iMage: GenAI

වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය තුළ දිනපතා අලුත් වන පුවත්, සංවාද සහ විවාදයන්ගෙන් අඩුවක් නැත. සමාජ මාධ්‍ය ඔස්සේ ක්ෂණිකව ව්‍යාප්ත වන මෙම කතිකාවන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවගුණය විදහා දක්වයි. නිදහස් හා සාමකාමී සංවාදය යනු හුදු අයිතිවාසිකමක් පමණක් නොව, එය යහපත් ආණ්ඩුකරණයකට සහ සමාජ ප්‍රගමනයට අත්‍යවශ්‍යම ඔක්සිජන් වායුවයි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි වූ තැන සමාජය ගමන් කරන්නේ බියකරු, වහල් සහ වැඩවසම් අඳුරු යුගයකටය.

කෙසේ වෙතත්, මෙම උණුසුම් පුවත් අතරේ සමාජයේ අවධානයෙන් ගිලිහී යමින් පවතින, නමුත් සමස්ත පුරවැසි නිදහසටම මාරාන්තික තර්ජනයක් එල්ල කළ හැකි බරපතළ මාතෘකාවක් පවතී. ඒ, දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බව පවසමින්, ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ ද කරලියට පැමිණි, යෝජිත “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත”(PSTA) යි.

මෙම පනත් කෙටුම්පත හුදෙක් නීතිමය ලියවිල්ලකට වඩා මර්දනීය මෙවලමක් බවට පත් කරන්නේ එහි අඩංගු ඇතැම් ‘සුවිශේෂී වචන’ සහ පාඨයන් ය. ඒවායේ ඇති අපැහැදිලි සහ පුළුල් අර්ථකථන හරහා ඕනෑම පුරවැසියෙකු දඩයම් කිරීමේ බලය බලධාරීන් අතට පත්වීමේ අවදානමක් පවතී.

පනතේ සැඟවුණු ‘භාෂාමය උගුල්’

පනත් කෙටුම්පත තුළ අන්තර්ගත, අර්ථ නිරූපණය කිරීමේදී අර්බුදකාරී විය හැකි ප්‍රධාන යෙදුම් කිහිපයක් මෙසේ හඳුනාගත හැකිය:

🔴 “භීෂණකාරී තත්ත්වයක්”: ත්‍රස්තවාදය යනු කුමක්දැයි අර්ථ දැක්වීමේදී මෙම අපැහැදිලි යෙදුම භාවිත කර ඇත. මෙහි ඇති බරපතළකම වන්නේ ‘භීෂණකාරී’ යන්න මැනීමට නිශ්චිත නිර්ණායකයක් නොමැති වීමයි. සාමකාමී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හෝ රජයට එරෙහි සාමකාමී ජනතා විරෝධයක් පවා බළධාරීන්ට අවශ්‍ය පරිදි අර්ථනිරූපනය කරමින් මෙයට ඇතුළත් කළ හැකිය. ත්‍රස්තවාදය පිළිබඳ වරද අර්ථ දැක්වීමේදී 3(1)(අ) වගන්තිය යටතේ මෙම වචනය භාවිතා කර ඇත. මෙය මැනිය හැකි නිශ්චිත නිර්ණායකයක් නොමැති බැවින් ඕනෑම මහජන නොසන්සුන්තාවයක් ද මෙයට ඇතුළත් කිරීමට ඉඩ ඇත. ( එහි මෙසේද සදහන් වෙයි – යමෙකු 3(1)(අ) යටතේ වරදකරුවෙකු වීමට නම් “භීෂණකාරී තත්ත්වයක් ඇති කිරීමේ” පරමාර්ථය තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සමඟම ඔහු විසින් 3(2) වගන්තියේ දක්වා ඇති පහත සඳහන් බරපතළ ප්‍රතිඵලයක් ඇති කිරීමට චේතනාන්විතව ක්‍රියා කළ යුතුය: • මරණයක් සිදු කිරීම. • තුවාල සිදු කිරීම. • ප්‍රාණ ඇපයට ගැනීම. • යටිතල පහසුකම්වලට හෝ පරිසරයට බරපතළ අලාභහානි සිදු කිරීම. • මහජන සෞඛ්‍යයට හා ආරක්ෂාවට බරපතළ අවදානමක් ඇති කිරීම. – මේවා පිළිබද පරිස්සමි අධ්‍යනය කරන්න-කියවා ගැනිම ඉතාමත් වැදගත් වනු ඇත)

🔴 “වක්‍රව දිරිගැන්වීම” (Indirectly encouraging): යම් ප්‍රකාශයක් ඍජුවම ත්‍රස්තවාදයට අනුබල නොදුන්නද, එය “වක්‍රව” එවැන්නක් කරන්නේ යැයි අර්ථකථනය කිරීමට බලධාරීන්ට පුළුල් බලයක් මෙයින් හිමිවේ. 9(1) සහ 10(1) වගන්තිවල ප්‍රකාශන සම්බන්ධ වැරදි ගැන සඳහන් කිරීමේදී මෙම වචනය භාවිතා වේ. මෙය මාධ්‍යවේදීන්ට සහ සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව භාවිත කළ හැකි දරුණු මර්දනීය අවියකි.

🔴 “අනවධානීව”: යම් ප්‍රකාශයකින් සිදුවිය හැකි ප්‍රතිඵලය ගැන නිසි අවධානයක් යොමු නොකිරීම වරදක් ලෙස සලකයි. මෙහිදී පුද්ගලයාගේ චේතනාව (Intention) නොසලකා හැර, හුදු නොදැනුවත්කම මත පවා පුද්ගලයෙකු ත්‍රස්තවාදියෙකු ලෙස හංවඩු ගැසීමට ඉඩ ඇත. 9(3) සහ 10(2) වගන්තිවල සඳහන් පරිදි, යම් ප්‍රකාශයක් ත්‍රස්තවාදය දිරිගන්වන්නේද යන්න ගැන “අනවධානීව” කටයුතු කිරීම ද වරදකි. මෙහිදී චේතනාවක් නොමැති වුවද පුද්ගලයෙකු වරදකරු වීමේ අවදානමක් පවතී.

🔴 “අහිතකර බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති” (Likely to have an adverse effect): ජාතික ආරක්ෂාවට අහිතකර විය හැකි ඕනෑම තොරතුරක් ‘රහස්‍ය’ ලෙස නම් කිරීමට මෙයින් අවස්ථාව ලැබේ. (78 වන වගන්තිය) මෙය තොරතුරු දැනගැනීමේ අයිතියට සහ ගවේෂණාත්මක මාධ්‍යකරණයට එල්ල වන මරු පහරකි. රහස්‍ය තොරතුරු අර්ථ දැක්වීමේදී , ජාතික ආරක්ෂාවට “අහිතකර බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති” ඕනෑම තොරතුරක් මෙයට ඇතුළත් කර ඇත. මෙය ඉතා පුළුල් පරාසයක් ආවරණය කළ හැකි අපැහැදිලි-පුළුල් යෙදුමකි. (විෂය මූලික -Subjective)

🔴 “සද්භාවයෙන්” සහ “නිසි උද්‍යෝගයෙන්”: යම් ප්‍රකාශයක් සද්භාවයෙන් කළ එකක් බව අධිකරණයකදී ඔප්පු කිරීම ඉතා දුෂ්කරය. එමෙන්ම ‘නිසි උද්‍යෝගය’ යන්න මැනීමට ඇති මිනුම්දණ්ඩ කුමක්ද? එය අපැහැදිලිය. මෙම වචන හරහා නීතිය ක්‍රියාත්මක කිරීමේදී පක්ෂග්‍රාහීත්වයට විශාල ඉඩක් විවර වේ. 11 වන වගන්තිය යටතේ නිදහස් කිරීම් ලබා දීමේදී “සද්භාවයෙන්” කළ ප්‍රකාශ වරදක් නොවන බව දැක්වේ. නමුත් පුද්ගලයෙකුගේ චේතනාව “සද්භාවය” ද නැද්ද යන්න තීරණය කිරීම අධිකරණයකදී ඔප්පු කිරීමට අපහසු අර්බුදකාරී තත්ත්වයකි. සද්භාවය” යනු පුද්ගලයෙකුගේ අභ්‍යන්තර චේතනාව (Intention) මත පදනම් වූවකි. එසේම “සද්භාවය” වැනි විෂය මූලික (Subjective) යෙදුම් අර්ථ නිරූපණය කිරීමේ බලය බලධාරීන්ට සහ අධිකරණයට හිමිවන බැවින්, එහිදී පක්ෂග්‍රාහීත්වයක් ඇති වීමට ඉඩ ඇති අතර දැඩි අවදානමක් පවතී. අනෙක ඒවා ඔප්පු කිරීමේ වගකීම අදාළ පුද්ගලයා වෙත පවරා තිබීම නිසා නීතිමය වශයෙන් එය අභියෝගාත්මක තත්ත්වය තවත් උග්‍රවනු ඇත.

🔴 “සාධාරණ සැකය”: වරනේතු(Warrant) නොමැතිව සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් සඳහා මෙය අවසර ලබා දෙයි.(20 වන වගන්තිය) නිලධාරියෙකුගේ පුද්ගලික මනාප අමනාපකම් මත පදනම්ව ඕනෑම අයෙකු පීඩාවට පත් කිරීමට මෙම පාඨය අවභාවිත විය හැකිය.

කෙසේ නමුත් ඉහතින් ඉදිරිපත් කරන ලද ‘වචන’-‘අදහස්’ පිළිබද වෙනත් තර්ක තිබිය හැකිය. ඉදිරිපත් කර ඇති ඇතැම් තත්ත්වයන් සදහා ආරක්ෂිත පියවර කෙටුම්පත තුළ ගෙන ඇති බවට යමෙක්ට තර්ක කල හැකිය. උදාහරණයකට, මහජන යහපත සඳහා හෝ ජාතික යහපත පිණිස සද්භාවයෙන් (In good faith) පළ කරන ලද යමක් 9 සහ 10 වගන්ති යටතේ වරදක් ලෙස සලකනු නොලැබේ. (මෙහිදී ද පෙර සාකච්ඡා කළ පරිදි සද්භාවයෙන් (In good faith) යන්න අධිකරනයකදී ඔප්පු කිරීම අති දුෂ්කර නොවන්නේද?) තවද, සද්භාවයෙන් පළ කරන ලද මතයක්, සාධාරණ විවේචනයක්, උපහාසයක් හෝ අවවාදයක් ත්‍රස්තවාදී ප්‍රකාශනයක් ලෙස අර්ථකථනය නොකළ යුතුය. යන්න දක්වා තිබුණත් අප ජීවත් වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් ස්ටිකරයක් ඇලවූ තරුණයෙක් පවා අත්අඩංගුවට ගෙන ඔහුගේ ජිවිතයේ සැලකිය යුතු කාලයක් ඇතුලු ඒ ජීවිතයේ ගෞරවය විනාශ කළ පොලීසියක් ඇති රටක් තුළ බව අමතක නොකරන්න. ඒ පොලීසිය මෙම අපහැදිලි-පුළුල් අර්තදැක්වීම් ඇති පීඑස්ටීඒ සමග ගනුදෙනු කරන්නේ කසේද කියා සිතන්නට රොකට් සයන්ස් අවශ්‍ය වන්නේ නැත. අත්අඩංගුවට ගැනීම පිළිබඳව පැය 24ක් ඇතුළත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දීම අනිවාර්ය වේ (25 වගන්තිය) සහ අත්අඩංගුවට ගත් ඕනෑම සැකකරුවකු පැය 48ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතුය (26 වගන්තිය) යන්න සදහන් වුවද අප ජීවිත් වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි කුප්‍රකට පනතක් අවභාවිතා කරමින් ශ්‍රී ලාංකික පුරවැසියන් අතිශය පීඩාවට ලක්කල ශ්‍රී ලංකා පොලීසිය එම පොලීසියම ලෙස තවමත් ක්‍රියාත්මක වන යුගයකයි. එපමණක් නොවේ, මේ නව යෝජිත පනත් කෙටුම්පතින් සන්නද්ධ හමුදා සාමාජිකයෙක්ට සහ වෙරළ ආරක්ෂක බලකායටත් එම බලය ලබා දී තිබේ. එවිට ඇතිවිය හැකි තත්ත්වය ද තේරුම් ගන්න. පසුගිය දිනක උතුරේ සංචාරය කළ ලියුම්කරුගෙන් යුද හමුදා පරීක්ෂක ස්ථානයකදී හමුදා නිළධාරියෙක් විසින් අපගේ වාහනය නැවතු සැනින් ඇසූ පළමු ප්‍රශ්නය – ‘සිංහල ද දෙමළ ද?’ යුද්ධයෙන් වසර 17කට ආසන්න වෙමින් තිබියදී ‘ශ්‍රී ලංකා හමුදාව’ තවමත් හැසිරෙන්නේ එසේය.

විශාල දැල සහ කුඩා මසුන්

මෙම වචන සහ පාඨයන් ඉතා පුළුල් – අපහැදිලි ලෙස විහිදී ඇති බැවින්, ඒවායේ නිශ්චිත සීමාවන් හඳුනා ගැනීම අපහසු බව මෙයින් පැහැදිලි වෙයි. සරලව පැවසුවහොත්, මෙම පනත් කෙටුම්පත ඉතා විශාල සිදුරු සහිත, නමුත් ඕනෑම දෙයක් හසුකර ගත හැකි ‘දැවැන්ත දැලක්’ වැනිය. එම දැලෙන් නියමිත ඉලක්කය පමණක් නොව, නිදහස් අදහස් දරන පුරවැසියන්, වෘත්තීයවේදීන් සහ විරුද්ධ මතධාරීන් ද නිරායාසයෙන්ම දඩයම් කළ හැකිය. තව දුරටත් පවසන්නේ නම් එම දැලෙන් කුඩා මසුන් මෙන්ම මසුන් නොවන වෙනත් දෑ පවා නිතැතින්ම අසු විය හැකි අතර, එය භාවිතා කරන පුද්ගලයාට අවශ්‍ය ඕනෑම දෙයක් එම දැලට හසු වූ බව පැවසීමට මෙහි ඇති අපැහැදිලි වචන ඉඩ ලබා දෙයි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු අනෙකුත් සියලුම මානව හිමිකම් ආරක්ෂා කරන මූලික පදනමයි. එම මූලික පදනම බිඳ වැටුණු සැණින්, සමාජයේ අනෙකුත් සියලුම නිදහස් අයිතීන් නිරායාසයෙන්ම තර්ජනයට ලක් වේ. එබැවින්, රට තුළ මතු වන කෙටි කාලීන මාතෘකා පසුපස හඹා යන අතරම, අපගේ මූලික නිදහස උදුරා ගන්නා මෙවැනි මර්දනීය පනත් කෙටුම්පත් පිළිබඳ පුරවැසි කතිකාව තවදුරටත් මුවහත් කළ යුතුය.

පැරණි මර්දනීය නීති වෙනුවට ඊටත් වඩා දරුණු නව නීති ගෙන ඒමට ඉඩ නොතැබීම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන සෑම පුරවැසියෙකුගේම වගකීමකි.