iMage: Create GenAI
අතීතයේදී කෘතියක් තහනම් කිරීම යනු යම් මතවාදයක ව්‍යාප්තිය භෞතිකව අවහිර කිරීමේ ප්‍රබල මෙවලමකි. එහෙත්, තොරතුරු “දිය ඇල්ලක්” මෙන් ඇද හැලෙන වර්තමානයේ දියුණු ඩිජිටල් යුගය තුළ එම සම්ප්‍රදායික මර්දනෝපායන් අභියෝගයට ලක්ව ඇත. මුද්‍රිත පිටපත් වෙළඳපොළෙන් ඉවත් කළ හැකි වුවද, එහි “ඩිජිටල් සෙවනැල්ල” මකා දැමීම ප්‍රායෝගිකව කළ නොහැක්කකි. එකදු PDF ගොනුවක් හෝ සංකේතනය කළ (Encrypted) පණිවිඩයක් හරහා ඕනෑම දේශසීමා පවුරක් බිඳ දමමින් විසිරී යන අදහසක්, අන්තර්ජාල අවකාශය තුළ විනාශ කළ නොහැකි “අමරණීය” බලයක් අත්කර ගනී.
නූතන තාක්ෂණික දියුණුව හමුවේ පනවනු ලබන නීතිමය තහංචි බොහෝ විට සීමා වන්නේ කඩදාසිවලට පමණි. යම් කෘතියක් තහනම් කිරීමට රජයක් හෝ බලධාරීන් ගන්නා උත්සාහය බොහෝ විට “ස්ට්‍රයිසැන්ඩ් ආචරණය” (Streisand Effect) මතු කිරීමට සමත් වේ. එහිදී සිදුවන්නේ මර්දනය කිරීමට තැත් කරන අන්තර්ගතය කෙරෙහි නොවූ විරූ මහජන කුතුහලයක් සහ ආකර්ෂණයක් නිර්මාණය වෙමින්, එම මතවාදය වඩාත් වේගයෙන් සමාජගත වීමයි. එබැවින් පටු වාරණය වෙනුවට වර්තමානයට උචිත වන්නේ විවෘත-නිදහස් සංවාදයේ ප්‍රවේශයයි. මතවාදී අරගලයකදී අදහසකට ප්‍රතිචාර දැක්විය යුත්තේ තහනමෙන් නොව, වඩාත් තර්කානුකූල හා මානුෂීය විකල්ප අදහසකිනි. තහනම අධිපතිවාදය නියෝජනය කරන අතර විවෘත-නිදහස්-මානූෂීය සංවාදය ශිෂ්ටත්වය නියෝජනය කරයි.
එබැවින් ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ජීවගුණය පවතින්නේ බහුතරය අනුමත කරන මතය ආරක්ෂා කිරීම මත පමණක් නොව, පාලකයන් හෝ කිසියම් කණ්ඩායමක් පිළිනොගන්නා වූත්, අකමැති වූත් විමති මතයක් දැරීමට හා ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම මතය. එවන් නිදහසක් මර්දනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ හෘද ස්පන්දනයට එල්ල කරන බරපතල ප්‍රහාරයකි.
එසේම වාරණය යනු පශ්චාත් යුද සමාජයක පවතින ගැඹුරු “තුවාල” සුව කරන ඖෂධයක් නොව, එම තුවාල තව තවත් පාරවා වේදනාකාරී අත්දැකීම් එකතු කරන අමනෝඥ ක්‍රියාවකි. සැබෑ සමාජයීය හෝ දේශපාලනික අර්බුදවලට විසඳුම් සෙවීම වෙනුවට ඒවා මර්දනයෙන් සැඟවීමට තැත් කිරීමෙන් සිදුවන්නේ, සමාජ පීඩනය අභ්‍යන්තරිකව ඔඩුදුවා වඩාත් විනාශකාරී ලෙස පුපුරා යාමට මග පෑදීමයි. තුවාලයක් සුවපත් වීමට වාතාශ්‍රය අවශ්‍ය වන්නා සේම, සුවපත් සමාජයක පැවැත්ම උදෙසා අදහස් ප්‍රකාශ කිරීමේ විවෘත අවකාශය අත්‍යවශ්‍ය වනු ඇත.
නූතන ලෝකය තුළ තොරතුරු වාරණය තාක්ෂණිකව අසීරු මෙන්ම සදාචාරාත්මකව ද ප්‍රතිඵල විරහිත ව්‍යායාමයකි. සත්‍යය සහ යුක්තිය පිරිපහදු වන්නේ රජයේ අනුමැතිය ලත් නිල මතවාදයන් තුළ නොව, නිදහස් අදහස් ගැටෙන විවෘත සංවාද මණ්ඩපයන් තුළය. එබැවින්, බලහත්කාරී මර්දනයට වඩා පුරවැසියාගේ විවේචනාත්මක බුද්ධිය පන්නරය කිරීම සහ මතවාදී විවිධත්වයට ගරු කරන සංස්කෘතියක් ගොඩනැගීම ඕනෑම ශිෂ්ටසම්පන්න සමාජයක අනිවාර්ය අවශ්‍යතාවකි.
ලංකාව එය තේරුම් ගන්නේ කවදා ද?
* “ස්ට්‍රයිසැන්ඩ් ආචරණය” (Streisand Effect) යනු යම් තොරතුරක්, ඡායාරූපයක් හෝ ලේඛනයක් මහජනයාගෙන් සැඟවීමට හෝ ඉවත් කිරීමට දරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස, එම තොරතුර පෙරටත් වඩා වේගයෙන් සහ පුළුල් ලෙස සමාජය පුරා ප්‍රචලිත වීමයි.
