iMage: GenAI
ලෝකයේ කොතැනක හෝ සිදුවන ජනසංහාරක යුද්ධයකට කොන්දේසි විරහිතව විරුද්ධ වීම ශිෂ්ට සම්පන්න මිනිසෙකුගේ පරම වගකීමකි. එය එසේ වන්නේ ඕනෑම යුද්ධයක අවසාන වින්දිතයා වන්නේ “මනුෂ්‍යත්වයයි”. ලෝකයේ කොතැනක හෝ අහිංසක දරුවෙකුගේ කඳුළක් වැටෙනවා නම්, මවකගේ විලාපයක් ඇසෙනවා නම් එයට විරුද්ධ වීම ශිෂ්ට සම්පන්න මිනිසාගේ ලක්ෂණය වුවත්, අද ලෝකයේ දරුණු ජන සංහාරයන්ට විරුද්ධව හඬ නගන ඇතැමුන් මීට දශකයකට පෙර තමන්ගේම රටේ බිම් අඟලක වැගිරුණු රුධිරය දෙස බලා ජයගෝසා පැවැත්වීම අතිශය උත්ප්‍රාසාත්මක කරුණකි. මෙය මතකයේ තේරීම් සහ අමතක වීමේ පහසුව මත පදනම් වූ ද්විත්ව සදාචාරයකි.
හරියටම වසර 16+කට පෙර, එනම් 2009 වසරේ අප්‍රේල් සහ මැයි මාසවලදී මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ අසරණ වූ දහස් ගණනක් මිනිස් ජීවිත දෙස බලා හදවත කම්පා නොවූ පිරිසකට, අද වෙනත් රටක යුද්ධයක් දෙස බලා කම්පා වීමට ඇති සදාචාරාත්මක භාවය ඔවුන් විසින්ම ඔවුන්ගෙන්ම ප්‍රශ්න කරගත යුතුව ඇත. එදා මරණය අද්දර සිටි මනුෂ්‍යයන් වෙනුවෙන් යුද්ධයට එරෙහිව හඬ නගනු වෙනුවට, ඔවුන්ගේ මරණය සැමරීමට රතිඤ්ඤා දැල්වූ සහ කිරි බත් පිසූ පරම්පරාවක් අද “සාමය” ගැන කතා කිරීමේදී දැනෙන්නේ වචන වලට පෙරලිය නොහැකි හිස්බවකි. මිය යන මිනිසා තමන්ගේ ජාතියේ නොවන විට හෝ තමන් පෝෂණය කරන මතවාදයට පටහැනි වන විට, ඒ මරණය “සැමරිය යුත්තක්” ලෙස දැකීම සැබෑ මානුෂීය හැඟීමකට වඩා තමන්ට පහසු දේශපාලන ස්ථාවරයක් තෝරා ගැනීමක් පමණි.
මෙම තේරීම් සහිත මානවවාදය තුළ මළ සිරුරු වලට පවා ජාතිවාදී ලේබල් ඇලවීමට අපේ සමාජය හුරු වී සිටී. එදා ලංකාවේ වැගිරුණු ලේ වලට “ත්‍රස්තවාදය” වැනි ලේබල් අලවා සාධාරණීකරණය කළ පිරිස, අද ලෝකයේ අනෙක් පස වැගිරෙන ලේ වලට “මානව හිමිකම්” යන ලේබලය අලවති. නමුත් සැබෑව නම් වේදනාවට ජාතියක් හෝ මරණයට ආගමක් නොමැති බවයි. බෝම්බ හඬට බිය වී මවගේ සාරි පොටේ එල්ලෙන දරුවාගේ බියත්, සුන්බුන් අතර තම දරුවා සොයන පියාගේ විලාපයත් පලස්තීනයේ වුවද, යුක්රේනයේ වුවද, එදා මුල්ලිවයික්කාල්හි වුවද එක හා සමානය. සැබෑ මානවවාදියෙකුට පලස්තීනයේ දරුවාගේ කඳුළත්, යුක්රේනයේ දරුවාගේ කඳුළත්, එදා මුල්ලිවයික්කාල්හි අසරණ වූ දරුවාගේ කඳුළත් එක හා සමාන විය යුතුය. ඒ සෑම දෑසකම තිබුණේ මරණයේ එකම බිය සහ වේදනාවයි.
වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කර එල්ල කරනු ලබන ප්‍රහාරත්, ඊට ප්‍රතිචාර ලෙස එල්ල වන ඉරාන ප්‍රතිප්‍රහාරත් හේතුවෙන් සමස්ත මැදපෙරදිග ඇතුලු කලාපයන්ම දැඩි යුද අවදානමකට ඇද වැටී ඇත. බලවතුන්ගේ මෙම ගැටුම් මැද සැබෑ වින්දිතයන් බවට පත්ව ඇත්තේ කිසිදු පාර්ශ්වයකට සම්බන්ධ නැති අහිංසක සිවිල් ජනයායි. යුද්ධයකදී පවා අනුගමනය කළ යුතු ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHL) සහ මානව හිමිකම් නීතිය සුරැකීමට සියලු පාර්ශ්වයන් දැඩිව බැඳී සිටිය යුතු අතර, හමුදාමය ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් සිවිල් ජනතාව “අතුරු හානි” ලෙස සැලකීම ශිෂ්ට සම්පන්න ලෝකයකට කිසිසේත් අනුමත කළ නොහැක.
අතීතයේ තමන් අනුමත කළ විනාශයක් ගැන අවංක පසුතැවීමක් නැතිව, අද පෙනී සිටින “සාමවාදී වෙස්මුහුණු” පිටුපස ඇත්තේ හුදු දේශපාලනික විලාසිතාවක් පමණි. ලෝකයේ සාමය පැතීමට පෙර, තමන්ගේම රටේ වැගිරුණු ලේ බිඳක් වෙනුවෙන් සහකම්පනයක් ඇති කරගත නොහැකි හදවතකට ලෝක සාමය ගැන කතා කිරීමට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්දැයි කවුරුන් හෝ විමසුවහොත් පිළිතුර කුමක්ද? මනුෂ්‍යත්වය යනු දේශසීමා හෝ ජාතීන් අනුව බෙදා වෙන් කළ හැකි දෙයක් නොවේ. දේශසීමා අලුතින් ඇඳීමට හෝ බලය තහවුරු කිරීමට වැගිරෙන සෑම ලේ බිඳක්ම මානුෂ්‍යත්වයේ පරාජයකි. එදා තමන්ගේම රටේ වැගිරුණු රුධිරය දෙස බලා නිහඬ වූ හෝ ප්‍රීති වූ අයෙකුට, අද ලෝකයේ අනෙක් පස වැගිරෙන රුධිරය ගැන කතා කිරීමට ඇත්තේ තම හෘද සාක්ෂිය මඟහැර ගිය හිස් තර්කයක් පමණි.
එසේම, යුද්ධයට එරෙහි වීම යනු හුදු දේශපාලනික විලාසිතාවක් හෝ “ට්‍රෙන්ඩ්” එකක් නොවිය යුතුය. එය තමන්ගේ හෘද සාක්ෂිය සමඟ කරනු ලබන අවංක ගනුදෙනුවක් විය යුතුය. අප සාමය ප්‍රාර්ථනා කළ යුත්තේ තමන්ට හිතවත් පාර්ශ්වයන් වෙනුවෙන් පමණක් නොව, සමස්ත මානව සංහතියම යුද්ධයේ සාපයෙන් මුදවා ගැනීම වෙනුවෙනි. මන්ද, යුද්ධය ජයග්‍රහණය කරනවා/ ජයග්‍රහණය කළා යැයි කවුරුන් ප්‍රකාශ කළද, අවසානයේ පරාජය වන්නේ “මනුෂ්‍යත්වය” වන බැවිනි.