කුලියාපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා(Officer-in-Charge of the Kuliyapitiya Police Crime Division) සිවිල් ඇඳුමින් සැරසී පුද්ගලයෙකුට පහර දෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම, හුදෙක් එක් නිලධාරියෙකුගේ විනය විරෝධී හැසිරීමක් ලෙස පමණක් හුවා දැක්විය නොහැක. එය ශ්‍රී ලංකාවේ පොලිසිය සහ මහජනතාව අතර පවතින අර්බුදකාරී සබඳතාවයේ පැහැදිලි පිළිබිඹුවකි.

“මාරු කිරීම” යනු දඬුවමක්ද? වරප්‍රසාදයක්ද?

නීතියේ ආධිපත්‍යය පවතින ප්‍රජාතන්ත්‍රවාදී රටක, වරදක් කළ පුද්ගලයෙකුට(විශේෂයෙන් නීතිය සහ සාමය ආරක්ෂා කිරමට සිටින පොලිස් නිළධාරීන්) එරෙහිව පවතින පොදු නීතිය ක්‍රියාත්මක විය යුතුය. එහෙත්, මෙම නිලධාරියා මාවතගම පොලිසියට මාරු කිරීම හරහා සාමය ආරක්ෂා කිරීමට යැයි කියන පොලීසිය විසින් ලබා දෙන පණිවිඩය භයානකය. එය ‘පරිපාලනමය රැකවරණයක්’ මිස සාධාරණත්වය ඉටු කිරීමක් නොවේ. (අදාළ පොලිස් නිළධාරියා පිලිබද පරීක්ෂණ පවත්වන බැවින් ඔහුට ස්ථානමාරුවක් ලබා දුන් බව මාධ්‍ය වාර්තා කරයි)

• සාමාන්‍ය පුරවැසියෙකු විසින් පොල්ලකින් තවත් අයෙකුට පහර දුන්නොත් ඔහුට ලැබෙන්නේ අවම ලෙස රිමාන්ඩ්වීමටය.
• පොලිස් නිලධාරියෙකු එය සිදුකළ විට ඔහුට ලැබෙන්නේ ‘ස්ථාන මාරුවකි’.

මෙම ද්විත්ව/ දෙබිඩි ප්‍රමිතිය හරහා තහවුරු වන්නේ නීතිය ඉදිරියේ සියල්ලන් සමාන නොවන බවත්, නිල ඇඳුම සහ තනතුර නීතියෙන් ඔබ්බට යාමට බලපත්‍රයක් වන බවත්ය.

පොලිසිය සහ ප්‍රචණ්ඩත්වය: ව්‍යුහාත්මක ප්‍රශ්නය

මෙම සිදුවීම තුළ අප දකින්නේ පොලීසිය ‘සිවිල් වැසියන්ගේ ආරක්ෂකයා’ යන භූමිකාවෙන් මිදී ‘සන්නද්ධ මැර කණ්ඩායමක’ ස්වරූපයක් ගන්නා ආකාරයයි. සිවිල් ඇඳුමින් සැරසී නිවසකට කඩා වැදී පහර දීම වැනි ක්‍රියා, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියකට වඩා “ගෝත්‍රිකත්වය පිළිබද තත්ත්වයක්” සිහිගන්වයි. මෙය පුද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට රාජ්‍ය බලය අවභාවිත කිරීමේ උච්චතම අවස්ථාවකි.

දේශපාලන සංස්කෘතිය සහ දණ්ඩමුක්තිය

ලංකාවේ පොලිස් නිලධාරීන් මෙවැනි අශිෂ්ට හැසිරීම්වල නිරත වන්නේ තමන්ට ඉහළින් ලැබෙන දේශපාලන රැකවරණය සහ පොලිස් දෙපාර්තමේන්තුව තුළ පවතින ‘දණ්ඩමුක්තිය’ (Impunity) පිළිබඳ විශ්වාසය නිසා බව දශක ගණනාවක් පුරා පැවති ඇත්ත අදහසකි. වරදක් කළ විට දඬුවම් ලැබෙනවා වෙනුවට ආරක්ෂාව ලැබෙන බව දන්නා නිලධාරියා, වඩාත් ප්‍රචණ්ඩ වීමට මැලි නොවේ. මෙය සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී පදනම බිඳ දමන්නකි. එම සංස්කෘතිය, ‘ගුටි කා හැදුනා යැයි කියන’ පොලිස්පතිවරයෙක් සිටින පොලීසිය තුළ තවමත් යහමින් පවතී. එපමණක් ද නොවේ ‘නීතියේ ආධිපත්‍ය’ ස්ථාපිත කිරීම සිය රාජ්‍ය පාලනයේ ප්‍රමුඛ අංගයක් බව පවසා සිටි ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මෙවැනි අශිෂ්ට තත්ත්වයන් සිදුවීම ද ඛේදවාචකයකි.

සමාජ ආරක්ෂාව පිළිබඳ මිථ්‍යාව

පොලීසිය පවතින්නේ මහජනතාව ආරක්ෂා කිරීමට යැයි පැවසුව ද, කුලියාපිටිය වැනි සිදුවීම් හරහා ජනතාව තුළ ඇති වන්නේ පොලිසිය කෙරෙහි භීතියක් සහ පිළිකුලකි. පොලීසිය දුටු විට බිය විය යුතු, නිවසට පොලීසිය එන විට ආරක්ෂාව වෙනුවට අනතුරක් දැනෙන සමාජයක් කිසිසේත් ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස හැඳින්විය නොහැක.

කුලියාපිටිය සිදුවීම යනු තවත් එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් පමණක් නොවේ. එය ලාංකීය පොලිස් පද්ධතියේ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ පවතින ‘ආචාරධාර්මික බිඳවැටීම’ ප්‍රක්ශේපනය කරන එක් අවස්ථාවකි. මාරු කිරීම් වැනි සරළ-විහිළුකාරී ක්‍රියාවන් හරහා වැරදිකරුවන් ආරක්ෂා කරන තාක් කල්, නීතියේ ආධිපත්‍යය යනු හුදු වචනයක් පමණක් වනු ඇත. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා අවශ්‍ය වන්නේ නිලධාරීන් මාරු කිරීම නොව, වරදකරුවන්ට එරෙහිව කිසිදු භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක වන විනිවිදභාවයකින් යුතු පද්ධතියකි.

පුරවැසියන්ගේ අයිතිවාසිකම්, නීතිය, නීතියේ ආධිපත්‍ය ආදී ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අමු අමුවේම උල්ලංඝනය කරන පොලිස් නිළධාරීන් සිටින ශ්‍රී ලංකා පොලීසිය හි මෙම හැසිරීම, ආණ්ඩුව විසින් යෝජනා කර ඇති නව පනත් කෙටුම්පතක් වන ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ (PSTA), ඉදිරියේදී නීතියක් ලෙස සම්මත වුවහොත් ඇතිවිය හැකි දැඩි අවදානම මෙම තත්ත්වය තුළ සුලුපටු නොවන බවට එක් පැත්තකින් මෙවැනි උදාහරණවලින් යළිත් සනාථ වෙයි.

පනත් කෙටුම්පතේ ‘ත්‍රස්තවාදී’ ක්‍රියා පිළිබද ‘සාධාරණ සැකය’ ආදී තත්ත්වයන් අර්ථගන්වන්නේ මෙවැනි පොලිස් නිළධාරීන්ය.

කුමන තත්ත්වයක් උදාවිය හැකිදැයි තේරුම් ගැනීමට රොකට් සයන්ස් අවශ්‍ය වන්නේ නැත.