොක් වැනි දාර්ශනිකයන් තර්ක කළේ, ආණ්ඩුවක බලය ජනතාවගේ එකඟතාව මත පදනම් විය යුතු බවයි. එබැවින්, ජනතාවගේ නිදහසට හානි කරන, ඔවුන් පීඩාවට පත්කරන ක්‍රියාවන්ගෙන් ආණ්ඩුවක් වැළකී සිටිය යුතුය. ශ්‍රී ලංකාවේ සමහර ආණ්ඩු මාධ්‍ය නිදහස සීමා කිරීම, විරුද්ධවාදීන් මර්දනය කිරීම, හෝ ආර්ථික ප්‍රතිපත්ති ජනතාවට බරපතල ලෙස බලපාන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම වැනි ‘නරක වැඩ’වල යෙදී ඇති අතර, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල ලෙස හානි කර ඇත.
‘හොද වැඩවලට හොදයි කීමත්, නරක වැඩවලට නරකයි කීමත්’ පිළිබද උභතෝකෝටිකය
පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේත් ලංකාවේ දේශපාලන බලය ලබා ගත් සියලු ආණ්ඩුවල හිතවාදීන් (ඇතැම් විට දායක දායිකාවන් වැනි ඡන්ද දායකයන්) පැවසූ ප්‍රධාන දෙයක් වෙන්නේ ‘ආණ්ඩුව කරන හොද වැඩවලට අපි හොදයි කියනවා, නරක වැඩවලට අපි නරකයි කියනවා’ වැනි අදහසක්ය. නමුත් ඒ ප්‍රකාශයන් සිදුකළ පුද්ගලයෙක්, කණ්ඩායමක්, සංවිධානයක්, ඇතැම්විට වෙනත් දේශපාලන ධාරාවක් පිළිබද ඉතාමත් තියුණු ලෙස නිරීක්ෂනය කිරීමේදී පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ, ඔවුන් විසින් සිදුකරන ‘හොද වැඩ’ අගය කිරීමට යොදනු ලබන බර ආණ්ඩුව විසින් සිදුකරන, සිදුකිරීමට යෝජනා කරන ‘නරක වැඩ’ විවේචනය කිරිමට මෙන්ම ඒවා නවතා දැමීමට යොදන බරට වඩා ඉතාමත් වැඩි බවයි. ආසන්නම උදාහරණයක් ගනිමු. පසුගිය දා මන්නාරමේ පැවති සාමකාමී විරෝධතාවයකට ඉතාමත් ම්ලේච්ඡ ලෙස ශ්‍රී ලංකා පොලීසිය විසින් පහර දුන්නේය. නමුත් වත්මන් ජාතික ජන බලවේගයට සහය දක්වන, (හොද වැඩට හොදයි කියන නරක වැඩවලට නරකයි කියන පිරිස් පවා) පිරිස් විසින් සිය අදහස් ප්‍රකාශ කිරිම්වලට එහා ගොස් ආණ්ඩුවේ හදවතට දැනෙන විවේචනයක්, විරෝධයක් ගෙන ඒමට සමත් වූයේ නැත.
ඉහත තර්කය(හොද වැඩට හොදයි කීමත්, නරක වැඩට නරකයි කීමත්) අනුව, එය එසේ නොවී වෙනත් දෙයක් වීමට ඇති ඉඩ ඉතා අවමය. තිබුණත් එය ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් මත පදනම්ව ක්‍රියාත්මක වෙයි.
එයට එක් හේතුවක් වන්නේ වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව සහ ජනතාව අතර සම්මුතිය පවතින්නේ හරියට ‘ආදර’ සම්බන්ධතාවයක් ලෙසය. ‘අපිව විශ්වාස කරන්න’ ඔවුන් සෑම විටම පවසන්නේ ඒ නිසාය. (‘පීටීඒ එකෙන් හානියක් සිදුකරන්නේ නැ. අපිව විශ්වාස කරන්න’ – නමුත් මේ වන විට මාළිමාව පාලන කාලය තුළ පීටීඒ භාවිතා කරමින් 48 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත – නමුත් එය අපි විසින් අමතක කර ඇත) ආණ්ඩුකරණය ආදර සම්බන්ධතාවයක ලක්ෂණ ගත් විට ආණ්ඩුව කරන ‘නරක වැඩත්’ ඇතැම්විට හොද වැඩ හෝ අවම නරක වැඩ හෝ හොද වැඩ කිරීමට පොඩි නරක වැඩක් කිරීමක් ලෙස සාධාරණීයකරනය කිරීමක් සිදුවිය හැකිය. ඒ ආදරය නිසාය. ආණ්ඩුකරණය යනු දෙදෙනෙක් අතර වන ආදර සම්බන්ධතාවයක් නොව ඊට වඩා සංකීර්න සාමුහික සම්මුතියකි. දේශපාලන සම්මුතියකි. එය අමතක කිරීම බරපතල ප්‍රතිවිපාක ඇතිවීමට ඇති ඉඩ වැඩිය.
එබැවින්, ශ්‍රී ලංකාව වැනි අපරාධ ඉතිහාසයක් ඇති රටක ආණ්ඩුවක මූලික යුතුකම විය යුත්තේ ‘හොඳ වැඩ’ කිරීමට උත්සාහ කිරීමට පෙර, ජනතාවට හානිකර, ප්‍රජාතන්ත්‍රවිරෝධී ‘නරක වැඩ’වලින් වැළකී සිටීමයි. මෙය ජනතාවගේ නිදහස, ගරුත්වය හා රාජ්‍යයේ විශ්වසනීයත්වය ආරක්ෂා කරයි. ආණ්ඩුවකට ජනතාවගේ එකඟත්වයෙන් හා විනිවිදභාවයෙන් යුතුව ‘හොඳ වැඩ’ කිරීමට ඉඩ ඇතත්, එය කළ යුත්තේ ‘නරක වැඩ’වලින් ජනතාව ආරක්ෂා කිරීමේ මූලික යුතුකම ඉටු කිරීමෙන් පසුවය. ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්ම රඳා පවතින්නේ, ආණ්ඩුව ජනතාවට හානි නොකරන බව තහවුරු කිරීම මතයි. පුරවැසි නිදහස-විවිධත්වය ආරක්ෂා කිරීම තුළයි.