iMage: GenAI
වචනවල බලය සහ අර්ථයේ ප්‍රචණ්ඩත්වය
වර්තමාන ශ්‍රී ලංකාවේ සහ ලෝකය තුළත් දේශපාලන සංවාදවල සැලකිය යුතු අන්දමින් භාවිතා වන වචනවලින් එකක් වන්නේ “ව්‍යාජ පුවත්” (Fake News) යන්නයි. දේශපාලන නායකයින්ගේ මාධ්‍ය සාකච්ඡාවල සිට සමාජ මාධ්‍ය තර්ක දක්වාත්, මාධ්‍යවේදීන්ට එරෙහි චෝදනාවල සිට මර්දනකාරී නීති කෙටුම්පත් දක්වාත් මෙම වචනය සර්වබලධාරී ‘ලේබලයක්’ ලෙස භාවිතා කරයි. නමුත් මෙම පුළුල් භාවිතය, එහි නිරවද්‍යතාව සහ එහි දේශපාලනික අන්තරාර්ථයන් පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරයි. එය ජනමාධ්‍ය අධ්‍යයනය සහ සන්නිවේදන විෂයට අනුව, “ව්‍යාජ පුවත්” යනු හුදු නිවැරදි නොවූ පදයක් පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළන භයානක දේශපාලනික ආයුධයකි.
භාෂාමය විරෝධාභාසය: “පුවත්” යනු කුමක්ද?
ජනමාධ්‍යවේදයේදී “පුවත්”(News) යන්න සරල තොරතුරු සම්ප්‍රේෂණයකින් ඔබ්බට ගිය, විශේෂිත ලක්ෂණ සහිත වෘත්තීය සන්නිවේදන ආකාරයකි. පුවතක අත්‍යවශ්‍ය ලක්ෂණ ලෙස සත්‍යතාව (Accuracy), සත්‍යාපනය (Verification), වෘත්තීය ආචාරධර්ම (Ethics), සමාජ වගකීම (Social Responsibility) ප්‍රධාන වශයෙන් හඳුනා ගත හැකිය.
මේ අනුව, “ව්‍යාජ පුවත්” යන වචනය භාෂාමය විරෝධාභාසයක් බවට පත්වේ. එබැවින් සත්‍යය සහ සත්‍යාපනය මත පදනම් නොවන දෙයක් “පුවත්” ලෙස හැඳින්විය නොහැක. එය හරියට “අවංක බොරුවක්” හෝ “අඳුරු ආලෝකයක්” ගැන කතා කිරීම හා සමානය. යුනෙස්කෝ (UNESCO) සංවිධානය සිය මාධ්‍ය අත්පොත් පාදක සටහනක් මගින් පෙන්වා දෙන්නේ “If it is fake, it is not news – ((Adriaan Basson))” (එය ව්‍යාජ නම්, එය පුවතක් නොවේ) යන සරල සත්‍යයයි.
එබැවින්, “ව්‍යාජ පුවත්” යන වචනය සත්‍යය ආරක්ෂා කරන සංකල්පයක් නොව, සත්‍යය අර්ථයෙන්ම අහෝසි කරන භාෂාමය විරෝධාභාසයකි.
ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ නිවැරදි සංකල්පීය වර්ගීකරණය
“Fake News” යන වචනය අතිශය සරල සහ දේශපාලනිකව අවභාවිත විය හැකි බැවින්, UNESCO, First Draft වැනි ජාත්‍යන්තර ආයතන එම වචනය භාවිතයෙන් වළකින ලෙස අවධාරණය කරයි. ඒ වෙනුවට තොරතුරු අවකාශයේ සිදුවන විකෘති කිරීම් හඳුනා ගැනීමට වඩාත් විද්‍යාත්මක වර්ගීකරණයක් භාවිත වේ: එනම්,
Misinformation: අරමුණක් නොමැතිව, නොදැනුවත්කමින් හෝ වැරදි අවබෝධයකින් පතුරවන වැරදි තොරතුරුය. මෙහිදී චේතනාව හානිකර නොවේ/ නොවිය හැක. (අවංක වැරදීමකින්) / සමාජ මාධ්‍යයේ බෙදාගන්නා වෛද්‍ය උපදෙස් වැරදි බව නොදැන, වැරදි සංඛ්‍යාලේඛන උපුටා දක්වන බ්ලොග් ලිපියක්, පරීක්ෂා නොකළ, නමුත් හිතාමතා නොවන කටකතා, උදාහරණ ලෙස දැක්විය හැකිය.
Disinformation: දේශපාලනික, ආර්ථික හෝ වෙනත් සමාජමය අරමුණු සඳහා හිතාමතාම(චේතාන්විතවම) සහ සැලසුම් සහගතව පතුරවන අසත්‍ය තොරතුරුය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්/ ක්‍රියාකාරීත්වයට සෘජුවම බාධා කරයි. / දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාර මගින් සැලසුම් කළ බොරු, හානි කිරීමට නිර්මාණය කළ Deepfake වීඩියෝ උදාහරණ ලෙස දැක්විය හැකිය.
Malinformation: මෙහි පදනම සත්‍ය තොරතුරු වුවද, ඒවා සන්දර්භයෙන් වෙන් කර හෝ විකෘති කර ඉදිරිපත් කරනු ලබන්නේ යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට, ප්‍රජාවකට හානි කිරීමේ චේතනාවෙනි. / පුද්ගලයෙකුගේ පෞද්ගලික ඡායාරූප අනවසරයෙන් ප්‍රකාශයට පත් කිරීම, සැබෑ තොරතුරු භාවිතයෙන් වැරදි නිගමනවලට යොමු කිරීමට ගන්නා උත්සහයන් මේ සදහා උදාහරණ ලෙස දැක්විය හැකිය.
දේශපාලනික ආයුධයක් ලෙස “ව්‍යාජ පුවත්” (Weaponized Label)
“Fake News” යන පදය වර්තමානයේ භාවිත වන්නේ තොරතුරක සත්‍ය අසත්‍යතාව විමසීමට වඩා, තමන්ට අභියෝග කරන මාධ්‍ය වාර්තා සහ විමර්ශන ලිපි අවිශ්වාසයට ලක් කිරීම සඳහාය. මාධ්‍ය හි මෙය “Weaponized label” හෙවත් ‘ආයුධයක්’ ලෙස භාවිතා කරන ලේබලයක් ලෙස හැඳින්වේ.
ලෝකය පුරා මෙන්ම ශ්‍රී ලංකාවේද බලධාරීන් තමන්ට අපහසු ප්‍රශ්න නගන මාධ්‍යවේදීන්, තමන් අකමැති අන්තර්ගතයන් ඇති මාධ්‍ය සහ සිවිල් ක්‍රියාකාරීන් “ව්‍යාජ පුවත් පතුරවන්නන්” ලෙස හංවඩු ගැසීමට ගන්නා උත්සහයන් අප දැක තිබේ. මෙය සත්‍යය රැකගැනීමේ උත්සාහයක් නොව, බලය අභියෝගයට ලක් කරන හඬවල් නිහඬ කිරීමේ ආරක්ෂක උපක්‍රමයකි.
“Fake News” යන වචනය එක්තරා ආකාරයකින් දේශපාලනික ආයුධයක් ලෙස දැඩිව පෙනෙන්නට වූයේ Donald Trump ගේ 2016 ජනාධිපතිවරණ ව්‍යාපාරය සමයේ ඇමරිකාවේ දේශපාලන සන්දර්භයේදීය. ඉන්පසු එය ලෝකය පුරා ඒකාධිපති සහ අධිපතිවාදී නායකයින් විසින් සිය ප්‍රියතම ආයුධයක් බවට පත්කර ගත්හ.
එහි ප්‍රධාන ලක්ෂණ:
1. විවේචන නිහඬ කිරීම: තමන්ට අභියෝග කරන මාධ්‍ය වාර්තා “ව්‍යාජ පුවත්” ලෙස ලේබල් කිරීම
2. මාධ්‍ය විශ්වාසය ඛාදනය: සියලු මාධ්‍ය කෙරෙහි පොදු සැකයක් ඇති කිරීම
3. නීතිමය මර්දනය සාධාරණීකරණය: “ව්‍යාජ පුවත්” වැළැක්වීමේ යැයි කියන නීති මගින් මාධ්‍ය නිදහස යටපත් කිරීම
4. විරුද්ධවාදීන් ඉලක්ක කිරීම: දේශපාලන විරුද්ධවාදීන් සහ සිවිල් සමාජය අවිශ්වාසනීය බවට පත් කිරීම
මාධ්‍ය නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති තර්ජනය
මෙවැනි භාවිතයන් නිසා ඇතිවන දරුණුතම බලපෑම වන්නේ ස්වයං-වාරණ තත්ත්වයක් නිර්මාණය වීමයි. “ව්‍යාජ පුවත්” මැඩලීමේ නාමයෙන් හඳුන්වා දෙන මර්දනකාරී නීති හමුවේ මාධ්‍යවේදීන් සහ පුරවැසියන් අදහස් ප්‍රකාශ කිරීමට බිය වෙති. මේ නිසා “භීතියේ බලපෑම”(Chilling Effect) සමාජය වෙළාගනී. කෙසේ නමුත් බලධාරීන් විසින් සත්‍යය සහ අසත්‍යය අතර සීමාව මකා දමමින් සියලු විවේචන ‘ව්‍යාජ පුවත්’ ලෙස ලේබල් කරන විට, මහජන සංවාදය දුර්වල වී ප්‍රජාතන්ත්‍රවාදය පරිහානියට පත්වේ. මේ භාෂා භාවිතය මාධ්‍ය නිදහසට පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී මහජන සංවාදය ද දුර්වල කරන අතර, මහජන සංවාදය භීතියෙන් පිරි නිහඬ අවකාශයක් බවට පත් කරයි. අවසානයේ, සමාජය සත්‍යය සොයන එකක් නොව, බලය විසින් “කළමනාකරණය කරන” වස්තුවක් බවට පත්වේ.
අවසාන විග්‍රහයේදී “ව්‍යාජ පුවත්” යනු ජනමාධ්‍ය විෂය අර්ථයෙන් නිවැරදි සංකල්පයක් නොවන අතර, එය දේශපාලන බලය ආරක්ෂා කර ගැනීම සඳහා භාවිතා කරන අවිනිශ්චිත ලේබලයකි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වගකීම වන්නේ මෙවැනි අපැහැදිලි පදවලට සීමා නොවී, Misinformation සහ Disinformation වැනි නිවැරදි සංකල්ප භාවිතා කරමින් සත්‍යය සහ අසත්‍යය අතර වෙනස හඳුනා ගැනීමයි. නමුත් මෙහිදී ද අප තවත් ප්‍රභල අදහසක්/ අභියෝගයක් අවබෝධ කර ගත යුතුය. අප මේ ගෙවමින් සිටින්නේ Generative AI දියුණු-තියුණුවන යුගයකයි. එහිදී සත්‍ය-අසත්‍යතාවය හදුනා ගැනීමේ ප්‍රභල අභියෝගයකට මානවයා මුහුණදෙමින් ඇති යුගයකයි. එම සුවිශේෂී තත්ත්වයන් අමතකකර/ නොසලකාහරිමින් ජනමාධ්‍ය අන්තර්ගතයන් කියවා ගැනීමෙන්/ විමසීමට ලක් කිරීමෙන් සිදුවන්නේ, තිබෙන ප්‍රශ්ණකාරී තත්ත්වයන් තවත් දරුණු තත්ත්වයකට පරිවර්තනය වීමයි.
අවසානයේ අප අසන්නා වූ ප්‍රශ්නය සරලය: අපට අවශ්‍ය වන්නේ සත්‍යය ද, නැතහොත් බලයට පහසු කතාවක් ද? සත්‍යය සමඟ සටන් කිරීම “ව්‍යාජ පුවත්” ලෙස ලේබල් කිරීමෙන් ආරම්භ වන විට, එය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය සනිටුහන් කරන පළමු ලකුණ බව අප අමතක නොකළ යුතුය.
‘ව්‍යාජ පුවත්’ යන්න පරස්පර විරෝධී පදයක්: ‘නැවුම් නරක් වූ මාළු’ යන්න පැවසිය නොහැක; මන්ද මාළු නරක් වී ඇත්නම් ඒවා නැවුම් විය නොහැකි බැවිනි. එමෙන්ම පුවතක් සැමවිටම සත්‍ය තොරතුරු මත පදනම් විය යුතු බැවින්, එය ව්‍යාජ නම් ‘පුවතක්’ ලෙස හැඳින්වීම පරස්පර විරෝධී වේ.
සම්පත් සමරකෝන් | Sampath Samarakoon