iMage: GenAI

මෑතකදී මොනරාගල සහ හම්බන්තොට ප්‍රදේශවල පැවැති සමාජ මාධ්‍ය ප්‍රකාශනය පදනම් කර ගත් සහ කාලීන වැදගත්කමක් සහිත ‘යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ පිළිබඳ සාකච්ඡාවලදී මතුවූ එක් ප්‍රධාන තර්කයක් වූයේ, අපරාධකරුවන්, වංචාකරුවන් වැනි හානි සිදුකරන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා WhatsApp වැනි සන්නිවේදන ජාලවල දත්ත ‘ඩීක්‍රිප්ට්’ (Decrypt) කිරීමට හෝ නිරීක්ෂණය කිරීමට බලධාරීන්ට ඉඩ දීම ආරක්ෂාවට හිතකර බවයි. මතුපිටින් බලන කල මෙය සාධාරණ තර්කයක් සේ පෙනුන ද, එහි යටිපෙළ ඇති බියකරු යථාර්ථය පිළිබඳව සමාජය දැනුවත් විය යුතුය. දැනුවත්වීම පමණක් නොව එම අවස්ථාව බලධාරීන්ට ස්වයංවම ලබා දීමේ යම් කැමැත්තක් දක්වන්නේ නම් එය අතිශයින් බියකරුය. මම මේ සටහනින් උත්සාහ කරනුයේ එම තත්ත්වය තාක්ෂනිකව, ආචාර්ධාර්මිකව, මානව හිමිකම් ඇතුලු කලාපයන් ආශ්‍රයෙන් විග්‍රහ කිරීමයි.

ආරක්ෂාව යනු හුදෙක් භෞතික පැවැත්මක්ද?

සැබෑ ආරක්ෂාව යනු බහුමාන සංකල්පයකි. එය ‘ත්‍රස්ත ප්‍රහාරවලින්’ හෝ ‘අපරාධවලින් ආරක්ෂා වීම’ පමණක් නොවේ. සැබෑ ආරක්ෂිත සමාජයක් යනු පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත වූ, අත්තනෝමතික බලතලවලින් තොර සහ බියෙන් තොරව අදහස් ප්‍රකාශ කළ හැකි අවකාශයකි.

යම් රාජ්‍යයක් පෞද්ගලිකත්වයට ඇති අයිතිය තර්ජනයට ලක් කිරීමට/ තර්ජනයට ලක්වීමට ඉඩ හරිමින් ‘ආරක්ෂාව’ ලබා දීමට යැයි කියමින්, නීති සකස් කරයි නම්, එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සමාජය තුළ බිය සහ අවිශ්වාසය වර්ධනය වීමයි. එපමණක් ද නොවේ, මිනිසුන් තමන්ගේ ක්‍රියාකාරකම්(පෞද්ගලික-පොදු) නිරීක්ෂණය වන බව දන්නා විට ස්වයං-වාරණයකට යොමු වීම පුදුමයක් නොවේ(විශේෂයෙන් අප වැනි සංදර්භයක් ඇති රටක). එසේ වූ විට විවේචනාත්මක චින්තනය සහ නිර්මාණශීලීත්වය එවැනි සමාජයකින් අතුරුදහන් වෙයි. එහිදී පුරවැසියා වඩාත්ම අනාරක්ෂිත වන්නේ ත්‍රස්තවාදීන්ගෙන් නොව, තමන්ගේම බලධාරීන්ගෙනි. පුනරුද ආණ්ඩුව විසින් යෝජනා කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’PSTA (කෙටුම්පත) එවැනි තත්ත්වයක් නිර්මාණය කරයි.

‘ඩීක්‍රිප්ට්’ කිරීමේ තාක්ෂණික හා දේශපාලන බියකරු බව

‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත'(කෙටුම්පත) හි යෝජනා කර ඇති, සන්නිවේදන ක්‍රමවේදයන් තුළ ඇති ආරක්ෂිත ක්‍රමවේදයක් වන End-to-End Encryption (E2EE) ඩීක්‍රිප්ට්(Decrypt) කිරීම යනු හුදෙක් අපරාධකරුවන් සෙවීමක් නොව, රටේ සෑම නිවසකම ‘ප්‍රධාන උළුවස්ස’ ගලවා තැබීමක් බඳු දැඩි අනුවණ, මර්දනීය ක්‍රියාවකි.

1. මාස්ටර් යතුරේ අනතුර: එසේම තවත් සරල ලෙසකින් කිවහොත්, ඩීක්‍රිප්ට් කිරීමට අවසර දීම හෝ ඒ සදහා නීති සැකසීම ම යනු රජය විසින් රටේ සෑම දොරකටම ගැලපෙන ‘මාස්ටර් යතුරක්’ (Master Key) සාදා තබා ගැනීමයි. මෙම යතුර කිසියම් හැකර්වරයෙකු හෝ සයිබර් අපරාධකරුවෙකු සතු වුවහොත්, මුළු මහත් ජනතාවගේම බැංකු වාර්තා, වෛද්‍ය තොරතුරු සහ පෞද්ගලික ජීවිතය එකවර අනාරක්ෂිත තත්ත්වයකට පත් වෙයි. එයට ඔබ කැමතිද?

2. සැබෑ තර්ජන මඟහැරීම: ඉතිහාසය පෙන්වා දෙන්නේ තොරතුරු නොමැතිකමට වඩා, තිබෙන තොරතුරු නිසි ලෙස විශ්ලේෂණය නොකිරීම, අගතිගාමීව විශ්ලේණය කිරීම, යම් රුචි-අරුචිකම් මත විශ්ලේශණය කිරීම ආදී දේවල් අනතුරුවලට එක් හේතු වන බවයි. සියල්ල දෙස බැලීමට උත්සාහ කරන විට, ඇත්තටම බලන්න ඕන දේ මඟහැරී යෑමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩියි. රජයක් හැමෝගෙම වට්ස්ඇප් මැසේජ් කියවන්න වැය කරන කාලය සහ ශ්‍රමය නිසා, සැබෑ තර්ජනයක්, රහසින් කරන සැලසුමක් මඟහැරී යාමට ඇති ඉඩකඩ වැඩිවිය හැකියි.

3. දේශපාලන මර්දනය: අද අපරාධකරුවන් සෙවීමට යැයි කියමින් ලබාගන්නා නීතිමය බලතල, හෙට දවසේ බලයට පත්වන වෙනත් පාලනයක් යටතේ දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන අවියක් විය හැකිය. ලංකාව වැනි රටක මෙය සිදුවීමට ඇති ඉඩකට වැඩි බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔබ කැමති ද එයට?

E2EE: අපගේ අවසාන ආරක්ෂණ රේඛාව

ඩිජිටල් යුගයේ End-to-End Encryption – E2EE යනු හුදෙක් තාක්ෂණික විශේෂාංගයක් නොව, පෞද්ගලිකත්වය, නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් රැකගැනීමේ පූර්ව අවශ්‍යතාවයකි. කෙසේ නමුත් කෙනෙක් මෙසේ පැවසිය හැකිය. “මට සැඟවීමට කිසිවක් නැත” යන්නයි. නමුත් මේ තර්කය වැරදිය. පෞද්ගලිකත්වය යනු වරදක් නොව, මානව ගරුත්වයේ කොටසකි. අද ඔබ පවසන සාමාන්‍ය අදහසක් හෙට දවසේ ‘රාජ්‍ය විරෝධී’ වරදක් ලෙස අර්ථකථනය විය හැකි පරිසරයක, E2EE යනු පුරවැසියා සතු අවසාන පවුරයි. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත PSTA (කෙටුම්පත) ගෙන එමින්, ජාතික ජන බලවේග ආණ්ඩුව යෝජනා කර ඇත්තේ ඔබේත් මගෙත් ඩිජිටල් ජිවිතයේ අවසාන ආරක්ෂිත පවුර බිද දැමීමටයි. ඔබ එයට අවසර දීමට සූදානම්ද?

බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් වරක් පැවසූ පරිදි, “තාවකාලික හෝ නාමික ආරක්ෂාවක් වෙනුවෙන් මිනිසාට අත්‍යවශ්‍ය ‘නිදහස’ අත්හැරීමට සූදානම් වන්නන්ට, ඒ දෙකෙන් එකක්වත් ලැබෙන්නේ නැත.”

යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත මඟින් ‘පෞද්ගලිකත්වය’ විනාශ කිරීමට උත්සාහ කිරීම මගින් සිදුවන්නේ ඔවුන් පවසන ‘ත්‍රස්තවාදීන්ගෙන්’ ජනතාව ආරක්ෂා කිරීම නොව, රජය හමුවේ ජනතාව අනාරක්ෂිත කිරීමයි.

අප බොහෝ දෙනෙක් සිතන්නේ “පරිපූර්ණ ආරක්ෂාව” යනු සෑම තැනකම කැමරා සවිකර, සෑම දුරකථන පණිවිඩයක්ම රජය විසින් පරීක්ෂා කර, මිනිසුන්ව දැඩි පාලනයකට යටත් කර ඇති තත්ත්වයක් කියාය. එවැනි පාලනයක් යටතේ අපරාධයක් වළක්වා ගැනීම පහසු විය හැකි බව සැබෑවකි. නමුත් එහිදී අපට අහිමි වන වටිනාම දෙය වන්නේ මානව ගරුත්වයයි. නිදහසයි. මානව ගරුත්වය යනු රජයකට අවශ්‍ය පරිදි “හැසිරවිය හැකි රොබෝවරුන්” බවට පත් නොවී, තමන්ගේම සිතුවිලි සහ රහස්‍යභාවය සහිතව ජීවත් වීමට ඇති අයිතියයි. නිරීක්ෂණයට ලක් නොවන බවට ඇති විශ්වාසය මත මිනිසෙකු කරන නිර්මාණශීලී කාර්යයන් සහ ප්‍රකාශ කරන අදහස්, සමාජයක දියුණුවට අත්‍යවශ්‍ය වේ. නව පනත් කෙටුම්පතින්(PSTA) ආණ්ඩුව යෝජනා කර ඇත්තේ මේ අතිශය වැදගත් ගුණාංග ඝාතනය කිරීමටයි. ඔබ කැමතිද?

තවත් විදිහට හිතමු! සිරගෙයක් යනු “පරිපූර්ණ ආරක්ෂාව” ඇති තැනකි. එහි සිටින සිරකරුවන්ට ‘ත්‍රස්තවාදී’ ප්‍රහාර එල්ල වන්නේ නැත, ඔවුන්ට බාහිරින් අනතුරක් ද නැත. නමුත් ඔවුන්ට “නිදහසක්” හෝ “ගරුත්වයක්” ද නැත. ප්‍රජාතන්ත්‍රවාදී රටක් සිරගෙයක් නොවිය යුතුය. එහි වැදගත්කම රැඳී ඇත්තේ යම් යම් අවදානම් මැද වුවද, පුරවැසියාට තම පෞද්ගලිකත්වය සහ නිදහස භුක්ති විඳීමට ඇති ඉඩකඩ මතයි.

පුනරුද අණ්ඩුව බිද දැමීමට යෝජනා කරන්නේ පුරවැසියාට අත්‍යවශ්‍යම වන පෞද්ගලිකත්වය සහ නිදහසයි! එයට ඉඩ දීමට ඔබ සූදානම්ද?

මතක තබා ගන්න! ‘ආරක්ෂාව’ යන නාමයෙන් නිදහස පාවා දෙන සමාජයක් අවසානයේදී ආරක්ෂාවත්, නිදහසත් යන දෙකම අහිමි කර ගනී.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon