iMage: UNFRAMED photography exhibition
ලංකාවේ ඉඩම් සහ මිනිසුන්ගේ ඉඩම් අත්පත්කර ගැනීම්වලට විරුද්ධව – ඉඩමකට ඇති අයිතිය වෙනුවෙන් සහ පරිසර අයිතිවාසිකම් පිළිබදවද දශකයකට වඩා වැඩි කාලයක් ලංකාවේ ක්‍රියාත්මක වන ස්වේච්ඡා සංවිධාන ජලායක් වන ‘ඉඩම් අයිතිය සදහා වන ජාතික සංධානය’ හෙවත් PARL හී ජාතික රැස්විමක් සදහා පසුගිය දා සහභාගී උනෙමි. එම රැස්වීමට ලංකාවේ පාළාත් ගණනාවකින් පැමිණි(උතුරු-නැගෙණහිර, මලෛයගම් ඇතුලුව) නියෝජිතයින් ගණනාවක් සිය අදහස් පළ කලේය.
එහිදී මතු වූ කරුණු අතර ප්‍රධාන කරුණක් වූයේ, සිය ඉඩම් නිදහස් කර ගැනීම සදහා වසර ගණනාවක් අරගල කරන ‘ඉඩම් ප්‍රශ්නය’ තවමත් සාධාරණ ලෙස විසදිලා නැති බවය. ඒ පිළිබද, අදාළ රැස්වීමට පැමිණි සිටි අය සියලු දත්ත-තොරතුරු සමග ප්‍රශ්නයේ බරපතලකම ගැන නැවතත් සාකච්ඡා කළේය. විසදුම් යෝජනා ඉදිරිපත් කළේය. එය ඉතාමත් වටිනා සාකච්ඡාවකි – විශේෂයෙන් අලුත් ආණ්ඩුව, ජනතාවට සවන් දෙනවා නම් මෙම වින්දිත මිනිසුන් ප්‍රකාශ කළ අදහස් පමණක්ම ප්‍රමාණවත්, තමන් බලයට පත්වීමට පෙර මිනිසුන්ට දුන් පොරොන්දු පිළිබද තමන්ගෙන්ම ප්‍රශ්න කරන්න.
එම රැස්වීමේදී මම කරුණු 2කක් ඉදිරිපත් කළෙමි – යෝජනා ලෙස – මගේ මේ ලියවිල්ල උත්සහා ගන්නේ එය තවදුරටත් පැහැදිලි කිරීමටයි. එය එසේ වන්නේ එහි වැදගත්ම එදාට වගේම අදටත් වලංගු වන බැවිනි.
පළමු කරුණ නම්, විශේෂයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව පත් වූ පසු උතුරේ ඉඩම් කිහිපයක් නිදහස් කිරීමෙන් පසු මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් මතු වූයේ අළුත් ආණ්ඩුව උතුරේ මිනිසුන්ට අයිති ඉඩම් නිදහස් කළ බවයි. එය තවමත් ඇතැම් අවස්ථාවලදී ඉස්මතුවන අදහසක් ලෙස පවතී. එය ආණ්ඩුවේ ප්‍රගතිශීලීත්වය ඔසවා තබන ආණ්ඩුවේ සහ ආණ්ඩුව කුමන අහිතකර දෙයක් සිදුකලත් එයට කිසිදු විවේචනයක් නොදක්වන ‘ආණ්ඩු බැතිමතුන්ගේ’ තවත් එක් කැම්පේන් එකක් බවට පත්ව තිබේ. නමුත් සත්‍ය ලෙසම සිදුව ඇත්තේ එය නොවේ. ඉඩම් කොටස් කිහිපයක් නිදහස් කළත්,(එය යම් ආකාරයකට පැසසිය යුතු කරුණකි.) හමුදාව සහ පොලීසිය තවමත් මිනිසුන්ගේ ඉඩම් සහ නිවාසවල රැදී සිටින බව අද ද මෙම සාකච්ඡාවේදී ද තහවරු වූ කරණකි.
එම අදහසේම තවත් දිගුවක් ලෙස, විශේෂයෙන් උතුරු-නැගෙණහිර ප්‍රදේශවල හමුදාව සහ පොලීසිය විසින් භාවිතා කරන මිනිසුන්ගේ ඉඩම් නිදහස් කරන ලෙස යුද්ධයෙන් පසුව, දීර්ඝ කාලයක් – මේවන තෙක් විවිද ස්ථානවල – විවිධ අවස්ථාවල අරගල සිදුවිය. සිදුවෙමින් පවතී. නමුත් එම ඉල්ලීම්වලට මෙතෙක් පත්වූ කිසිදු ආණ්ඩුවක්(මෙතෙක් පත්වූ සෑම ආණ්ඩුවක්ම යම් ප්‍රමාණයක් ඉඩම් නිදහස් කළත්, එය සාධාරණ ලෙස සම්පූර්ණ වී නැත) සාධාරණ මැදිහත් වීමක් සිදු නොකරන ලද බව අමුතුවෙන් කිව යුතු නොවේ.
එම තත්ත්වය මත ඇතැම් මිනිසුන් පෙලඹී සිටින තත්ත්වය ද ශෝචනීයයි. එය කුමක්ද? ඉඩම් නිදහස් කර ගැනීමේ ඉල්ලීම, අරගලය එතරම් සාර්ථක නැති බව පෙනී යන විට, ඇතැම් අය විසින් තමන්ගේ පාරම්පාරික භූමිය – නිවාසය වෙනුවට වෙනත් ස්ථානයකින් හෝ ‘විකල්ප ඉඩම් හෝ ලැබුනාට කමක් නෑ’ වැනි අදහසකට පත්ව තිබීමයි. සත්‍ය නම්, මෙම තත්ත්වයට පත්ව සිටිනවා නොව, එම මානසිකත්වයට පත්වීමට ඔවුන්ට සිදුවී තිබිමත්, ඒ සදහා වක්‍රාකාර තත්ත්වයන් නිර්මාණයට මිලිටරිය ඇතුලු බලදාරීන් කටයුතු කර තිබීමයි.
“සිය පාරම්පරික භූමිය” වෙනුවට ‘විකල්ප ඉඩම්’ පිළිගැනීමට මිනිසුන් පෙළඹවීම යනු හුදු භෞතික මාරුවක් නොව, එය මනුෂ්‍යත්වයේ සහ ඉතිහාසයේ මුල් සිඳ දැමීමකි. මිලිටරිය විසින් සිවිල් අවකාශයන් අත්පත් කරගෙන සිටීම සාමාන්‍යකරණය කිරීමට බලධාරීන් විසින් කරනු ලබන මෙම මනෝවිද්‍යාත්මක බලපෑම, ඉඩම් අරගලයේ මූලික පදනම වූ ‘අපේ ඉඩම්-අපේ ජීවිතයයි’ යන බරසාර සංකල්පය සදහටම අහෝසි කර දමන්නකි. රජය විසින් ලබා දෙන ‘විකල්පය’ ඇත්ත වශයෙන්ම විසඳුමක් නොව, හමුදාවට එම ඉඩම්වල ස්ථිර අයිතිය ලබා දීම සඳහා ජනතාව ලවාම කරවා ගන්නා සම්මුතියකි.
යුද්ධයෙන් පසුව මිලිටරිය ආපසු සිය බැරැක්කවලට යාමත්, ඔවුන් එතෙක් භාවිතා කළ සියලු ඉඩම් නැවත මිනිසුන්ට ලබා දිය යුතුය යන දැවැන්ත අරගලයට එල්ලවුනු බරපතල අතුල්පහරක් ලෙස අප එය සැලකිය යුතුය. එය අලුත් ආණ්ඩුව යටතේත් ක්‍රියාත්මක වීම අතිශය ශෝචනීය තත්ත්වයකි.
දෙවනි කරුණ නම්, ඉඩම් කිහිපයක් නිදහස් කරමින් ‘ඉඩම් නිදහස් කළා’ යන මතය සමාජ ගත වී තිබීමයි. එයත් සිදුව ඇත්තේ කෘතීමව සමාජගත කිරීමක් ලෙසයි. යහපාලන ආණ්ඩුව සමයේ දීත් සිදුවූයේ මෙයට සමාන තත්ත්වයකි. ඉඩම් කැබලි කිහිපයක් නිදහස් කරමින් ‘ඉඩම් නිදහස් කලා’ යන මතය ප්‍රචාරය කිරීමයි. එය තව දුරටත් මෙසේ කිව හැකිය. යහපාලන ආණ්ඩු සමයේ හිටපු හමුදාපතිවරයෙක් වූ මහේෂ් සේනානායක, 2018 අප්‍රේල් 4වනදා, යාපනයේ පැවති ඉඩම් නිදහස් කිරීමේ උත්සවයකදී මෙසේ කීවේය. ‘මේ ඉඩම් සහ පහසුකම් දෙනවා වගේම, ගන්නත් පුලුවන්’ https://www.vikalpa.org/article/32250
එම හමුදාපතිවරයාගේ කතාවෙන් වසර 8කට පසුත් උතුරු-නැගෙණහිර ඉඩම් සම්බන්දයෙන් වන ‘මිලිටරි මතය’ වෙනස් වී නැති බවට ඕනෑ තරම් සාධක සොයා ගැනීමට ඕනෑම අයෙක්ට අපහසු වන්නේ නැත.
ඉඩම් නිදහස් කිරීම යනු මිලිටරි ධුරාවලියේ අභිමතය පරිදි සිදුවන ‘තෑග්ගක්’ හෝ ‘අනුකම්පාවට දෙන දෙයක්’ නොව, එය සිවිල් අයිතියකි. හමුදාපතිවරයෙකුට ‘දෙනවා වගේම ගන්නත් පුළුවන්’ යනුවෙන් පැවසිය හැක්කේ, රටේ සිවිල් නීතියට ඉහළින් මිලිටරි මානසිකත්වය රජයන බැවිනි. එපමණක් ද නොව වඩාත් කණගාටුදායක තත්ත්වය වන්නේ, දකුණේ සංහිඳියාව ගැන කතා කරන සිවිල් සංවිධාන පවා හමුදා හෝටල් සහ හමුදා ව්‍යාපාරික ස්ථාන පරිශීලනය කරමින් එම ‘මිලිටරි ආර්ථිකය’ ශක්තිමත් කිරීමයි. උතුරේ මිනිසාගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතරතුරම, එම ඉඩම් බලහත්කාරයෙන් භාවිතා කරන බලවේගයන්ගේ සේවාවන් මිලදී ගැනීම හරහා දකුණේ ඇතැම් ක්‍රියාකාරීන් සිදුකරන්නේ උතුරේ මිනිසාගේ තුවාලය මතින් සෙල්ෆි ගැසීමකි.
එසේම, යුද්ධයෙන් වසර 16+කට පසුත් තවමත් උතුරු බිමේ මතුවන ප්‍රධාන ගැටලුවක් විද්‍යාමාන වෙයි. එනම් ලංකාවේ සිවිල් නීතිය අභිබවා උතුරේදී ‘හමුදා නීතිය’ ක්‍රියාත්මක වන්නේ ද යන්නය. නමුත් දකුණට තවමත් මෙය ප්‍රශ්ණයක් නොවේ. දකුණේ ‘සංහිදියා’ සාකච්ඡාවට ද එය ප්‍රශ්ණයක් නොවන සේයකි.
කෙසේ වෙතත් ඉඩම් පිළිබද ප්‍රශ්ණය සිවිල් ප්‍රශ්නයකි. ඉඩම් නිදහස් කිරීමත් සිවිල් කටයුත්තකි. නමුත් තවමත් ඒ සදහා මිලිටරිය මැදිහත් වෙයි. කෙසේ වෙතත්, යුද කටයුතු හේතුවෙන් සිවිල් ජනයාගේ ඉඩම් හමුදාව විසින් ලබා ගත් බව සත්‍යකි. නමුත් යුද්ධය අවසන් වූ පසු ඒ ඉඩම් නැවත සිවිල් ජනයා වෙත මුදා හැරීම ශිෂ්ට සමාජයක ලක්ෂනයකි. නමුත් සිදුවන්නේ ‘නිදහස්’ කිරීම සිවිල් කටයුත්තක් ලෙස විදහා දැක්වීමෙන් වැලකී, තව දුරටත් ‘හමුදා ආදිපත්‍ය සහිතව උඹලා හිටපල්ලා’ වැනි හැගීමක් ජනිත කරමින් ඒ ක්‍රියාවලිය සිදු වීමය.
සැබෑ ඉඩම් නිදහස් කිරීමක් යනු හමුදාව විසින් සංකේතාත්මකව ඔප්පු බෙදා දෙන උත්සව පැවැත්වීම නොව, උතුරු-නැගෙනහිර පරිපාලනයෙන් මිලිටරි සෙවනැල්ල සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමයි. දැන්වත් හමුදාව සිවිල් අවකාශයට මැදිහත් නොවී, මහජනයාට අයත් සියලු ඉඩම් ඔවුන්ට නැවත ලබා දී, හමුදාව සම්පූර්ණයෙන් ඉතා ඉක්මනින් නැවත බැරක්කවලට යා යුතුය. නව රජය ජනතාවට සවන් දෙනවා යන්නෙහි අර්ථය විය යුත්තේ, මිලිටරියේ ආරක්ෂක අවශ්‍යතාවලට වඩා සිවිල් ජනතාවගේ ජීවත්වීමේ අයිතියට ප්‍රමුඛතාව ලබා දීමයි. එසේ නොවන තාක් කල්, ඉඩම් නිදහස් කිරීම යනු ‘යහපාලන’ හෝ ‘ජන බලවේග’ හෝ කුමන ලේබල යටතේ සිදුවන තවත් එක් දේශපාලන ප්‍රයෝගයක් පමණි.
ඉඩම් ප්‍රශ්නය යනු හුදු වර්ග අඩි ගණනක ගැටලුවක් නොව, එය උතුරු-නැගෙනහිර, මලෛයගම්, අම්පාර, පානම ඇතුළු දකුණේ සිවිල් වැසියාගේ අභිමානය සහ මනුෂ්‍යත්වයේ පැවැත්ම පිළිබඳ අරගලයකි. එබැවින්, ඉඩම් නිදහස් කිරීම ‘මාධ්‍ය සංදර්ශනයකට’ සීමා නොකර, මිලිටරි ආධිපත්‍යයෙන් මිදුණු පූර්ණ සිවිල් පාලනයක් සහ පාරම්පරික භූමියේ අයිතිය තහවුරු කෙරෙන දේශපාලන විසඳුමක් දක්වා මෙම අරගලය නව මානයකින් යළි පෙළගැස්විය යුතුව ඇත. ජනතාවට සවන් දෙන බව කියන නව පාලනයට අප බල කළ යුත්තේ ද එයයි.
මේ සම්බන්ධයෙන් නැවත වටයකින් කළ යුතු වැඩ රාශියක් ඇති බව මගේ හැගීමයි.
සම්පත් සමරකෝන් | Sampath Samarakoon