iMage: UN Photo/Jean-Marc Ferre
2025 ඔක්තෝබර් 6 වන දින, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සිලය (United Nations Human Rights Council) විසින් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සම්බන්ධ මානව හිමිකම් උල්ලංඝනය (human rights violations) සහ යුද්ධ අපරාධ (war crimes) පිළිබඳ සාක්ෂි රැස් කිරීමේ ව්‍යාපෘතිය අවම වශයෙන් තවත් වසර දෙකක් දිගු කිරීමට තීරණය කළේය. ඡන්ද විමසීමකින් තොරව සම්මත කළ යෝජනාව (resolution) අපයෝජනයට ලක්වූවන් (victims of abuses) සහ ඔවුන්ගේ පවුල්වලට (victim’s families) යුක්තියක් ලැබිය හැකි බවට කුඩා බලාපොරොත්තුවක් ලබාදෙයි.
අනුපිළිවෙලින් පැවති ශ්‍රී ලංකාවේ ආණ්ඩු මෙම අපරාධ පිළිගැනීමෙන් වැළකී සිටිමින් වගවීම (accountability) සඳහා ගත් උත්සාහයන් නොසලකා කරමින්, රාජ්‍ය ආරක්ෂක අංශ යොදා ගනිමින් වින්දිතයින්ගේ පවුල් බිය ගන්වමින් සහ ඔවුන්ව ආවේක්ෂණය සිදු කළහ. ඒ අතර 2021 දී, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සිලය (Human Rights Council) විසින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වගවීමේ ව්‍යාපෘතිය (UN Sri Lanka Accountability Project) පිහිටවූයේ, ගැටුම් ආශ්‍රිත අපරාධ (conflict-related crimes) විමර්ශනයට ලක් කිරීම පහසුකරණය කිරීමත් සමග, සාක්ෂි ලේඛණගත කිරීම සදහාත්ය. එම වැඩසටහන මෙම නව යෝජනාවෙන් තවත් වසර 2කකට දීර්ඝ කරනු ඇත.
2024 දී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව පෙර පැවති ආණ්ඩු කිහිපයකට වඩා මධ්‍යස්ථ ස්වරූපයක් ගත් නමුත්, එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රතික්ෂේප කර ඇත. එහිදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිළ ප්‍රකාශයට අනුව, ශ්‍රී ලංකාව HRC 60/L.1/Rev.1 යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර, 2022 දී පිහිටුවන ලද OHCHR හි බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය (ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය) පිළිනොගන්නා බව ප්‍රකාශ කළේය. රජය අතුරුදහන් වූවන්ගේ කාර්යාලය, වන්දි කාර්යාලය, සත්‍ය හා සංහිඳියා කොමිෂන් සභාව වැනි දේශීය ආයතන ශක්තිමත් කරමින් සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින බව අවධාරණය කළ අතර, වසර 4ක් පැවතීමෙන් පසුව මෙම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකා ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් නොලැබී ඇති බවත්, එය රටේ ප්‍රජාවන් අතර බෙදීම් නිර්මාණය කරනු ඇති බවත් පවසා ඇත.
කෙසේ නමුත්, පශ්චාත් යුද ප්‍රතිසන්ධානය (post-war reconciliation) ප්‍රවර්ධනය කිරීම සහ සංකේතාත්මක නඩු (emblematic cases) කිහිපයක් විභාගයට ගැනීමේ පොරොන්දු දී ඇති නමුත්, වත්මන් තත්ත්වය අනුව ප්‍රගතිය අඩුය. එමඟින් වින්දිතයින්ට පෙර පැවති ආණ්ඩුවල මෙන් කඩවුණු පොරොන්දු නැවත මතක් වීම වැළැක්වීමට නොහැකිවන අතර මෙම ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිචාරය තුළින් එය තවත් තහවුරු වනු ඇත.
ඡන්ද විමසීමකින් තොරවම ජිනීවා හී දී සම්මත වූ යෝජනාවලිය මූලිකවම කියන්නේ කුමක්ද? පරමාර්ථ මොනවාද? (වාර්තාවේ සාරංශගත අදහසක්)
ශ්‍රී ලංකාවේ වගවීම, ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ යෝජනාවේ (HRC 60/L.1/Rev.1) පරමාර්ථ සහ ඉලක්ක පුළුල් පරාසයක විහිදේ. මෙම යෝජනාව මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ යහපාලනය තහවුරු කිරීමට බලධාරීන් උනන්දු කිරීම අරමුණු කරයි.
යෝජනාවේ ප්‍රධාන පරමාර්ථ
1. වගවීම (Accountability) සහ යුක්තිය සහතික කිරීම
🔴 මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වගවීම: සියලු පාර්ශ්වයන් විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සඳහා වගවීමෙහි ඇති වැදගත්කම අවධාරණය කිරීම.
🔴 විමර්ශන සහ නඩු පැවරීම්: මානව හිමිකම් කඩකිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතියේ බරපතල උල්ලංඝනය කිරීම් සම්බන්ධ සියලු චෝදනා කරන ලද අපරාධ සම්බන්ධයෙන් කඩිනම්, ගැඹුරු සහ අපක්ෂපාතී විමර්ශන සහ අවශ්‍ය නම් නඩු පැවරීම් සහතික කිරීමට ශ්‍රී ලංකා රජය උනන්දු කිරීම.
🔴 පොදු නඩු පැවරීමේ ආයතනයක් පිහිටුවීම: ස්වාධීන මහජන නඩු පැවරීමේ ආයතනයක් (independent public prosecutorial body) ස්ථාපිත කිරීමට රජය විසින් දක්වන ලද කැපවීම අගය කිරීම සහ එම ආයතනය සම්පූර්ණයෙන්ම ස්වාධීන, ඵලදායී හා ශක්තිමත් විය යුතු බවට ඉල්ලා සිටීම.
🔴 දූෂණය සහ ආර්ථික අර්බුදයේ මුල් හේතු ඇමතීම: දූෂණය, පාලනයේ වගවීමේ අඩුපාඩු සහ මානව හිමිකම් උල්ලංඝනයන් සඳහා දඬුවම් නොලබා සිටීම ඇතුළු ආර්ථික අර්බුදයට දායක වූ යටින් පවතින පාලන සාධක සහ මුල් හේතු ඇමතීමේ වැදගත්කම අවධාරණය කිරීම. රජය විසින් දූෂණය සම්බන්ධයෙන් වගවීම සඳහා ගෙන ඇති පියවර පිළිගැනීම සහ විමර්ශන සහ නඩු පැවරීම් ඇතුළුව තවදුරටත් ක්‍රියාමාර්ග දිරිමත් කිරීම.
🔴 විමර්ශන වේගවත් කිරීම: මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන නැවත ආරම්භ කිරීම පිළිගැනීම සහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව විමර්ශන සහ නඩු පැවරීම් වේගවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීම.
2. ප්‍රතිසන්ධානය (Reconciliation) සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම
🔴 දේශපාලන බලය බෙදා හැරීම: ප්‍රතිසන්ධානය සඳහා අත්‍යවශ්‍ය වන දේශපාලන බලය බෙදා හැරීම (devolution of political authority) සම්බන්ධයෙන් රජයේ කැපවීම් ඉටු කරන ලෙස ඉල්ලා සිටීම.
🔴 පළාත් සභා මැතිවරණ සහ ක්‍රියාකාරීත්වය: පළාත් සභා සඳහා මැතිවරණ පැවැත්වීම තුළින් ප්‍රාදේශීය පාලනයට ගරු කරන ලෙස දිරිමත් කිරීම සහ ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව සියලුම පළාත් සභා (උතුරු සහ නැගෙනහිර පළාත් සභා ඇතුළුව) ඵලදායී ලෙස ක්‍රියා කිරීමට සහතික කරන ලෙස ඉල්ලා සිටීම.
🔴 වාර්ගික ගැටුම් පිළිගැනීම: වාර්ගික ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව විසින් විඳදරාගත් දැවැන්ත දුක් වේදනා රජය විසින් පිළිගැනීම සහ බේදකාරී දේශපාලනය නැවත ඇති වීමට ඉඩ නොදෙන බවට දුන් පොරොන්දුව පිළිගැනීම.
🔴 අතුරුදහන් වූවන්ගේ කාර්යාලය (OMP): ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන්කරවීමේ දී ඒ හා බැදි බොහෝ සිද්ධීන් විසඳී නොමැති බව පිළිගැනීම සහ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ස්වාධීනව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කිරීම.
🔴 සමූහ මිනී වළවල් ඇති ස්ථාන: හඳුනාගත් සමූහ මිනී වළවල් ඇති ස්ථාන සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රමාණවත් සම්පත් ලබා දීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කැණීම් සිදු කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ක්‍රියාශීලීව ලබා ගැනීමට රජයෙන් ඉල්ලා සිටීම.
3. මානව හිමිකම් සහ ආරක්ෂාව තහවුරු කිරීම
🔴 වෙනස්කම් කිරීමකින් තොරව අයිතිවාසිකම් භුක්ති විඳීම: ආගම, විශ්වාසය හෝ වාර්ගික සම්භවය වැනි කිසිදු වෙනස්කමකින් තොරව ශ්‍රී ලංකාවේ සියලුම පුද්ගලයන්ට මානව හිමිකම් සම්පූර්ණයෙන් භුක්ති විඳීමට හිමිකම් ඇති බව යළි තහවුරු කිරීම.
🔴 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සංශෝධනය: PTA යටතේ තවදුරටත් රඳවා තබා ගැනීම් දිගටම සිදුවීම පිළිබඳව කනස්සල්ල පළ කිරීම, මෙම නීතිය භාවිතා කිරීම තාවකාලිකව නතර කරන ලෙස (moratorium) සහ එය අවලංගු කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලා සිටීම, එමෙන්ම ඕනෑම නව නීති සම්පාදනයක් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල බව සහතික කිරීම.
🔴 මාර්ගගත ආරක්ෂණ පනත (Online Safety Act – OSA) සංශෝධනය: පනත තුළ අධිකරණ අධීක්ෂණයක් නොමැති වීම පිළිබඳ කනස්සල්ල පිළිගනිමින්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල වීම සහතික කිරීම සඳහා මෙම පනත සංශෝධනය කඩිනම් කරන ලෙස රජයට දිරිගැන්වීම.
🔴 කාන්තා හා ළමා අයිතිවාසිකම්: සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය මැඩලීමේ මුලපිරීම් ශක්තිමත් කිරීම ඇතුළුව, කාන්තාවන්ගේ සහ ළමුන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීම.
🔴 නිදහස් පරිසරයක් නිර්මාණය කිරීම: සිවිල් සමාජ නියෝජිතයින්, මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන්, වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට, විශේෂයෙන්ම කාන්තාවන්ට, සියලු ආකාරයේ හිංසනයන්ගෙන් සහ පළිගැනීම්වලින් තොරව කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීම.
🔴 ඉඩම් නිදහස් කිරීම: හමුදාව සහ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් තවමත් රඳවාගෙන සිටින ඉතිරි ඉඩම් නිදහස් කිරීමේ වැදගත්කම අවධාරණය කිරීම සහ පුරාවිද්‍යාත්මක, ආගමික සහ සංරක්ෂණ ගැටළු සම්බන්ධ ඉඩම් ආරවුල් විනිවිදභාවයෙන්, අපක්ෂපාතීව සහ වෙනස්කම් නොකර විසඳීම.
4. එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරිත්වය සහ අධීක්ෂණය
🔴 විශේෂ ක්‍රියා පටිපාටි සමඟ සම්බන්ධ වීම: මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) සහ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියා පටිපාටි සමඟ රජයේ මැදිහත්වීම සහ සංවාදය අඛණ්ඩව සිදු කරන ලෙස දිරිමත් කිරීම.
🔴 OHCHR වාර්තා ඉදිරිපත් කිරීම: ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රගතිය පිළිබඳව එහි හැට-තුන්වන සැසියේදී ලිඛිත යාවත්කාලීන කිරීමක් සහ හැට-හයවන සැසියේදී සමස්ත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටීම.
(විශේෂයෙන්, වගවීමේ ව්‍යාපෘතිය (Sri Lanka Accountability Project) යනු OHCHR හි මෙහෙයුමේ කොටසක් වන අතර, 51/1 යෝජනාවේ ඉල්ලා සිටි සියලුම වැඩකටයුතු දීර්ඝ කිරීම තුළින් බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සාක්ෂි එකතු කිරීම සහ සංරක්ෂණය කිරීමේ කටයුතු ද අඛණ්ඩව කරගෙන යාමට මෙමගින් නැවතත් අවසර ලැබේ.)
සාරාංශක් ලෙස ගත් විට,
මෙම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවේ සමස්ත හරය වන්නේ, ශ්‍රී ලංකාවේ වගවීම, ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් අඛණ්ඩව ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කිරීමයි. මෙම යෝජනාව මගින් මෑතකදී පැවැත්වූ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ සහ රජය විසින් දූෂණය සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිගනී. එසේම වාර්ගික ගැටුම් පිළිගැනීම ද පිළිගන්නා අතර, සියලු පාර්ශ්වයන් විසින් සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝනයන් සහ ජාත්‍යන්තර මානුෂීය නීතියේ බරපතල කඩකිරීම් සම්බන්ධයෙන් කඩිනම්, ගැඹුරු සහ අපක්ෂපාතී විමර්ශන සහ නඩු පැවරීම් සහතික කරන ලෙස බලවත් ලෙස ඉල්ලා සිටී. ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා, දේශපාලන බලය බෙදා හැරීමේ කැපවීම් ඉටු කිරීම, අතුරුදහන් වූවන්ගේ කාර්යාලය (OMP) ඵලදායීව ක්‍රියාත්මක කිරීම සහ සමූහ මිනී වළවල් ඇති ස්ථාන කැණීම් සඳහා ජාත්‍යන්තර සහාය ක්‍රියාශීලීව ලබා ගැනීම අත්‍යවශ්‍ය බව ද අවධාරණය කරයි. තවද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිත කිරීම තාවකාලිකව නවතා (moratorium) මාර්ගගත ආරක්ෂණ පනත (Online Safety Act) කඩිනමින් සංශෝධනය කිරීම මගින් ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමට රජයට දිරිගන්වයි. අවසාන වශයෙන්, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) කටයුතු දීර්ඝ කිරීමට කවුන්සිලය තීරණය කර ඇති අතර, අඛණ්ඩ අධීක්ෂණය සඳහා අනාගත සැසිවාර වලදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටී.
ප්‍රශ්ණය අපේය එබැවින්…
ජතික ජනබලවේග ආණ්ඩුව විසින් දැන් සිදුකළ යුතු වන්නේ, සත්‍යය ප්‍රකාශ කිරීමට කටයුතු සැළැස්වීම සහ වගවීම ප්‍රවර්ධනය සඳහා විශ්වාසය ඇති කිරීමේ ක්‍රියාමාර්ග හරහා විශ්වාසනීයතාව පෙන්වමින් තම පොරොන්දු ඉටු කිරීමය. ශ්‍රී ලංකාවේ සමූහ මිනී වළවල් (mass graves) 20කට වඩා සොයාගෙන ඇතත්, කිසිවක් මේ වන විටත් සාර්ථකව විමර්ශනය කර නැත. යාපනයේ චෙම්මනි සමූහ මිනී වළ හි සිදුවන කැණීම් සාර්ථකව නිමාවට පත් කළ යුතු අතර, අදාළ පරීක්ෂණ සඳහා උපකරණ සැපයීම (provision of equipment for DNA testing) ඇතුළුව එයට අවශ්‍ය සියළු පහසුකම් සැපයිය යුතු වුවත් ඒවාත් සිදුවන්නේ දැඩි ප්‍රශ්ණ සහගත ලෙස ඉබි ගමනේය.
ආණ්ඩුවේ පොලීසිය, ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ යැයි කියා ගන්නා පිරිස් විසින් වින්දිතයින්ගේ පවුල්, මානව හිමිකම් ආරක්ෂකයින්, ජනමාධ්‍යවේදින් වෙත සිදුකරන surveillance, හිරිහැර කිරීම සහ බිය ගැන්වීම වහාම නවතා දමන ලෙස නියෝග කළ යුතුය. එමෙන්ම, මර්ධන නීති අවලංගු කිරීම, ස්වාධීන අභිචෝදක කාර්යාලය පිහිටුවීම, සහ සංකේතාත්මක නඩු විභාගයට ගැනීමේ පොරොන්දු ඉටු කළ යුතුය. ඉටුවන බවට වූ දේශපාලන උනන්දුව ද පෙන්විය යුතුය.
එසේ නොමැතිව සෑම ආණ්ඩුවක් මෙන් ජාත්‍යන්තරයේ සහයවීම් සහ යුක්තිසහග යෝජනා ප්‍රතික්ෂේප කරමින් ‘දූපත’ ලෝකයක් යැයි සිතමින් සිය ආණ්ඩුකරණය ගෙන යාමට උත්සහ කරන්නේ නම් එය අසාර්ථක වනු ඇත. එය එසේ වුවහොත් එයින් වඩාත්ම බරපතල ලෙස නැවත නැවතත් පීඩාවට පත්වන්නේ මේ රටේ වින්දිතයන්ය. එබැවින් නාස්තිය, දූෂණය සම්බන්ධයෙන් සිය දේශපාලන උනන්දුව පෙන්වනවා සේම, වසර ගණනාවක ගැටුම් හේතුවෙන් ඇති වුනු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් ට විසදුම් සේවීමට ඇති දේශපාලන උනන්දුවත් පෙන්විය යුතුය. එබැවින් නැවත නැවතත් ලියා තැබිය යුතු වන්නේ, ශ්‍රී ලංකාව තුළ සිදුකළ අපරාධ වලට වගකිවයුත්තන් හෙළි කරමින් යුක්තිය ඉටු කිරීම ප්‍රමුඛතම වගකීමක් බවය.