Banner Image: JDS
BY Sampath Samarakoon
ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා පැවති යුද්ධය ඉතිරි කර ගිය ගැඹුරු තුවාල සහ නොවිසඳුණු ගැටළු අදටත් සමාජය වෙළාගෙන පවතී. මේ අතරින්, අතුරුදහන් වූවන්ගේ ඉරණම පිළිබඳව ඔවුන්ගේ ආදරණීයයන් දශක ගණනාවක් පුරා දරන වේදනාව සහ අවිනිශ්චිතභාවය සුවිශේෂී වේ. යුක්තිය සහ සත්‍යය අපේක්ෂාවෙන් සිටින එම පවුල්වලට බලාපොරොත්තුවේ මාවතක්(?) විවර කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රදේශ හතරක පිහිටි සමූහ මිනීවළවල් හතරක් සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු මේ වන විට ඉදිරියට ගමන් කරන සංඥා නිකුත් වුවද ඇතැම් ඒවා ඇණහිට තිබේ.
කෙසේ නමුත් මෙම විමර්ශන, සත්‍යය හෙළිදරව් කිරීමේ ක්‍රියාවලියේ තීරණාත්මක, එහෙත් අතිශය අභියෝගාත්මක පියවරක් සනිටුහන් කරයි. මෙම සටහන මගින්, එකිනෙකට වෙනස් සිදුවීම් සහිත මෙම සමූහ මිනීවළවල් හතරේ විමර්ශනවල වර්තමාන තත්ත්වය සහ ඒවායේ ඇති වැදගත්කම පිළිබඳව විමසා බැලීමට උත්සහා කරයි.
කොළඹ වරාය: අනන්‍යතාවය සෙවීමේ විද්‍යාත්මක ගමන
කොළඹ ඉඟුරුකඩේ මංසන්ධියේ සිට වරාය දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අතරතුර, පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙන් 2024 වසරේ ජූලි 13 වන දින මෙම මිනිස් අස්ථි කොටස් සොයා ගන්නා ලදී. මෙම සොයාගැනීමෙන් අනතුරුව, එවකට මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ 2024 සැප්තැම්බර් 05 වන දින පළමු වරට කැණීම් කටයුතු ආරම්භ විය. මේ වන විට එම ස්ථානයේ කැණීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර, එහි ප්‍රධාන සොයාගැනීම් පහත පරිදි දැක්විය හැකිය.
• සොයාගෙන ඇති සම්පූර්ණ පුද්ගලයන්ගේ ඇටසැකිලි සංඛ්‍යාව: 106
• මෙම සමූහ මිනීවළ බාරව සිටින ප්‍රධාන පුරාවිද්‍යාඥ: මහාචාර්ය රාජ් සෝමදේව
• ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ: වෛද්‍ය සුනිල් හේවගේ
මෙම විමර්ශනයේ නවතම ප්‍රගතිය ලෙස, 2025 ඔක්තෝබර් 13 වන දින නඩුව විභාගයට ගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා, අදාළ මිනිස් සිරුරු සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණ කටයුතු ආරම්භ කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත නියෝග කර ඇත. එමෙන්ම, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස්. රත්නවේල් මහතාගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥ වොෂාන් හේරත් මහතා, පරීක්ෂණවල ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් එක්ව සාකච්ඡා කළ යුතු බවට ඉල්ලීමක් ඉදිරිපත් කිරීම, වින්දිතයන්ගේ නියෝජිතයන් යුක්තිය වෙනුවෙන් සක්‍රීයව පෙනී සිටින බවට තවත් සාක්ෂියකි. (කෙසේ නමුත් මෙම ස්ථානය රාජ්‍ය ප්‍රචණ්ඩත්වය, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ නීති විරෝධී ඝාතන බරපතල ලෙස සිදුවූ 80 ගණන්වල අග සහ 1990 ගණන්වල මුල් භාගයේදී රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස පැවති බව පැවසෙන අතර, මීට පෙර මෙම ස්ථානය අධිආරක්ෂක කළාපයක්ව පැවතිණි.)
චෙම්මනි: අරමුදල් නොමැතිව ඇනහිටි
යාපනය, චෙම්මනි ප්‍රදේශයෙන් සොයාගත් සමූහ මිනීවළේ කැණීම් කටයුතු තාවකාලිකව නතර කර ඇත. ඊට නිශ්චිත හේතුව වී ඇත්තේ, විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීමයි. මෙම ප්‍රමාදය මගින්, වින්දිතයන්ගේ පවුල් යුක්තිය සොයා යන දිගු හා වේදනාකාරී ගමනේදී මුහුණ දෙන මූල්‍යමය සහ නිලධාරීවාදී බාධක කෙතරම් දරුණු දැයි මනාව ඉස්මතු කර පෙන්වයි.
සොයා ගැනීම් – කැනීම් තාවකාලිකව අවසන් කරන විට පුද්ගලයන් 240 දෙනෙකුට අයත් අස්ථි කොටස් සොයාගෙන ඇත.
ඉදිරි පියවර – මෙයට අදාළ නඩුව නොවැම්බර් 3වනදා කැදවීමට නියමිතය.
සාම්පූර්: අහම්බෙන් මතු වූ ප්‍රචණ්ඩ අතීතය
(iMage: Tamilguardian)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් වෙරළ තීරයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටි නිලධාරීන්ට 2025 ජූලි 20 වන දින හිස් කබලක් ඇතුළු මිනිස් ඇටකටු කිහිපයක් අහම්බෙන් හමු විය. මෙම සොයාගැනීමත් සමඟ, එම භූමියේ පූර්ණ කැණීම් සහ විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නීතිමය අවසරය ලබා දී තිබේ. දශක ගණනාවකට පසුව වුවද, යුද්ධයේ දී වළ දැමූ සත්‍යයන් අනපේක්ෂිත ලෙස මතු විය හැකි බවට මෙම සිදුවීම කදිම නිදසුනකි.
කුරුක්කල්මඩම: සමූලඝාතනයක සැකය
(iMage: lankanewsweb)
මඩකලපුව දිස්ත්‍රික්කයේ, කුරුක්කල්මඩම ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානය සමූහ මිනීවළක් බවට දැඩි සැකයක් පවතී. ඉස්ලාම් භක්තිකයන් 150කට අධික පිරිසක් සමූල ඝාතනයකර එම ස්ථානයේ වළ දමා ඇති බවට වන බරපතල චෝදනාවක් මෙම විමර්ශනයට පදනම් වී තිබේ. 2025 අගෝස්තු මාසයේදී, කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පියවර ගන්නා ලෙස නියෝග කරන ලදී. මේ වන විට, කැණීම් සඳහා අවශ්‍ය වියදම් ඇස්තමේන්තුකර මුදල් අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවට වාර්තා වන අතර, එම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය අරමුදල් ලැබෙන තෙක් බලා සිටී.
ආණ්ඩුව යුක්තියේ මාවතට අරමුදල් ඇතුලු සියලු පහසුකම් සපයනු ඇතිද?
මෙම ස්ථාන හතර, එකිනෙකට ආවේණික සිදුවීම් සහිත වුවද, ශ්‍රී ලංකාවට සත්‍යය සහ යුක්තිය සඳහා වන සාමූහික අවස්ථාවක් නියෝජනය කරයි. එහෙත්, මෙම සියලු විමර්ශන ඉදිරියේ ඇති ප්‍රධානතම එක් අභියෝගයක් වන්නේ, ප්‍රමාදයකින් තොරව සහ නිසි පරිදි ඒවා සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය කාලෝචිත සහ ප්‍රමාණවත් රාජ්‍ය අරමුදල් ඇතුලු සියලු සම්පත්, උපදේශනයන් ලබා ගැනීමයි. දශක ගණනාවක් පුරා පිළිතුරු අපේක්ෂාවෙන් සිටින වින්දිත පවුල් සඳහා, ප්‍රමාද වූ යුක්තිය යනු අහිමි වූ යුක්තියක් බව ද බළදාරීන් වටහා ගත යුතුය. එමනිසා වැළලී ගිය/ වළලන ලද සත්‍යයන් අවසානයේ හෙළිදරව් කර, සිදුකරන ලද බරපතල තුවාල සුවපත් කිරීමට අවශ්‍ය සියලු ආකාරයේ පහසුකම් රාජ්‍යය විසින් දැන්වත් සපයනු ඇත්ද? එපමණක් ද නොව, ඒ සදහා වන ‘දේශපාලන උනන්දුව’ ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් සමාජය හමුවේ පෙන්වීමද අතිශය වැදගත් වනු ඇත.
පසු සටහන
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් (7 August, 2025) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට යවන ලද ලිපියක් මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, යුක්තිය, සහ ප්‍රතිසංස්කරණ සඳහා ඇති දැඩි අවශ්‍යතාව අවධාරණය කරයි. මෙම ලිපිය, විශේෂයෙන්ම සමූහ මිනී වළවල් සම්බන්ධයෙන්, විනිවිදභාවය, ස්වාධීනත්වය, සහ වින්දිතයන් කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් යටතේ ක්‍රියාත්මක වන පරිදි නීතිමය හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව අවධාරණය කරයි. එය, නීති වෛද්‍ය විශේෂඥ දැනුම ශක්තිමත් කිරීම, ස්වාධීන DNA පහසුකම් ඇති කිරීම, සහ මානව හිමිකම් සහ ආර්ථික අපරාධ පිළිබඳව ස්වාධීන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා කාර්යාලයක් පිහිටුවීම ඇතුළු නිශ්චිත නිර්දේශ ඉදිරිපත් කරයි. සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලීන්හි පවතින අඩුපාඩු මඟහරවා ගැනීම සඳහා පුළුල් රාමුවක් යෝජනා කරන අතර, ජනතාවගේ විශ්වාසය ගොඩනැගීමට සහ බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට සහයෝගය දැක්වීමට අවධාරණය කරයි.
සම්පත් සමරකෝන් | Sampath Samarakoon



